Tuesday, 30 October 2012

ෂර්ලොක් හෝම්ස් ඇනගත් හැටි

ලියන්න කියලා බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවට ලියන්න දෙයක් නෑ. මොනවා ලියන්නද කියලා තමයි මේ කල්පනා කරන්නේ. බේකර් වීදියට වෙලා මම මේ දවස් වල ඉන්නේ ටිකක් කම්මැලිකමෙන්. ඔහොම ඉන්න ගමන් මට මතක් වුණා මගේ සොඳුරු අතීතය. සෙඳුරුයි කිව්වට ඉතින් එච්චරම සොඳුරුත් නැ. මට ඒ මතක් වෙච්ච සිද්ධිය වුණේ මීට අවුරුදු 3කට විතර කලින්. ඒ මොකක්ද දන්නවද? මේ තමයි මම මගේ ජීවිතෝ කරපු මුල්ම රහස් පරීක්ෂණය.


මට මේ සිද්ධිය වුණේ මම 8 වසරෙදි. අද වගේම ඒ කාලෙත් මට ෂර්ලොක් හෝම්ස් පිස්සුව තිබුණා. ෂර්ලොක් හෝම්ස් කතා කියවලා කියවලා මට මාර ආසාවක් තිබුණා රහස් පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒ කාළෙ මම තමා ෂර්ලොක් හෝම්ස්. මගේ බල්ලා "රැන්කි" තමයි වොට්සන්. (හැබැයි ඒ වොට්සන් මගෙන් සදහටම සමු ගත්තා 2011 දෙසැම්බර් 31 වෙනිදා. එයා මැරුනෙ එයාට වයස අවුරුදු 4 දි) මට කවදාවත් පරික්ෂණයක් භාර දෙන්න කවුරුත් ආවෙ නෑ. මාත් බලන් හිටියා පරික්ෂණයක් එනකන්. කවදාවත් ආවෙ නෑ.


ඔන්න දවසක් මෙහෙම වැඩක් වුණා. අපේ ගෙදරට එහා පැත්තේ තමයි අපේ ලොකුඅම්මලාගෙ ගෙදර තියෙන්නේ. තාප්පෙන් තමයි අපේ ගෙදරයි ඒ ගොල්ලන්ගේ ගෙදරයි වෙන්වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට ටිකක් සල්ලි තියෙනවා. මේ තලවතුගොඩ පැත්තේ අයනං දන්නවා ඇති "රසරැස ෆුඩ් සෙන්ටර්" එක. අන්න ඒක ඒගොල්ලන්ගේ. තව කොට්ටාව - බොරැල්ල රූට් එකේ දුවන බස් 2කුත් තියෙනවා. ලොකු අම්මට ළමයි 3ක් ඉන්නවා. තුන්දෙනාම දැන් ලොකුයි. කසාදත් බැඳලා. ඒගොල්ලන්ගේ ගෙදර එක පුතෙකුයි දුවෙකුයි නතර වෙලා ඉන්නවා. අනිත් දුව ඉන්නෙත් අපි වගේ ලොකු අම්මලාගේ ගෙදර ගාවමයි. ඉතින් මම කතාව කියන්නම්. එක දවසක් රැ 1 ට විතර ලොකු අම්මලාගේ ගෙදරින් අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒගොල්ලො කිව්වේ මේකයි. අර එහෙ ඉන්න අයියට (ඒ කියන්නේ ලොකු අම්මගෙ පුතාට) ඇහිලා තියෙනවා මනුස්සයෙක් ඇවිදින අඩි සද්ද. ‍ගේ වටේම ඇවිදිනවා ඇහිලා තියෙනවා. එයා ටික වෙලාවක් ඒක අහගෙන ඉඳලා කාටවත් කියන්නේ නැතිව හිමීට ගෙදරින් එළියට ඇවිල්ලා හැංගිලා බලන් ඉදලා තියෙනවා කවුරුත් ඉන්නවද කියලා. කාවවත් එයා දැකලා නැති හින්දා අපේ ගෙදරට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ අර ආපු එකා අපේ ගෙදර පැත්තටවත් ආවද බලන්න කියලා. අපිත් ඉතින් බැලුවා. මොකෙක්වත් නෑ.


