Monday, 12 November 2012

හොල්මන් හෙවනැල්ල


අද ලියන්න හිතුවේ හොල්මන් කතාවක්. ඔක්කෝමට කලින් කියන්න එපෑයෑ මේක...... මේ කතාව චූටි ළමයි, හෘදයාබාධ තියෙන අය, ඉක්මණට කම්පනය වෙන අය එහෙම කියවන්න එපා.  මේක මටයි මගේ යාළුවෝ දෙන්නෙකුයි මුහුණ දිපු ඇත්තම සිද්ධියක්.

2600 සම්බුද්ධත්ව ජයන්තියට රටම ලෑස්ති වෙනවා. මේ 2011 අවුරුද්දේ වෙසක් පෝය දවසට කළින් දවස. අපේ දහම් පාසලෙනුත් මේ පාර 2600 සම්බද්ධත්ව ජයන්තිය හින්දම ලොකුවට වෙසක් කළාපයක් හදන්න ලක ලෑස්ති වෙනවා.  වෙසක් පෝයට කලින් දවස හින්දා වැඩ වැඩියි. පහන් කූඩු හතරකුයි තව එක එක අයිටම් 10ක 15ක විතර හදන්න තියෙන හින්දා තමයි.

වෙලාව රෑ 11 විතර ඇති. අපි තාමත් පහන් කූඩුවේ වැඩ. එතන හිටියේ අපි පස්දෙනෙක් විතර. උදේ ඉඳන් පන්සලේ වැඩ කරපු හින්දා කට්ටියටම මහන්සියි. අපිත් එක්ක එතන හිටියා තිවංක කියලා අපේ වයසෙම කෙනෙක්. මිනිහා කතා කියන්න දස්සයි. අපේ කම්මැලිකම යන්නත් එක්ක මිනිහා හොල්මන් කතා කියන්න පටන් ගත්තා.

"මචං මීට අවුරුදු දෙකකට විතර කලින් අපේ මාමා නැතිවුණා බං. හරිද? අපි කළේ චිතකයක් හදලා මාමව ආදාහනය කරපු එක. ඒකට ලොකු චිතකෙකුත් මෙතන කනත්තේ හැදුවා. කරන්ට් එකෙන් නෙමෙයි පිච්චුවෙ. ඔන්න බං මාමව පුච්චන්න පටන් ගත්තා හවස 4.30 ට විතර. ඊට පස්සේ කනත්තට ආපු කට්ටිය ඔක්කොම 5.30 විතර වෙද්දී ගෙදර ගියා. චිතකෙ හරියට පත්තු වෙනවද බලන්න අපේ අයියලා තුන්දෙනෙක් හිටියා කනත්තෙ. උනුත් එක්ක මාත් හිටියා. එතකොට වෙලාව හයහාමාර විතර ඇති. චිතකෙ වටේ තිබ්බ රෙදි ඔක්කොම ඇවිලිලා. මිනිය ඇවිලෙනවා පේනවා. අපි අපේ ෆෝන් වලින් ඒකෙ ෆොටෝ ගත්තා. උඹලා දන්නවද එතකොට වෙච්ච දේ? .."

"මොකක්ද?" හැමෝම ඇහුවේ පුදුම වෙලා.

"මිනිය ටික ටික උඩට ඉස්සෙන්න ගත්තා. නිකං අපි ඇල වෙලා ඉඳලා වාඩි වෙනවා වගේ. අපි කට්ටිය බය වෙච්ච පාර කනත්තෙන් එළියට දිව්වා. ආයෙ ටිත වෙලාවකින් ඇවිල්ලා බලනකොට මිනිය තවත් කෙලින් වෙලා. ඊට පස්සේ අපි මිනිය පිච්චිලා ඉවර වෙනකං හිටියේ කනත්තෙන් ගේට්ටුව ගාවට වෙලා. (මෙහෙම වෙන්නේ මිනිය පිච්චෙන කොට පේශි හැකිලෙන හින්දා කියලා පස්සේ දැන ගත්තේ)

"අඩෝ මාර සීන් එකක් නෙ බං වෙලා තියෙන්නේ...උඹලා දන්නවද?" අපිත් එක්ක වැඩ කර කර හිටපු අයියා කෙනෙක් එකපාරටම එතනට ඇවිල්ලා ඇහුවා.

