ෂර්ලොක් හෝම්ස් කතා මාලාව මේ බ්ලොග් එකට පිවිසෙන ගොඩක් දෙනෙක් කියවලා රසවිඳපු රහස් පරීක්ෂක කතා මාලාවක්. ඉතිං මමත් හිතුවා ඒ වගේ කතාවක් ලියන්න. මම මේ කතාව දැන් ලියලා ගොඩක් කල්. ඒත් ඒක ප්‍රසිද්ධ කරන්න හරියට වෙලාවක් හම්බ වුණේ නෑ. ඒ වුණාට මේ කතාව හොඳ එකක්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක ඉතිං තීරණය කරන්න පුළුවං ඔයාලටම තමයි. මම මේ කතාව පළ කරන්නේ කොටස් වශයෙන්. අද මම පළකළේ කතාවේ පළවෙනි කොටස.
* * *
මම ඔබට කියන්නට යන කතාන්තරය ඔබ විශ්වාස
කරයි දැයි මට සැක සහිතය. මෙය සිදුවූයේ හරියටම මීට වසර දෙකකට කලිනි. ඒ 2010
වසරයි. මාගේ නිවස පිහිටියේ කොළඹ තදාසන්න
ප්රදේශයකය. ඔබට මා ජීවත්වන ප්‍රදේශය හරියටම කිව නොහැක්කේ මේ කතාවේ කතානායකයාගේ ඉල්ලීමක් මතය. තවද මෙහි
සඳහන් වන සමහර නම් ගම් මා ඕනෑකමින්ම වෙනස් කළෙමි. එයට හේතුව මා ඔවුන්ගේ
පෞද්ගලිකත්වය සුරැකීමට පොරොන්දු වීමයි.
මේ කතාව ඔබට පැවසීමට පෙර
මා පිළිබඳ විස්තරයක් පැවසීම උචිත යැයි සිතමි.
මගේ නම කවිෂ්ක මධුෂාන් ය. මට දැනට වයස අවුරුදු 21 කි. මා පවසන සිද්ධිය
සිදුවන විට මාගේ වයස අවුරුදු 19 කි. එකල
අපේ නිවසේ තිබු වැඩිපුර කාමරය කුළියට දීමට මාගේ මව සූදානම් වූයේ අමතර ආදායමක් උපයා
ගැනීමටය. ඒ සඳහා අපි ඉරිදා පුවත්පතක ලුහුඬු දැන්වීම් තීරුවේ දැන්වීමක්ද පළකළෙමු.
දැන්වීම පළකර දින කිහිපයකට පසු අපේ නිවසට අමුත්තෙක් පැමිණියේය. ඔහු අඩි 6ක් පමණ උස අවුරුදු 25ක් හෝ 30ක් පමණ
වයසැති තලෙළු තැනැත්තෙකි. ඔහුගේ මුහුණ
හරිහැටි නෙපෙනෙන සේ ඔහු විශාල අව් කණ්නාඩියක් දමාගෙන සිටියේය. ඔහු පැමිණි අවස්ථාවේ
නිවසේ දොර හැරියේ මම ය.
“මිස්ටර්, මේ ගෙදර නේද අර කුළියට කාමරයක්
තියෙනවා කියලා ඇඩ් එකක් දාලා තිබුණේ?”
ඔහු ඇසුවේය.
“ඔව්. මේ ගෙදර තමයි. ඔය ආවේ කාමරේ ගන්නද?” මම ඇසුවෙමි.
“ඔව්. කාමරේ ගන්නනම් තමයි ආවේ.....” ඔහු ඔලුව කරකවමින් අප නිවස දෙස බැලුවේය. “ඒත් එක පාරටම ගන්න බෑනෙ කාමරේ බලන්නෙ
නැතුව.”
“පුතා, මේ මහත්තයව එක්කන් ගිහින් කාමරේ
පෙන්නල එන්න.”
මාගේ මව කීවාය. “මහත්තය
මේ දරුවත් එක්ක ගිහින් කාමරේ බලල එන්නකො.”