ඉතින් පහු වෙනිදා උදේ ඔය ගැන කතා කළාට හැමෝටම හවස් වෙනකොට ඒක අමතකයි. ඒත් මට අමතක වුණේ නෑ. එදා රෑ නිදා ගන්න ගිය වෙලාවට මතක් වුණේ ඒක. හදිද්සි‍යෙ හරි හොරෙක් ආවොත් ඌට කරන දේ ගැන හිත හිත ඉතින් මාත් හිටියා.


රෑ 12ට විතර ඇති. එකපාරටම අපේ බල්ලා බුරන්න පටන් ගත්තා. පාරෙ ඉන්න බල්ලොත් බුරන්න පටන ගත්තා. මම හිතුවා හරි තමා, අදත් අර යකා ඇවිල්ලා තමා කියලා. ඉතින් මට මෙහෙම හිතුනා. මොන කරුමෙ‍කට එහෙම හිතුනද දන්නේ නැහැ. කොහොම හරි හිතුනා. ඒ මොකක්ද දන්නවද? ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රමේකට ඒ හොරාව අල්ලන්න.


මම මුලින්ම කළේ ටෝච් එකක් අරගෙන හිමීට කාමරේ ජනේලෙ ඇරලා එළියට පැනපු එක. ඊට පස්සේ අපේ බල්ලගේ බලු කූඩුව ළඟට ගිහින් හිමීට ඒක ඇරලා වොට්සන් ව එළියට ගත්ත එක. ඒත් හැබැයි ඌ බිරිල්ල නැවැත්තුවේ නැ.


"රැන්කි කට වහ ගන්නවා" මම රහසින් වගේ කිව්වා. ඊට පස්සේ ඌ බිරිල්ල නැවැත්තුවා. මම මහ ලොකුවට එළියට ආවට දැන් කරන්න දෙයක් මතක් වුණේ නෑ. මොනා කරන්නද? කරුමෙට ඒ වෙලාවෙවත් මට ආයෙ ගෙදරට ගිහින් නිදා ගන්න හිතුනෙ නෑ. මට වාසියකට තිබුණෙ මම හොල්මන් වලට බය නැති එක. අනේ මන්දා මට තාමත් ඔය හොල්මන් කතා වලට බය හිතෙන්නේ නැ. මගේ ඇ‍ඟේ තියෙන හෝර්මෝන අවුලක්ද දන්නේ නැහැ. හොල්මන් වලට බය හිතෙන්නේ නැහැ. මම ඊට පස්සේ කළේ ටිකක් ලොකු යකඩ පොල්ලක් ගන්න එක. ඒකත් අරගෙන ලොකු අම්මලගෙ ගෙදර තාප්පේ ගාවට ගියා.


දැන් කොහොම හරි වොට්සන් වත් අරගෙන එහා පැත්තට පනින්න ඕනෙ. තාප්පෙ එච්චර උස නෑ. අඩි 5ක් විතර ඇති. මට ඒකෙන් පනින්න පුළුවන් වුණාට වොට්සන්ව ගන්න විදියක් නෑනේ. ඉතින් මම කළේ තාප්පේ ගාව තියෙන පේර ගහට නැග්ගා වොට්සන්වත් අතින් අල්ලගෙන ඇඟට තදකරගෙන. (ඒ වෙලාවෙ ඌට රිදෙන්න ඇති. ඒත් ඌ කෑගැහුවෙ නෑ) ඊට පස්සේ තාප්පේ අතින් අල්ලගෙන හිමීට සද්දයක් එන්නේ නැති වෙන්න එහා පැත්තට පැන්නා.


වොට්සන් ගෙ තිබුනු එකම ප්‍රශ්නෙ තමයි වලිගෙ වනන එක. ඌ මොනවා කරන්නද ඌට නවත්තගන්න බෑ වලිගෙ වැනෙන එක. ඔය වලිගෙ තාප්පෙ වදිද්දි ආපු සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් ආවෙ නෑ.



දැන් කරන්න දෙයක් නෑ. හොරාව අල්ලන්න යන්න ඕනෙ. මම හිමීට ගේ ඉස්සරහ පැත්තට ගියා. වොට්සනුත් මගේ පස්සෙන් ආවා. චන්ඩියා වගේ මුලින් ආවට දැන්නම් ටිකක් බය හිතුනා. ඒත් ෂර්ලොක් හෝම්ස් ව මතක් කරගෙන බය නැති කර ගත්තා.