"ඇයි මොකක්ද සීන් එක? වලියක්ද?"

"වලියක් නෙමෙයි බං. කෝ අරූ?"

"කවුද?"

"ෂර්ලොක් "

"ඇයි මොකක්ද අවුල?" මම ඇහුවා.

"අර උඹලගෙ ගෙවල් පාරේ ඊයේ මැරුණා නේද මිනිහෙක්?"

"ඔව්...මුස්ලිම් මනුස්සයෙක්. ඊයෙම වැලලුවද කොහෙද"

"අන්න උන්ගෙ ගේ ඉස්සරහ පාරේ හෙවනැල්ලක් වැටිලා තියෙනවලු"

"කාගෙ හෙවනැල්ලද?"

"කට්ටියනං කියන්නේ ඒ මැරිච්ච මිනිහගෙ හෙවනැල්ල කියලා. උඹ දැන් ගෙදර යනකොට පරිස්සමිං පලයං. උඹ තනියම නේද යන්නේ?"

"නෑ.. බං. පවනුයි සචින්තයි ඉන්නවා." මම කිව්වා.

"කෝකටත් පරිස්සමිං පලයං"

ඉතිං ඊට පස්සේ පහන් කූඩුවේ වැඩ ටික ඉවර වෙනකොට පාන්දර 2 විතර වුණා. මමයි සචින්තයි, පවනුයි විතරක් පන්සලේ ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ගෙවල් වලට ගියා. අපි ටික විතරක්ඉන්නවා දැකලා හාමුදුරුවොත් කිව්වා දැන් ගෙවල් වලට යන්න අම්මලා තාත්තලා බලාගෙන ඇති කියලා. ඉතිං අපි තුන්දෙනා ගෙදර එන්න පිටත් වුණා. පන්සලේ ඉඳලා ගෙදරට තිබුණේ පයින් එන දුර. ඒ වුණාට යන්න තිබුණේ අර හොල්මන් හෙවනැල්ල වැටිලා තියෙන පාරෙන්. ගෙදරට යන්න වෙන පාරක් තිබුණෙත් නැති නිසා කොහොම හරි හිතට ධෛර්ය අරගෙන ඒ පාරෙන්ම එන්න පටන් ගත්තා.

පෝයට කලින් දවස හින්දා හඳ සම්පූර්ණෙන්ම පායලා තිබුණා. ඒත් අපි ගෙදර එන්න පිටත් වෙනකොට ඒ හඳත් වළාකුළු වලට වැහිලා. මුළු පාරම කට්ට කළුවරයි. අතුරු පාරක් හින්දා ලයිට් කණුවක් වුනත් තිබ්බේ හුඟක් ඇතින්. ලයිට් කණුවලින් ආපු කළාමැදිරි එළිවලින් අපි අර මුස්ලිම් මනුස්සයා මැරිච්ච ගේ පේන මානෙට ආවා.

"මට නං නිකං බයයි වගේ බං." සචින්ත කිව්වා.

"අනේ බූරුවා... යකෝ හෙවනැල්ලක් තියෙන්න එළිය තියෙන්න ඕනෙ. මේ කට්ට කළුවරේ කොහෙද බං හෙවනැලි." මම එහෙම කියලා විනාඩි දෙක තුනක් ගියෙ නෑ වළාකුළු වලට හැංගිලා කිබ්බ හඳ මෝදු වෙලා ආවා. අර ගෙදරත් පේන මානේ තියෙනවා.

"තොට නං තියෙන්නේ මහ මූසල කටක්.  බලපං දැන් ආයෙ හඳ එළිය ආවනේ. දැන් අර හෙවනැල්ල පාරේ වැටිලා ඇති. කොහොමද යකෝ දැං ගෙදර යන්නේ?" පවන් කිව්වා.

"මචං මට දැනුයි මේක මතක් වුණේ?" සචින්ත එකපාරටම මොකක් හරි මතක් වෙච්ච දෙයක් අපිට කියන්න කතා කළා.

