Friday 12 October 2012

ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂණ කතාවේ දෙවන කොටස - ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය 2


        මේ රහස් පරික්ෂණ කතාවේ පළමු කොටස කියවීමට මෙතන ක්ලික් කරන්න

        පසුදින උදා විය. එය අඟහරුවාදා දවසකි. හරියටම උදෑසන 9 වන විට පෙර දින අප නිවස බැලීමට පැමිණි තැනැත්තා අප නිවස ඉදිරිපිට සිටියේය. මෙවර ඔහු ඇඳ සිටියේ තද කළු පාට ඩෙනිම් කලිසමක් හා නිල්පාට ටී ෂර්ටයකි. පෙර දින මුහුණ නොපෙනීමට පැළඳ තිබූ අව් කණ්නාඩිය අද පැළඳ සිටියේ නැත. ඒ නිසා ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනිනි. මුහුණ පුරා වැවුනු යටි රැවුලක් තිබුනද ඔහු උඩු රැවුල සම්පූර්ණයෙන්ම කපා තිබුණි. ගණ ඇහි බැම යුගලයක් මෙන්ම උකුස්සෙකුගේ මෙන් තියුණු දෙනෙතක්ද ඔහුට පිහිටා තිබිණි. ඔහුගේ බජාජ් සී ටි හන්ඩ්‍රඩ් යතුරුපැදිය පසෙක නවතා තිබුණි. බයිසිකලය මත ඔහුගේ බඩු භාණ්ඩ යැයි සිතිය හැකි භාණ්ඩ වගයක්ද අසුරා තිබෙනවා මා දුටුවෙමි.
          ගුඩ් මෝර්නින්!  මම මේ උදේ පාන්දරම ඇවිල්ලා කරදර කරනවද මන්දා. ඔයාට ඊයෙ රෑ හරියට නිදාගන්නත් බැරි වුණානෙ. ඔහු පැවසීය.
          අනේ ඇත්තටම ඔයාට අනුන්ගේ හිත් කියවනන්න පුළුවන්ද මන්දා. නිකන් මැජික් බලේකින් වගේ අනුන් ගැන විස්තර කියවගෙන යනවා. ඇත්තටම ඔයා කොහොමද ඔහොම අනිත් අයගේ විස්තර කියන්නේ?
          හරි හරි ඕවා කතා කරන්න අපිට ඕන තරම් වෙලා ඉස්සරහට හම්බ වෙයි. ඔයා ගිහින් අම්මව එක්කරගෙන එන්නකො අපේ ගණුදෙනුව ඉවරයක් කරලා දාන්න. 
          මම මාගේ මව එක්කරගෙන ඒමට නිවසට ගියෙමි. විනාඩි කීපයකට පසු මමත් අම්මාත් ඔහු ඉදිරිපිටට පැමිණයෙමි.
          නෝනා මෙන්න මම ඇඩ්වාන්ස් එක ගෙනාවා. මෙන්න මෙතන රුපියල් අසූහතර දාහක් තියෙනවා. මට අද ඉඳලම මෙහෙ නවතින්න පුළුවන් නේද?
          අපෝ පුළුවන් මහත්තයෝ. මහත්තයා මහත්තයගේ බඩු භාණ්ඩ එහෙම ගෙනාවද? මව ඇසුවාය.
          ඔව්. ඔව්. මම ඔක්කොම අරගෙන ආවෙ. ආ ඒක නෙමෙයි මගේ බයිසිකල් එක වත්ත ඇතුලෙ නවත්තලා තිබ්බට කමක් නෑ නේද?
          අපෝ කමක් නෑ. අපි මහත්තයත් එක්ක මෙච්චර කතා කළාට මහත්තයගෙ නම ගම මොකුත් විස්තර දන්නේ නැහැනෙ. මගේ මව විමසුවාය.
          මගේ නමද? මගේ නම විසල් නවෝද්‍ය. මගේ ගම නම් රත්නපුර. මගේ රස්සාව ගෙවල් වලට ප්ලෑන් අඳින එක. රත්නපුර ඉඳලා කොළඹ ආවට පස්සෙ ඉතින් ඉන්න තැනක් හොයා ගන්නත් එපෑ. මම තැන් දෙක තුනක් ම බැලුවා. ඒවට වඩා මෙතන හොඳ තැනක්. මොකද හරි නිස්කලංක, සද්ද බද්ද නැති තැනක් තමයි මට ඕනෙ. හැබැයි මගේ සමහර ගතිගුණ වලට නම් ගොඩක් අය කැමති නැහැ.  ඒත් මම නම් හිතන්නෙ නෑ ඕගොල්ලොත් මට අකමැති වෙයි කියලා.
          අපේ ගෙදර එකට ඉන්න මනුස්සයත් එක්ක අපි මොකටද අමනාපකම් ඇති කර ගන්නෙ.  මහත්තයට බඩු ටික අස් කර ගන්න ඕනෙනම් අපේ පුතාව එක්කර ගෙන යන්න.
          බොහෝම ස්තූතියි. එහෙනම් කවිෂ්ක, එන්නකො මට උදව්වක් කරන්න.
