Monday 12 November 2012

හොල්මන් හෙවනැල්ල


අද ලියන්න හිතුවේ හොල්මන් කතාවක්. ඔක්කෝමට කලින් කියන්න එපෑයෑ මේක...... මේ කතාව චූටි ළමයි, හෘදයාබාධ තියෙන අය, ඉක්මණට කම්පනය වෙන අය එහෙම කියවන්න එපා.  මේක මටයි මගේ යාළුවෝ දෙන්නෙකුයි මුහුණ දිපු ඇත්තම සිද්ධියක්.

2600 සම්බුද්ධත්ව ජයන්තියට රටම ලෑස්ති වෙනවා. මේ 2011 අවුරුද්දේ වෙසක් පෝය දවසට කළින් දවස. අපේ දහම් පාසලෙනුත් මේ පාර 2600 සම්බද්ධත්ව ජයන්තිය හින්දම ලොකුවට වෙසක් කළාපයක් හදන්න ලක ලෑස්ති වෙනවා.  වෙසක් පෝයට කලින් දවස හින්දා වැඩ වැඩියි. පහන් කූඩු හතරකුයි තව එක එක අයිටම් 10ක 15ක විතර හදන්න තියෙන හින්දා තමයි.

වෙලාව රෑ 11 විතර ඇති. අපි තාමත් පහන් කූඩුවේ වැඩ. එතන හිටියේ අපි පස්දෙනෙක් විතර. උදේ ඉඳන් පන්සලේ වැඩ කරපු හින්දා කට්ටියටම මහන්සියි. අපිත් එක්ක එතන හිටියා තිවංක කියලා අපේ වයසෙම කෙනෙක්. මිනිහා කතා කියන්න දස්සයි. අපේ කම්මැලිකම යන්නත් එක්ක මිනිහා හොල්මන් කතා කියන්න පටන් ගත්තා.

"මචං මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ මාමා නැතිවුණා බං. හරිද? අපි කළේ චිතකයක් හදලා මාමව ආදාහනය කරපු එක. ඒකට ලොකු චිතකෙකුත් මෙතන කනත්තේ හැදුවා. කරන්ට් එකෙන් නෙමෙයි පිච්චුවෙ. ඔන්න බං මාමව පුච්චන්න පටන් ගත්තා හවස 4.30 ට විතර. ඊට පස්සේ කනත්තට ආපු කට්ටිය ඔක්කොම 5.30 විතර වෙද්දී ගෙදර ගියා. චිතකෙ හරියට පත්තු වෙනවද බලන්න අපේ අයියලා තුන්දෙනෙක් හිටියා කනත්තෙ. උනුත් එක්ක මාත් හිටියා. එතකොට වෙලාව හයහාමාර විතර ඇති. චිතකෙ වටේ තිබ්බ රෙදි ඔක්කොම ඇවිලිලා. මිනිය ඇවිලෙනවා පේනවා. අපි අපේ ෆෝන් වලින් ඒකෙ ෆොටෝ ගත්තා. උඹලා දන්නවද එතකොට වෙච්ච දේ? .."

"මොකක්ද?" හැමෝම ඇහුවේ පුදුම වෙලා.

"මිනිය ටික ටික උඩට ඉස්සෙන්න ගත්තා. නිකං අපි ඇල වෙලා ඉඳලා වාඩි වෙනවා වගේ. අපි කට්ටිය බය වෙච්ච පාර කනත්තෙන් එළියට දිව්වා. ආයෙ ටිත වෙලාවකින් ඇවිල්ලා බලනකොට මිනිය තවත් කෙලින් වෙලා. ඊට පස්සේ අපි මිනිය පිච්චිලා ඉවර වෙනකං හිටියේ කනත්තෙන් ගේට්ටුව ගාවට වෙලා. (මෙහෙම වෙන්නේ මිනිය පිච්චෙන කොට පේශි හැකිලෙන හින්දා කියලා පස්සේ දැන ගත්තේ)

"අඩෝ මාර සීන් එකක් නෙ බං වෙලා තියෙන්නේ...උඹලා දන්නවද?" අපිත් එක්ක වැඩ කර කර හිටපු අයියා කෙනෙක් එකපාරටම එතනට ඇවිල්ලා ඇහුවා.