"මම අහලා තියෙනවා බං දෙන්නෙක් යන‍කොට  ඒ දෙන්නට අවතාර වලින් මුකුත් වෙන්නේ නෑලු. ගොඩක්ම    අවතාර වලට අහුවෙන්නේ එක්කො තනියෙන් යනකොට නැත්තං ඔත්තෙ ගානක් යනකොට"

"ඇයි බං ඒක දැන් මතක් කළේ. බලහං අපි මෙතන තුන්දෙනයි. උඹට ඕක හෙට උදෙට මතක් කර ගන්න තිබුණනෙ." පවන් කිව්වා.

"ඉතිං උඹයි මමයි යමු එතනිං. එතකොට දෙන්නයිනේ." සචින්ත කිව්වේ පවන් දිහා බලාගෙන.

"එතකොට යකෝ මම එන්නේ තනියෙන්නේ.." මම කිව්වා.

"අම්මට සිරි මට ඒක අමතක වුණානෙ. එතකොට උඹ මොකද කරන්නේ?"

"අපි ඒක එතනදි බලමුකෝ. අපි යංකෝ එතනට." මම කිව්වා.

අපි හිමීට හිමීට ගෙදර ගාවට ලං වුණා. හඳ එළියෙන් ගොඩ වෙලාවක් ආපු හින්දා අපේ ඇස් කළුවරට හොඳට හුරු වෙලයි තිබුණේ. දැන් අපිට ගෙදරට යාගන්න ඒ එළිය හොඳටම ඇති වුණා.

ඒ වුණාට ගේ ළඟට ලං වෙද්දි අපි දැක්ක දෙයින් අපි තුන්දෙනාගේ බය තවත් වැඩි වුණා. ගේ ඉස්සරහ පාරේ මනුස්සයෙක්ගේ හැඩේට හෙවනැල්ලක් වැටිලා තිබුණා. මනුස්සයගේ ඔලුවයි කඳ කොටසයි පැහැදිලිව පේන්න පොළොවේ වැටිලා තිබුණා. ඒක දැකලා මමයි මගේ යාළුවෝ දෙන්නයි ගල් ගැහිලා බලං හිටියා.

"අ...අ...අර බලපංකෝ බං.....අර තියෙන්නේ....අරූ කියපු හෙ..හෙ...හෙවනැල්ල..." සචින්ත කිව්වා.

"අඩෝ සිරාමයි බං................ දැන් කොහොමද බං අපි ගෙදර යන්නේ? එළි වෙනකං මෙතනට වෙලා ඉන්න තමා වෙන්නේ" මම කිව්වා.

අන්තිමට කරන්න දෙයක් නැති කමට අපි පාර අයිනට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. අපේ කරුමෙට අහසේ එක වළාකුලක් වත් නැ.  ඒ මදිවට අර හෙවනැල්ල එහාට මෙහාට වැනෙනවා. එක්කෙනෙක් ළඟවත් ෆෝන් එකක් නැති හින්දා ගෙදට්ට කතා කරන්නවත් විදිහක් නැ. 

ඔහොම පාන්දර 4 විතර වෙනකං බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට කොහේදෝ තිබ්බ වළාකුලක් ඇවිල්ලා හඳ වහගත්තා. ඊට කලිනුත් එහෙම වුනාද දන්නේ නෑ. අපි තුන්දෙනාටම නින්ද ගිහින් තිබුණේ පාරේ තාප්පයක් ගාව. මම ඒ වෙලාවේ ඇහැරිච්ච හින්දා තමයි ඒක දැක්කේ. මට ඒ වෙලාවේ පාරේ ඉඳලා එපා වෙලා තිබුණේ. මම අනිත් එවුන් දෙන්නවත් නැගිට්ටෝගෙන අර හොල්මන් ගේ ඉස්සරහින් ඇදගෙන අරගෙන ගියා. ඒ යනකොටම ආයෙත් හඳ එළිය වැටුණා. අර හෙවනැල්ල කෙලින්ම වැටුනේ අපේ ඇඟට. මම අරනු දෙන්නව ඇදගෙන ආවට ඒ වෙලාවේ අරුන් දෙන්නා මාව ඇදගෙන දිව්වා. අපි එහෙමම ඇවිල්ලා නතර වුණේ අපේ ගෙදර.