          ඔහුගේ කීමට අවනත වූ මම ඔහුගේ යතුරුපැදියේ අඩුක් කර තිබූ බඩු ඔහුගේ කාමරයට රැගෙන යාමට උදව් කළෙමි. ඔහු බඩු භාණ්ඩ ඉතා අමුතු තාලයේ ඒවා විය. ඒවා අතර ඔහුගේ ‍පෞද්ගලික භාණ්ඩ වලට වඩා තිබුණේ විවිධ තාක්ෂණික උපකරණයන්ය. නිවාස සැළසුම් ශිල්පියෙකු වුවත් මොහු මෙතරම් උපකරණ තොගයක් රැගෙන ඒම පිළිබඳ මා ඔහුගෙන් මෙසේ විමසුවෙමි.
          විසල් අයියෙ ඔයා හවුස් ප්ලෑන් අඳින එක කලාට මාර බඩු ගොඩක්නෙ අරං ඇවිල්ලා තියෙන්නේ. ලැප්ටොප්, සික්‍යුරිටි කැමරා, ෆෝන්, මාර තොගයක් ගෙනල්ලනෙ.
          මගේ හොබී එක තමයි මේක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් බඩු එකතු කරන එක. මං ළඟ තවත් ඉලෙක්ට්‍රොනික් බඩු තියෙනවා. ඒවා ඊළඟ පාර අරං එන්න ඕනෙ.
          ඊළඟ පාර? ඒ කියන්නේ තවත් බඩු තියෙනවද?
          ඔව්. මම මේ බයිසිකලෙන් ගෙනාවේ පොඩි පොඩි බඩු ටික විතරයි. මම පෙඩි ලොරියකට කිව්වා බඩු ටික ගේන්න කියලා. ඒක මෙලහකට මග එනවත් ඇති.
          විසල් එසේ කියා විනාඩි 10කට පමණ පසු ඔහුගේ අනෙකුත් බඩු රැගෙන ලොරි රථය පැමිණියේය.  එහි තිබූ බඩුද රැගෙන ඒමට උදවු වූ මම අවසානයේ නිවසට පැමිණියෙමි. ඔහුගේ කාමරයේ අවකාශයෙන් තුන්කාලක් පමණ පිරෙන්නට ඔහු බඩු ගෙනවිත් තිබිණි. ඒ අතරින් වැඩි හරියක්ම විවිධ තාක්ෂණික උපකරණයන්ය.
          මෙසේ කිසිම විශේෂ සිදුවීමක් නොමැතිව දින කිහිපයක් ගතවිය. අපේ නේවාසිකයා බොහොම හොඳින් ඔහුගේ පාඩුවේ වැඩ කරමින් සිටියේය. සියල්ල කණපිට හැරවුනේ 2010 වසරේ මැයි මාසයේ බ්‍රහස්පතින්දා දිනක සිදු වූ සිදුවීමකිනි.
          එදා මම මිදුලට වී මගේ ජංගම දුරකතනයෙන් ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියෙමි. එක්වරම අප නිවස ඉදිරිපස පොළීසියේ ජීප් රථ කිහිපයක් නැවැත්තුවේය. එයින් එක් වාහනයකින් බැස්සේ එවකට පොළීසියේ උසස් තනතුරක් දරන්නෙකි. ඔහු ඔහුගේ ආරක්ෂකයින් සමග අප නිවසේ ගේට්ටුව විවෘත කරගෙන මාවද පසෙකට තල්ලු කර දමා විසල් ගේ කාමරය දෙසට පා නැගුවේය. මට මේ පිළිබඳ කිසිවක් සිතා ගත නොහැකි විය.  විසල් ගේ කාමරය අසලට ගිය පොළිස් ප්‍රධානියා කාමරයේ දොරට තට්ටු ක‍ළේය. එවිටම වාගේ විසල් දොර ඇරියේය.
          ආ කොහොමද මිස්ටර් නිමල්. මොකද මේ ගොඩ කාලෙකට පස්සෙ මාව මතක් වුණේ? ෂුවර් එකටම ක්‍රිමිනල් කේස් එකක් වෙන්න ඇති. විසල් පැවසුවේය.
          ඔව්. ගොඩක් සීරියස් කේස් එකක්. ඒක ගැන මෙහෙම කතා කරන්න බෑ. යමුකො ඇතුලට.  පොළිස් ප්‍රධානියා පැවසුවේය.
          කාමරේ ඇතුලට ආවට පස්සෙ හිතෙයි ඇතුලට ආවෙ අපරාදෙ කියලා. මට තාම හරියට කාමරේ අස් කර ගන්න බැරිවුණා.
          ඒකට කමක් නෑ. යමුකෝ ඇතුලට.
          එසේ පැවසු පොළිස් නිලධාරියා විසල් සමග ඔහුගේ කාමරය ඇතුලට වැදුනේය. ඔවුන් යලි පිටතට පැමිණියේ මිනිත්තු 45 කට පමණ පසුවය. තම හිස මත තිබූ විශාල බරක් ඉවත් වූ පුද්ගල‍යෙකු මෙන් පොළිස් නිලධාරියා අප නිවසින් පිටව ගියේය.
          මෙම සිදුවීමෙන් පසුව විසල් ගේ හැසිරීම වෙනස් විය. ඔහු වෙනදාට ආහාර ගැනීම සඳහා අප නිවසට පැමිණියත් මේ කාලයේදී ආහාර ඔහු අප ලවා ඔහුගේ කාමරයටම ගෙන්වා ගත්තේය. විටෙක එක් වරම නිවසින් පිටව යන ඔහු නැවත නිවසට පැමිණෙන්නේ පැය කිහිපයකින් පසුවය. සමහර දිනවල මධ්‍යම රාත්‍රියේ නිවසින් පිටව යන  ඔහු නැවත පැමිණෙන්නේ පසුදා උදෑසනය.