මම ටික ටික ඉස්සරහට ගියා. එක පාරටම වොට්සන් ඉව අල්ල අල්ල ගොරවන්න පටන් ගත්තා. මම හිතුවා හරි තමා ඇන් අර මිනිහා මේ ළඟම ඇති කියලා. මම අර යකඩ පොල්ල අතට අරගෙන ලෑස්ති වුණා. මූ ළඟට ආවොත් මැරෙන්න හරි ගහනවා කියලා. මම චුට්ට චුට්ට ඉස්සරහට ගියා. වොට්සන්ගෙ ගෙරවිල්ලත් එන්න එන්නම වැඩි වුණා. මටත් ටිකක් බය හිතුණා.


මම ටික ටික ඉස්සරහට ගියාට දැන්නම් ලොකුඅම්මලාගේ ගෙදර ඉස්සරහ දොර ගාවටම ඇවිල්ලා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි එක පාරටම මගේ ඇඟට මිනිහෙක් කඩා පැන්නා. වොට්සන් එක පාරටම අර මිනිහගේ ඇඟට බුරාගෙන පැන්නා. රැන්කි හිටියෙ නැති වෙන්න එදා මට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒත් එක පාරටම අර මගේ ඇඟට පැන්න මිනිහා මට කතා කළා. කලුවරේ හරියට මූණ පේන්නෙත් නැ.
"මොනාද මල්ලි මේ කරන ගොන් වැඩ. තව ඩිංගෙන් අතක් පයක් කඩාගෙන ගෙදර යන්නේ."
ඒ කටහඬ ඇහුවම මට හිතිච්ච දේවල් කියන්න වචන නැ. ඒ තමයි ලොකු අම්මගේ පුතා! එයත් එදා රැකගෙන ඉඳලා ගෙදරට එන හොර අල්ලන්න.


ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න දෙයක් නෑ. ගෙදර ගිහිල්ලා අම්මගෙනුයි තාත්තාගෙනුයි නොසෑහෙන්න බැනුම් ඇහුවා. මට කාලයක් යනකං ගෙවල් පැත්තේ කට්ටිය කතා කළේ "ෂර්ලොක් හෝම්ස්" කියලා. අපේ බල්ලා ට කිව්වේ "වොට්සන්" කියලා. දැන්නම් ඒ නම කවුරුත් නොකිව්වට සමහර වෙලාවට සමහර අය තාමත් මට "ෂර්ලොක් හෝම්ස්" කියලා කතා කරන වෙලාවල් තියෙනවා.


ඒ වුණාට තාම මට තියෙන ප්‍රශ්නයත් තියෙනවා. අර එදා මුල්ම දවසේ එහෙට ආවෙ කවුද? (අර අඩි සද්ද එහෙම ඇහුනේ) සමහර විට අර අයියට ඇහිච්ච ශ්‍රව්‍ය මායාවක්ද දන්නේ නැහැ.


ආන්න එහෙම තමා මම මගේ මුල්ම පරීක්ෂණය කළේ. හැබැයි මේකනම් ඇත්තම කතාවක්. ඒ කාළේ මට තිබ්බ ෂර්ලොක් හෝම්ස් පිස්සුව තාමත් තියෙන හින්දා තමයි මම මගේ මේ බ්ලොග් අඩවියත් ෂර්ලොක් හෝම්ස් ගේ නමින් නම් කළේ.

7 comments:

  1. මදැයි ඔයින් ගියා?
    තව පොඩ්ඩෙන් සදාසොත්ති :)

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාව හොඳ හින්දා බේරුණා.

      Delete
  2. නරකද අර විසල්ගේ කතාවේ ඉතුරු ටිකත් කිව්වොත්?

    ReplyDelete
  3. හත් ඉලව්වයි කිව්වලු. නිවාඩු පාඩුවේ එන්නකෝ බලන්න වලව්ව පැත්තෙත්.
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එන්නම් එන්නම් වලව්ව බලලා යන්න.......

      Delete
  4. Monada bn boru kiyanne liyanna deyak naththan kata wahagena padan karahanko........................

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං උඹලට වගේ ජගුවර් නෑනේ බං....;)

      Delete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....