මේ හොල්මන් කතාවේ ඇත්ත නැත්ත දැගත්තේ පහුවෙනිදා. ඒ ගෙදර ගාව තියෙන ගහක කොළ වල හෙවනැල්ල තමා මිනිහෙක්ගේ හෙවනැල්ල වගේ වැටිලා තියෙන්නේ. ඒ වුණාට ඒක දැක්කම පෙන්නේ මිනිහෙක්ගේ හෙවනැල්ලක් වගේමයි. පොඩි වෙනසක්වත් නෑ. මිනියක් මැරිච්ච ගෙදරක් ඉස්සරහ එදාම මෙහෙම හෙවනැල්ලක්  වැටිලා තියෙනකොට බය හිතෙන්නේ නැත්තේ කාටද?

_________________________________________________________________

මේ හොල්මන් කතාව ලියපු ගමන් මට හිතුනා මිනී එම්බාම් කරන හැටි ගැනත් පොඩ්ඩක් ලියන්න. ඒක කරන විදිය මම හොයාගත්තේ පාටියකදී බීලා හිටපු එම්බාම් කාරයෙක් කියෝපු  කතාව අහගෙන ඉඳලා.
මනුස්සයෙක් මැරුනට පස්සේ මල්ශාලාවට ගෙනාවම මුලින්ම කරන්නේ මල්ශාලාවේ තියෙන විශේෂ මැෂින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලෙන් හයි කරන එක. ඒ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට. ඊට පස්සේ අර මැෂින් එක දානවා. එතකොට ඒකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇ‍ඟේ තියෙන කැටි ගැහිච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා. ඊට පස්සේ කරන්නේ මිනිය හොඳට නාවන එක. නෑව්වට පස්සේ   මිනියේ මුළු ඇඟටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා. ඊට පස්සේ ඒක වේලෙන්න කළින් ටිෂු එකක් වගේ කොළයක් අලවනවා. ඒක අලෝලා ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේ‍න්නේ නෑ. ඒ කොළේ විනිවිද පේන්න ගන්නවා. ඊට පස්සේ ඇඳුම් අන්දලා ඇඳුම ටින්ටස් ඇන වලින් පෙට්ටියට හයි කරනවා. මම මේ කියන දේ විශ්වාසනැත්නම් මළ ගෙදරකට ගිය වෙලාවකට මිනියේ මූණ ටිකක් නියපොත්තෙන් හූරලා බලන්න. කොළේ ගැලවිලා අතට එයි. 

6 comments:

  1. මල ගේක ගිහින් මිනියේ මූණ හූරනකම් මල ගෙදර උන් නිකන් ඉඳීද? අනේ බොල

    කතාව නම් ලොල් සහගතයි.

    ReplyDelete
    Replies
    1. මම මූණ හූරලා බලන්න කිව්වේ මිනියක එළියට පේන්න තියෙන එකම දේ මූණ හින්දා. ඕවා කරන්න ගිහින් වෙන දේවල් වලට warranty එකක් දෙන්න මට බෑ.

      Delete
  2. මිනී වල මූණු හූරන් ගිහින් ගුටි කන්නද බොලව් අපිට කියන්නේ. ගහනවා දඬුකඳේ හිනහ ගිය හොඳේ

    ReplyDelete
  3. අඩේ මගෙත් එක්ක තරගෙට ඩිටෙක්ටිව් කතා ලියන්න කෙනෙක් ඉන්නවා කියලා මම අදනෙ දන්නෙ. ඔන්න මන් ෆලෝ කොරගෙනම යනවා හොඳේ. අර මර්ඩර් කේස් එක ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ප.ලි.
      කිව්වට මොකද මම නම් හොල්මන් වලට බයයි. ඒ හින්දා මල මිනියක් උනත් හූරන්න යන්නෙ නෑ. රෑට රෑට පස්සෙන් ඇවිත් ඒ හූරපු ටික ඉල්ල ඉල්ල කරදර කරයිද කව්ද දන්නෙ?

      Delete
  4. බය හිතෙනවා මේක බැලුවම...

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....