"ඇයි මොකක්ද සීන් එක? වලියක්ද?"

"වලියක් නෙමෙයි බං. කෝ අරූ?"

"කවුද?"

"ෂර්ලොක් "

"ඇයි මොකක්ද අවුල?" මම ඇහුවා.

"අර උඹලගෙ ගෙවල් පාරේ ඊයේ මැරුණා නේද මිනිහෙක්?"

"ඔව්...මුස්ලිම් මනුස්සයෙක්. ඊයෙම වැලලුවද කොහෙද"

"අන්න උන්ගෙ ගේ ඉස්සරහ පාරේ හෙවනැල්ලක් වැටිලා තියෙනවලු"

"කාගෙ හෙවනැල්ලද?"

"කට්ටියනං කියන්නේ ඒ මැරිච්ච මිනිහගෙ හෙවනැල්ල කියලා. උඹ දැන් ගෙදර යනකොට පරිස්සමිං පලයං. උඹ තනියම නේද යන්නේ?"

"නෑ.. බං. පවනුයි සචින්තයි ඉන්නවා." මම කිව්වා.

"කෝකටත් පරිස්සමිං පලයං"

ඉතිං ඊට පස්සේ පහන් කූඩුවේ වැඩ ටික ඉවර වෙනකොට පාන්දර 2 විතර වුණා. මමයි සචින්තයි, පවනුයි විතරක් පන්සලේ ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ගෙවල් වලට ගියා. අපි ටික විතරක්ඉන්නවා දැකලා හාමුදුරුවොත් කිව්වා දැන් ගෙවල් වලට යන්න අම්මලා තාත්තලා බලාගෙන ඇති කියලා. ඉතිං අපි තුන්දෙනා ගෙදර එන්න පිටත් වුණා. පන්සලේ ඉඳලා ගෙදරට තිබුණේ පයින් එන දුර. ඒ වුණාට යන්න තිබුණේ අර හොල්මන් හෙවනැල්ල වැටිලා තියෙන පාරෙන්. ගෙදරට යන්න වෙන පාරක් තිබුණෙත් නැති නිසා කොහොම හරි හිතට ධෛර්ය අරගෙන ඒ පාරෙන්ම එන්න පටන් ගත්තා.

පෝයට කලින් දවස හින්දා හඳ සම්පූර්ණෙන්ම පායලා තිබුණා. ඒත් අපි ගෙදර එන්න පිටත් වෙනකොට ඒ හඳත් වළාකුළු වලට වැහිලා. මුළු පාරම කට්ට කළුවරයි. අතුරු පාරක් හින්දා ලයිට් කණුවක් වුනත් තිබ්බේ හුඟක් ඇතින්. ලයිට් කණුවලින් ආපු කළාමැදිරි එළිවලින් අපි අර මුස්ලිම් මනුස්සයා මැරිච්ච ගේ පේන මානෙට ආවා.

"මට නං නිකං බයයි වගේ බං." සචින්ත කිව්වා.

"අනේ බූරුවා... යකෝ හෙවනැල්ලක් තියෙන්න එළිය තියෙන්න ඕනෙ. මේ කට්ට කළුවරේ කොහෙද බං හෙවනැලි." මම එහෙම කියලා විනාඩි දෙක තුනක් ගියෙ නෑ වළාකුළු වලට හැංගිලා කිබ්බ හඳ මෝදු වෙලා ආවා. අර ගෙදරත් පේන මානේ තියෙනවා.

"තොට නං තියෙන්නේ මහ මූසල කටක්.  බලපං දැන් ආයෙ හඳ එළිය ආවනේ. දැන් අර හෙවනැල්ල පාරේ වැටිලා ඇති. කොහොමද යකෝ දැං ගෙදර යන්නේ?" පවන් කිව්වා.

"මචං මට දැනුයි මේක මතක් වුණේ?" සචින්ත එකපාරටම මොකක් හරි මතක් වෙච්ච දෙයක් අපිට කියන්න කතා කළා.