මම අපේ අමුත්තාවත් රැගෙන නිවසට යාබදව
පිහිටි කාමරය වෙත ආවෙමි. මට ඒ මොහොතේ මේ පුද්ගලයාගේ හැසිරීමෙහි අමුත්තක් දැනුනි.
“මල්ලි කොහොමද ඒ ලෙවල් රිසල්ට්? මේ පාර
එකවුන්ට් අමාරුයි නේද? ඒත් ඔයානම් වැඩේ කොහොම හරි ගොඩදාගත්තා.” ඔහු එක්වරම ඇසුවේය.
“ඒ දෙකයි, බි එකයි. එකවුන්ට් වලට තමා බී
එක...... ඒත් ඔයා කොහොමද දන්නේ මම මේ පර ඒ ලෙවල් කළා කියලා?” ඔහුගේ එම ප්‍රශ්නයෙන් පුදුමටය පත් වූ මම
ඇසුවෙමි.
“ඒක එච්චර ගණන් ගන්න එපා.” ඔහු කිසිදු ගණනකට නොගෙන කීවේය.
මම යතුර ඇතුළු කර කාමරයේ දොර ඇරියෙමි. ඔහු
හා මම කාමරය ඇතුළට ගියෙමි. මිනිත්තු කීපයක් කාමරය පරික්ෂා කළ ඔහු මෙසේ කීවේය.
“කාමරේ නම් නියමයි. කරන්ට් එක, ෆෑන්, වතුර
ඔක්කොම තියෙනවා. කෑම එහෙමත් ඕගොල්ලො දෙනවනෙ.
මම කැමතියි මේ කාමරේ ඉන්න. දැන්මම ගාන එහෙම කතා කර ගත්තොත් නේද හොඳ?”
“හරි. මේ මහත්තයා ඔහොම ඉන්නකෝ. මම අම්මව
එක්කගෙන එන්නම්.”
මෙසේ කී මම මාගේ මව කැටුව ඒමට නිවසට
ගියෙමි. මම මවත් සමග නැවත පැමිණෙන විට ඔහු කාමරයෙන් පිටතට විත් සිටියේය.
“මහත්තයා මොකද හිතන්නෙ කාමරේ ගැන?” මව ඇසුවාය.
“වරදක් නැහැ. මම හිතුවට වඩා මේකෙ සැප
පහසුකම් තියෙනවා. ඔබතුමියට කීයක් විතර
ඇඩ්වාන්ස් ඕනෙද?”
“අවුරුද්දක ඇඩ්වාන්ස් තිබුනහම ඇති. මාසෙකට
රුපියල් හත්දාහයි.”
“හරි මම දැන් ගිහිල්ලා සල්ලි අරන් එන්නම.
ඔනෙනම් දැන්මම චෙක් එකක් ලියලා දෙන්න පුළුවන්.”
“අනේ මහත්තයෝ චෙක් අරගෙන ඒවා මාරු කරන්න
බැංකු ගානෙ රස්තයාදු වෙන්නනම් මට අමාරුයි. ඔන්න ඔහෙ සල්ලි වලින්ම ගෙවලා දැම්මනං
හොඳයි.”
“හරි. ඊට කළීන් මට තව ටිකක් කාමරේ බලන්න
ඕනෙ.”
“එහෙනං මම ගෙට යන්නං. මහත්තයා ඔය පුතත්
එක්ක කාමරේ බලලා එන්නකො.” එසේ
කී මව නිවස තුළට ගියාය.
මව නිවසට ගොස් ටික වේලාවකට පසු අපේ
අමුත්තා මෙසේ ඇසුවේය.
“මල්ලි මීට කළින් මේ කාමරේ හිටිය ලෝයර් ට
මොකද වුණේ?” ඒ
ප්රශ්ණයෙන් මම විපක්ෂිත වුණෙමි.
“ඔයා කොහොමද ඒක දැනගත්තෙ? ඔයා මෙහෙට එන්න
කළින් අපි ගැන ගොඩක් විස්තර හොයලා බලලා තියෙනවා වගේ නේද?”
“අපෝ නෑ. මම කාගෙන්වත් ඇහුවේ නෑ. මම අහපු
ප්‍රශ්ණෙට මුලින් උත්තර දීලා ඉන්නකො.”