                  *      *      *

කවිෂ්ක විසල් ගේ කතා වලට හොරෙන් ඇහුම්කන් දී විසල්ගේ අතටම අසුවෙයි......... නොබෝ දිනකින් මීළඟ කොටසින් කියවන්න...

13 comments:

  1. පට්ටයි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට.

      Delete
  2. ස්තුතියි කතාව ඉක්මනට දැමීම.
    ඔය දාලා තියෙන්නේ ලස්සන නමක්.
    නියමයි සහෝ

    ReplyDelete
    Replies
    1. ඔය නම ම‍ට කොහොම මතක් වුණාද දන්නේ නෑ. ඔය නම මගේ හිතට ආවේ ඉස්කෝලෙ ඉන්නකොට. සිංහල පීරියඩ් එක කියන්නේ මහ කම්මැලි පීරියඩ් එකක්. මිස් කියන එකම එහෙම්මම පොතේ ලියලිය ඉන්න කොට ඔය නම මතක් වුණා.

      Delete
  3. සිරා කථාවක්...

    මේ බ්ලොග් එක ෆලොව් කරන්න බෑනේ බං.. මට හොයාගන්න බැරිද මන්දා

    ReplyDelete
    Replies
    1. දැන් ෆ‍ොල් කරන්න පුළුවං.

      Delete
  4. "ෂර්ලොක් හෝම්ස්" කියන්නේ මම ගොඩක් ආසකරන චරිතයක් ඩොයිල් මහත්තයාගේ කතාවලින් ඔක්කොම වගේ මම කියවල තියෙනවා. ඔබගේ ලිවීමේ විලාසයම මගේ සිත්ගත්තා. දිගටම ලියමුකො බලන්න.ඔන්න දැන් කෝරලේ මහත්මයත් යනවා එනවා මේ අඩවියට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ට් කළෘට. මමත් මේ කතාව ලියන්න අදහසක් ගත්තේ ෂර්ලොක් හෝම්ස් කතා වලින්.

      Delete
  5. ෂර්ලොක් හොම්ස් මං ආසා කළ පුද්ගලයෙක්.පුද්ගලයෙක් ලෙසින් ආමන්ත්‍රණය කළේ ප්‍රායෝගිකත්වයට ලග තාර්කික චරිතයක් නිසා.මේ කථාව තුළිනුත් ඒ වගේ සාර්ථකත්වයක් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා.ෂර්ලොක් හෝම්ස් ගේ චරිතය වගේම අගතා ක්‍රිස්ති ලේඛිකාවගේ " හර්කියුලස් පයිරට් " ගේ චරිතයත් ඇසුරු කරමින් සාර්ථක රහස් පරීක්ෂක කථාවක් ලියන්න.
    සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නට. දිගටම කතාව කියවගෙන යන්න. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න

      Delete
  6. ෆලෝකරන්න පුළුවන් වෙන්න ගැජට් එකක් දැම්මා නම් හැමදාම කියවන්න එන්න පහසුයි

    ReplyDelete
    Replies
    1. දැන් හරි. ෆලෝ කරන්න පුළුවන්. මම ගැජට් එක දැම්මා.

      Delete
    2. ස්තූතියි ඔබට!

      Delete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....