"මම අහලා තියෙනවා බං දෙන්නෙක් යන‍කොට  ඒ දෙන්නට අවතාර වලින් මුකුත් වෙන්නේ නෑලු. ගොඩක්ම    අවතාර වලට අහුවෙන්නේ එක්කො තනියෙන් යනකොට නැත්තං ඔත්තෙ ගානක් යනකොට"

"ඇයි බං ඒක දැන් මතක් කළේ. බලහං අපි මෙතන තුන්දෙනයි. උඹට ඕක හෙට උදෙට මතක් කර ගන්න තිබුණනෙ." පවන් කිව්වා.

"ඉතිං උඹයි මමයි යමු එතනිං. එතකොට දෙන්නයිනේ." සචින්ත කිව්වේ පවන් දිහා බලාගෙන.

"එතකොට යකෝ මම එන්නේ තනියෙන්නේ.." මම කිව්වා.

"අම්මට සිරි මට ඒක අමතක වුණානෙ. එතකොට උඹ මොකද කරන්නේ?"

"අපි ඒක එතනදි බලමුකෝ. අපි යංකෝ එතනට." මම කිව්වා.

අපි හිමීට හිමීට ගෙදර ගාවට ලං වුණා. හඳ එළියෙන් ගොඩ වෙලාවක් ආපු හින්දා අපේ ඇස් කළුවරට හොඳට හුරු වෙලයි තිබුණේ. දැන් අපිට ගෙදරට යාගන්න ඒ එළිය හොඳටම ඇති වුණා.

ඒ වුණාට ගේ ළඟට ලං වෙද්දි අපි දැක්ක දෙයින් අපි තුන්දෙනාගේ බය තවත් වැඩි වුණා. ගේ ඉස්සරහ පාරේ මනුස්සයෙක්ගේ හැඩේට හෙවනැල්ලක් වැටිලා තිබුණා. මනුස්සයගේ ඔලුවයි කඳ කොටසයි පැහැදිලිව පේන්න පොළොවේ වැටිලා තිබුණා. ඒක දැකලා මමයි මගේ යාළුවෝ දෙන්නයි ගල් ගැහිලා බලං හිටියා.

"අ...අ...අර බලපංකෝ බං.....අර තියෙන්නේ....අරූ කියපු හෙ..හෙ...හෙවනැල්ල..." සචින්ත කිව්වා.

"අඩෝ සිරාමයි බං................ දැන් කොහොමද බං අපි ගෙදර යන්නේ? එළි වෙනකං මෙතනට වෙලා ඉන්න තමා වෙන්නේ" මම කිව්වා.

අන්තිමට කරන්න දෙයක් නැති කමට අපි පාර අයිනට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. අපේ කරුමෙට අහසේ එක වළාකුලක් වත් නැ.  ඒ මදිවට අර හෙවනැල්ල එහාට මෙහාට වැනෙනවා. එක්කෙනෙක් ළඟවත් ෆෝන් එකක් නැති හින්දා ගෙදට්ට කතා කරන්නවත් විදිහක් නැ. 

ඔහොම පාන්දර 4 විතර වෙනකං බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට කොහේදෝ තිබ්බ වළාකුලක් ඇවිල්ලා හඳ වහගත්තා. ඊට කලිනුත් එහෙම වුනාද දන්නේ නෑ. අපි තුන්දෙනාටම නින්ද ගිහින් තිබුණේ පාරේ තාප්පයක් ගාව. මම ඒ වෙලාවේ ඇහැරිච්ච හින්දා තමයි ඒක දැක්කේ. මට ඒ වෙලාවේ පාරේ ඉඳලා එපා වෙලා තිබුණේ. මම අනිත් එවුන් දෙන්නවත් නැගිට්ටෝගෙන අර හොල්මන් ගේ ඉස්සරහින් ඇදගෙන අරගෙන ගියා. ඒ යනකොටම ආයෙත් හඳ එළිය වැටුණා. අර හෙවනැල්ල කෙලින්ම වැටුනේ අපේ ඇඟට. මම අරනු දෙන්නව ඇදගෙන ආවට ඒ වෙලාවේ අරුන් දෙන්නා මාව ඇදගෙන දිව්වා. අපි එහෙමම ඇවිල්ලා නතර වුණේ අපේ ගෙදර.