“එයා මෙහෙට ඇවිත් එච්චර කාලයක් හිටියෙ නෑ.
මම හිතන්නෙ මාස හත අටක් ඉන්න ඇති. ඊට පස්සේ..........” මගේ කතාවට මැද්දට පැන ඔහු මෙසේ
පැවසුවේය.
“ඊටපස්සෙ එයාට එයාගෙ සල්ලි නැතිවුණා. ඒ
කියන්නෙ එයාගෙ ආර්ථික තත්වය පිරිහුනා. අන්තිමට එයාට කන්නවත් සල්ලි ඉතුරු වුණේ නෑ.
මම හිතන්නෙ ඕගොල්ලන්ට මාස ගාණක ගෙවල් කුළී ගෙවන්නත් නැතුව ඇති.”
“ඔව් ඒකනං ඇත්ත. එයා අපිට මාස තුනක ගෙවල්
කුළී ගෙවලා තිබුනෙ නැහැ. ඉතින් අපි කියලා මොනවා කරන්නද? අපිට එයාට යන්න කියන්න
වුණා. මේ ඒක නෙමෙයි. ඔයා ඇත්තටම කොහොමද මෙච්චර විස්තර දැන ගත්තේ? මට නම් හරි
පුදුමයි.”
“හරි. හරි. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.
මම දැන් යනවා.” ඔහු
තම ඔරලෝසුව දෙස බැලුවේය. “දැන්
නම් හවස් වෙලා කවිෂ්ක මල්ලී. මම හෙට එන්නම් ඇඩ්වාන්ස් අරගෙන. එහෙනම් මම යනවා.”
මෙසේ පැවසූ ඔහු ඉක්මනින්ම තම යතුරු පැදියට
නැග නික්ම ගියේය. මොහු අප නිවසින් පිට වූයේ මා ප්‍රශ්න සාගරයක ගිල්ලවාය. ඔහු මා
උසස් පෙළ කළ ශිෂ්‍යයෙකු බව දැනගත් හැටි, අපගේ කාමරයේ විසූ නීතීඥයා පිළිබඳ දැනගත්
හැටි, අවසානයට මගේ නම දැනගත් හැටි මා පුදුමයට පත්කරවීය. මා ඒ පිළිබඳව මාගේ මවගෙන් විමසුවෙමි.
“අම්මෙ අද අර ආපු මිනිහා නම් හරි අමුතුයි
නේද?”
“ඒක තමයි පුතේ මමත් මේ කල්පනා කළේ. හරි
අමුතු මිනිහෙක්.”
“ඔව් නිකන් පේන කියනවා වගේ අපේ විස්තර
කිව්වේ.” මම
ඔහු පැවසූ දේවල් අම්මාට කීවෙමි.
“බලමුකෝ. එයා හෙටත් එයිනේ. එයාගෙ හැසිරීම
අමුතු නම් ඉතින් එයාව තියාගන්නවද නැද්ද කියලා දෙපාරක් හිතලා බලමු.”
* * *
ප/ලි :
මම මේ කතාවේ එන රහස් පරීක්ෂකයාට දාන්න නමක් කල්පනා කළාට ඒකට ගැලපෙන නමක් හිතට එන්නේ නෑ. කතාවේ පළවෙනි කොටස කියවපු ඔයාලට පුළුවං නම් රහස් පරීක්ෂකයාට ගැලපෙනවා කියලා හිතෙන නමක් කමෙන්ට් කරලා යන්න. මේ කතාවේ ඉතිරි කොටස ලඟදීම පළකරනවා....
කතාවේ දෙවන කොටසට මෙතනින් යන්න
සුපිරි කතාවක ලක්ෂණ තියෙනවා මචන් වැඩිය කල් ගන්නේ නැතුව පුළුවන් නම් දවස් දෙකෙන් දෙකට වගේ ඉතුරු කොටස් ලියපන්.
ReplyDeleteජය වේවා
කතාව ලියලා තියෙන්නේ........ඕනෙනම් අදම දාන්න පුළුවං.... ඒත් රහස් පරික්ෂකයාට නමක් තමයි නැත්තේ...
Delete