මේ හොල්මන් කතාවේ ඇත්ත නැත්ත දැගත්තේ පහුවෙනිදා. ඒ ගෙදර ගාව තියෙන ගහක කොළ වල හෙවනැල්ල තමා මිනිහෙක්ගේ හෙවනැල්ල වගේ වැටිලා තියෙන්නේ. ඒ වුණාට ඒක දැක්කම පෙන්නේ මිනිහෙක්ගේ හෙවනැල්ලක් වගේමයි. පොඩි වෙනසක්වත් නෑ. මිනියක් මැරිච්ච ගෙදරක් ඉස්සරහ එදාම මෙහෙම හෙවනැල්ලක්  වැටිලා තියෙනකොට බය හිතෙන්නේ නැත්තේ කාටද?

_________________________________________________________________

මේ හොල්මන් කතාව ලියපු ගමන් මට හිතුනා මිනී එම්බාම් කරන හැටි ගැනත් පොඩ්ඩක් ලියන්න. ඒක කරන විදිය මම හොයාගත්තේ පාටියකදී බීලා හිටපු එම්බාම් කාරයෙක් කියෝපු  කතාව අහගෙන ඉඳලා.
මනුස්සයෙක් මැරුනට පස්සේ මල්ශාලාවට ගෙනාවම මුලින්ම කරන්නේ මල්ශාලාවේ තියෙන විශේෂ මැෂින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලෙන් හයි කරන එක. ඒ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට. ඊට පස්සේ අර මැෂින් එක දානවා. එතකොට ඒකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇ‍ඟේ තියෙන කැටි ගැහිච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා. ඊට පස්සේ කරන්නේ මිනිය හොඳට නාවන එක. නෑව්වට පස්සේ   මිනියේ මුළු ඇඟටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා. ඊට පස්සේ ඒක වේලෙන්න කළින් ටිෂු එකක් වගේ කොළයක් අලවනවා. ඒක අලෝලා ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේ‍න්නේ නෑ. ඒ කොළේ විනිවිද පේන්න ගන්නවා. ඊට පස්සේ ඇඳුම් අන්දලා ඇඳුම ටින්ටස් ඇන වලින් පෙට්ටියට හයි කරනවා. මම මේ කියන දේ විශ්වාසනැත්නම් මළ ගෙදරකට ගිය වෙලාවකට මිනියේ මූණ ටිකක් නියපොත්තෙන් හූරලා බලන්න. කොළේ ගැලවිලා අතට එයි. 

Saturday 10 November 2012

ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතාවේ හතරවන කොටස - ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය 4


මේ කතාව ගොඩක් දෙනෙක් ආසාවෙන් කියවන කතාවක් කියලා මම දන්නවා. ඒත් ආයෙත් දෙසැම්බර් 22 වෙනිදා වෙනකං මට මේ කතාව ලියන්න වෙන එකක් නෑ. මොකද මගේ අධ්‍යාපන කටයුතු හින්දා මම ගොඩක කාර්යබහුල වෙලා ඉන්නේ. ආයෙත් 5වන කොටසින් දෙසැම්බර් 22 වෙනිදා හමුවෙමු.       

පළමු කොටසට
දෙවන කොටසට

තුන්වන කොටසට

හතරවන කොටස

    හරි හරි දැනුයි තේරුණේ. එතකොට මගේ නම දැනගත්තේ?
          ඒත් අර පොත්වලින්ම තමයි. ඔයා පොත් වල නම් ලියලා තිබුණේ නැත්නම් මම ඔයාගේ නම දැනගන්නේ නැහැ.
          ඔයා ඇඩ්වාන්ස් ගෙවන්න ආපු දවසෙ උදේ කිව්වේ කොහොමද මම ඊට කලින් දවසේ රෑ හරියට නිදාගත්තේ නැහැ කියලා?
          මම ඒ ලෙවල් වලින් පස්සෙ තේරුණා මෙඩිකල් කොළේජ්. මම එම් බී බී එස් කරල නැහැ. ඒ වුණාට මම කාලයක් මෙඩිකල් කොළේජ් එකේ ඉගෙන ගත්තා. මනුස්සයෙකුට හරියට නින්දක් ලැබුණෙ නැත්නම් එයාගෙ ඇස් වටේට කළු පාට වෙනවා. ඔයාගෙත් එදා ඇස් වටේට කළු පාට වෙලා තිබුණා. ඒකෙන් තමයි මම දැන ගත්තෙ ඔයා කලින් දවසෙ රෑ හරියට නිදා ගත්තේ නැහැ කියලා.
          "එතකොට මම දැන් මෙතනට ඇවිල්ලා ඔයාගේ කතා අහගෙන ඉන්නවා කියලා කොහොමද දැක්කේ?"
"ඔයා මට නොපෙනෙන්න හැංගිලා හිටියට ඔයාට හුස්ම ගන්නේ නැතුව ඉන්න බෑනේ. මුලින්ම ඔයාගේ හසුම ගන්න සද්දේ ඇහුණා. ඊට පස්සේ හැරිල බැලුවම ඔයා හිටපු ජනේලේ පියනේ තිබ්බ වීදුරුවෙන් ඔයාගේ ඡායාව දැක්කා. ඊට පස්සේ අනිත් ජනෙල්ලෙන් පැනලා ඔතනට ආවා.
          දැන් මට තේරෙනවා ඔයාගෙ අනාවැකි පිටිපස්සෙ  තියෙන්නේ විද්‍යානුකූල කතාවක් කියලා. එතකොට දැන් ඔයා ෆෝන් එකෙන් කතා කර කර හිටියෙ මොකක් හරි අපරාදයක් ගැන නේද?
          අර ඔයා හොරෙන් අහන් හිටපු එකද?.......අන්න ඒක ගැන තමයි මම මේ දවස් වල පරීක්ෂණය කරන්නේ. ඒක මිනි මැරුමක්
          මිනී මැරුමක්? මොන වගේ එකක්ද?
          භයානක මිනීමැරුමක්. මම කෙටියෙන් විස්තර කියන්නම්. වයස අවුරුදු 56 ක මනුස්සයෙක්ව පිහි පාරවල් 17ක් ඇනලා මරලා දාලා. එයාගෙ නම පියසිරි පෙරේරා. ඉන්නෙ කෝට්ටේ. කෝටියක විතර දේපල තියෙනවා. සුමිහිරි බේකර්ස් කියලා බේකරි කඩ හතරකුත් තියෙන මිනිහෙක්. දරුමල්ලො කවුරුත් නෑ. කසාද බැඳලා. ගෙදර ඉඳලා තියෙන්නේ එයාගේ වයිෆුයි, සර්වන්ට්ලා දෙන්නයි. සර්වන්ට්ලාගෙන් එක්කෙනෙක් කුසුමලතා කියලා අවුරුදු 60 ක විතර ගෑනු කෙනෙක්. ඉඳලා තියෙන්නේ උයන පිහන වැඩ වලට. අනිත් එක්කෙනා සුරංග බොතේජු කියලා වයස අවුරුදු 70 ක විතර මනුස්සයෙක්. මිනිහව තියාගෙන තියෙන්නෙ ගෙදර මුරට. මිනිමැරුම වෙච්ච දවසේ ඉඳලා මිනිහත් අතුරුදහන්! ගෙදර තිබ්බ සල්ලි වලින් රුපියල් ලක්ෂ 12කුත් අතුරුදහන්
          එතකොට ඔය සුරංග කියන මිනිහද පියසිරි ව මරලා තියෙන්නේ? මම ඇසුවෙමි.
          එයාව තමයි දැනට සැක කරන්නේ. ඒත් කිසිම සාක්ෂියක් නැහැ. ඇඟිලි සළකුණු කිසිම දෙයක් නැහැ. අඩුම ගානෙ මිනිමැරුම කරන්න පාවිච්චි කරපු ආයුධයවත් හොයාගෙන නැහැ. මිනිහා මිනිමැරුම වෙච්ච දවසේ ඉඳලා පැනලා ගියපු නිසා තමයි මිනිහව සැක කරන්නෙ.
          එහෙනම් මිනිහා වෙන්නැති ෂුවර් එකටම මරන්න ඇත්තේ. අර මනුස්සයගෙ ටික අරගන්න.
          වෙන්න පුළුවන්. ඒත් මිනිහා යනකොට කිසිම දෙයක් අරං ගිහිල්ලා නෑ. අඩුම ගානෙ මිනිහගෙ ඇඳුම් වගේ ‍පෞද්ගලික බඩුවත්.
          ඔයා ගිහිල්ලා මිනීමැරුම වෙච්ච තැන පරික්ෂා කරලා බැලුවද?
          තුන්පාරක් චෙක් කරලා බැලුවා. පියසිරි ගෙ ගෙදර තට්ටු දෙකක ගෙදරක්.  උඩ තට්ටුවෙ එයාගෙම කාමරේදි තමයි මර්ඩර් එක කරලා තියෙන්නෙ. හරියටම මැයි 10 වෙනිදා රෑ 10ත් 11ත් අතර. මිනිය තිබුණෙ රූම් එකේ ඇඳ උඩ උඩු අතට හැරිලා. මැරෙන වෙලාවෙ ඇඳ‍ගෙන ඉඳලා තියෙන්නේ  සරමක්. මිනීමරුවා රූම් එකට ඇවිත් තියෙන්නේ රූම් එකේම ජනේලයෙන්. ඒක හොයා ගත්තෙ රූම් එකේ ජනේලෙට පහල තියෙන තණකොළ පොඩි වෙලා තිබුණු නිසා. පිහිපාරවල් 17ක් ඇ‍‍ඟේ තියෙනවා. ඔයාට ඕන්නම් පුළුවන් ගෙදර වැඩට හිටපු කුසුමලතා ගෙ කටඋත්තරේ අහන්න.
          කටඋත්තරේ අහන්න? මම ඇසුවෙමි.
          කටඋත්තර කොළ වල ලිය ලියා කාලෙ නාස්ති කරන්න බෑනෙ. මම ඒක මගේ ‍ෆෝන් එකෙන් රෙකෝඩ් කළා.
          මෙසේ පැවසූ ඔහු ඔහුගේ මේසය මත තිබූ ඇපල් අයි ‍ෆෝනය ගෙන එහි ඇති ස්පර්ශ සංවේදී තිරයේ තම ඇඟිල්ල එහා මෙහා කළේය. එවිට හඬ පටය වාදනය විය.  එය මෙසේය.
          මම හැමදාම උදේ හතරට නැගිටිනවා. ඒ ගෙදර වැඩටික කරන්න. අදත් වෙනදා වගේම නැගිට්ටා උදේ පාන්දර හතරට. ඒත් මහත්තයා නැගිටින්නේ උදේ හතට අටට. හැබැයි අද නවය වෙනකනුත් නැගිට්ටේ නෑ.  ඉතින් මම කාමරේට ගියා මහත්තයව නැගිට්ටවන්න. මොකද මහත්තයා මට කියලා තියෙනවා එයාව උදේ අට නවය වෙනකොට නැගිට්ටවන්න කියලා. හැබැයි එයා කවදාවත් මම නැගිට්ටවනකන් ඉන්නේ නැහැ. ඒත් අද නැගිට්ටේ නැති හින්දයි මම ගියෙ මහත්තයව නැගිට්ටවන්න. මම යනකොට කාමරේ දොර ඇතුලින් අගුලු දාලා තිබුණේ. මම දොරට තට්ටු කළා. ඇතුලෙන් සද්දයක් ආවෙ නෑ. මම විනාඩි 10 කට වඩා වෙලාවක් බලාගෙන හිටියා. ඒත් කිසිම සද්දයක් නැති නිසා මම කළේ මං ළඟ තියෙන යතුරු කැරැල්ලෙන් දොර ඇරගෙන ඇතුලට ගියා. කාමරේ ඇතුලට ගියාට පස්සෙ දැකපු දෙයින් මට කලන්තෙත් හැදෙන්න ආවා. ........................ අපේ මහත්තයා ලේ විලක් මැ‍ද්දේ වැටිලා හිටියා. මුළු ඇඳම ලේ වලින් පෙඟිලා. පපුවෙ, බෙල්ලෙ, බඩේ හැමතැනම පිහිපාරවල්. ඒක තමයි මම මගෙ ජීවිතේටම දැක්ක භයානකම දේ. මම හිතන්නේ ඒ වෙලාවේ මට කෑගැහෙන්න ඇති. ඒ සද්දෙට නෝනා කාමරේට දුවගෙන ආවා. ඊට පස්සෙ මම කළේ ගෙදර ෆෝන් එකෙන් වන් වන් නයින් ගහලා පොළීසියට කෝල් එකක් දීපු එක. කෝල් කරලා විනාඩි පහලොවකින් විතර පොළීසියෙන් ගෙදරට ආවා.

Saturday 3 November 2012

විකොන්තැක්ටේ...ෆේස්බුක් වලට ගහයිද?

විජය පරිගණක සඟරාව මම හැම මාසෙකම නොවරදවාම කියවන සඟරාවක්. ඒකේ නොවැම්බර් කළාපය ගත්තේ අද. ඒකේ "විකොන්තැක්ටේ - රුසියාවෙන් එන ෆේස්බුක් තරඟකරුවා" කියලා මාතෘකාවක් එක්ක තිබුණු ලිපිය මම කියවන්න ගත්තේ ෆේස්බුක් වලට ගහන්න ආපු අයියා කවුද කියලා බලාගන්න. දැනටමත් මිලියන 133ක් එකවුන්ට් තියෙන මේ සෝෂල් නෙට්වර්ක් එක ගැන ලියලා තිබුණු එක වාක්‍යයක් මගේ හිත ගත්තා.

"... විකොන්තැක්ටේ වෙබ් අඩවිය පෙනුමේ හැටියට ෆේස්බුක් වැනිමය. රුසියානු භාෂාවද ඇතුළුව භාෂා 70කින් මෙය වැඩ කරයි. සිංහලද එහි තිබේ. "

ඒ වාක්‍යයයේ "සිංහලද එහි තිබේ" කියන කොටස මාව එකපාරටම ඇදලා ගත්තේ පරිගණකය ඉස්සරහට. විකොන්තැක්ටේ අඩවියේ ලිපිනය වන www.vk.com කියන ලිපිනය ටක්ගාලා ක්රෝම් එකේ ඇඩ්රස් බාර් එකේ ටයිප් කරපු මට බලාගන්න පුළුවං වුණේ ටිකක් වෙනස් අඩවියක්. 

මේ සෝෂල් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ නැ. මුලින්ම අපේ නමයි ටෙලිෆෝන් නම්බර් එකයි ටයිප් කළාම ඒ නම්බර් එකට Confirmation Code එකක් sms එකක් විදියට එවනවා. ඒක දුන්නට පස්සේ  අපේ විස්තර එකින් එක අහලා එකවුන්ට් එක හදවනවා.
ඒ පේජ් එකේ පහලම තියෙනවා "සිංහල" කියලා බට්න් එකක්. ඒක ක්ලික් කළාම මුළු පේජ් එකේ භාෂාවම සිංහල බවට හැරෙනවා. ඒකත් මාර අත්දැකීමක්. සිංහලෙන් තියෙනවා කියලා තියෙන්නේ ගොඩක්  ඉංග්‍රිසි වචන එහෙම්ම ඒ උච්ඡාරනයෙන්ම සිංහලෙන් ටයිප් කරලා තියෙන එක. මේ පහල තියෙන පින්තූරේ බැලුවොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවං කොහොමද ඒක තියෙන්නේ කියලා.


(පින්තූරේ පේන්නේ නැත්නම් Ctrl + + බට්න් ඔබලා ලොකු කරගන්න)

ඔයාලත් උත්සහ කරලා බලන්න. දැන්ම www.vk.com අඩවියට ගිහිල්ලා එකවුන්ට් එකක් ඕපන් කරගන්න. ෂර්ලොක් හෝම්ස්සුත් ඉන්නවා Thashila Rachithra කියන නමින්.