Monday, 31 December 2012

ඔයා මාව දාලා ගිහිං අදට අවුරුද්දක්!

මේ ලියන්නට යන්නේ 2012 අවුරුද්දේ අන්තිම කතාව. ­­ඒ වුණාට මේ කතාව නම් මෙලෝ රහකට නැති එකක් බව මුලින්ම කියන්ට ඕනෑය. ඒ වුණාට මගේ ජීවිතේට ඒ කතාව ගොඩක් වැදගත් කතාවක්. මේ පෝස්ට් එකේ මාතෘකාව දැක්ක ගමන් ඔයාලට හිතෙන්න ඇති මේ කියන්න යන්නේ මම කෙල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක් ගැන කියලා. ඒත් මේ කතාවට කෙල්ලෙක් යාන්තමිංවත් ගෑවෙන්නේ නෑ.


මට බලු පැටියෙක් හදන්න හිතුනේ මට අවුරුදු එකොළහක් විතර වෙන කාලේ. බල්ලෙක් හදන්න ඕනේ කියන අදහස කොහොම මගේ හිතට ආවද කියලා මමවත් දන්නේ නෑ. ඒත් කොහොමිං කොහොමිං හරි බල්ලෙක් හුරතලේට ඇති කරන්න තියෙන ආසාව මගේ හිතේ එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඒ වුණාට අපේ ගෙදර කට්ටිය කුවුරුත් බල්ලෙක් ඇති කරන්න කැමති වුණේ නම් නෑ.  ඒ වුණාට ඒ කාලේ ඉදංම මම අපේ ගෙදරට ගෙනාපු ලංකාදීප පත්තරෙත් එක්ක එන  ලහිපිට පත්තරේ හැම සතියෙම බැලුවේ ඒකේ පෞද්ගලික තීරුවේ "සුනඛයින්" ගැන දැන්විම් තියෙන තීරුව. ඒ දැන්විම් වල දාලා තියෙන විදියට බල්ලෙක් අඩුම ගානේ 10,000 ක් 20,000 ක් වත් වෙනවා. ගෙදර බල්ලෙක් ඇති කරනවට කොහොමත් අකමැති වෙච්ච අපේ අම්මයි තාත්තයි කොහොමටවත් බල්ලෙක් ගේන්න එච්චර ගානක් වියදම් කරන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.


ඒ වුණාට 2008 අවුරුද්දේ එක දවසක මම හිතුවෙවත් නැති විදියට අපේ සීයා මට බලු පැටියෙක් ගෙනල්ලා දුන්‍නා. හැබැයි ඌ  එච්චර හොඳ බල්ලෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඌ "වල්" බල්ලෙක්. ඒ බල්ලව කවුරුහරි කෙනෙක් සියලාගේ ගෙවල් ගාවට දාලා ගිහිල්ලා තිබුණලු. ඒ වුණාට ඒ කාලේ මගේ හිතේ තිබුණේ වල් බල්ලෙක් ඇති කරන්න ආසාවක් නෙමෙයි. ඒ හින්දා ඒ බල්ලට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ.


ඒත් ඊට ළඟදී දවසක සියාට සීයා‍ අඳුනන තව කවුරු හරි තවත් බලු පැටියෙක් දිලා තිබුණා. ඒ බලු පැටියවත් අපේ ගෙදරට අරගෙන ආවා. ඌ නම් හරි ලස්සන එකෙක්. මුලු ඇඟම සුදු පාටයි. හැබැයි තැනින් තැන කළුපාට ලොකු ලප තියෙනවා. හැබැයි ඌත් එක්ක උපදුනු උ්ගේ අනිත් සහෝදරයන්ට තිබුණා උස යන්නේ නැති ලෙඩක්. ඒත් ඌට නම් එහෙම තිබුණේ නෑ. අන්තිමට කොහොම කොහොම හරි අපේ ගෙදර කට්ටියව ඌව ඇති කරන්න කැමති කරගන්න මට පුළුවං වුණා. ඌට කූඩුවක් අරගන්නත් තාත්තව බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තා.


ඌට මම දාපු නම "රැන්කි". රැන්කිගේ උපන්දිනේ තිබුනෙත් හරියටම මගේ උපන්දිනේට සතියකට කලින්. ඒ කියන්නේ මාර්තු 3 වෙනිදා. ඒ හින්දා රැන්කිගේ උපන්දිනේ කවදාවත් අමතක වුණේ නෑ. රැන්කිගේ තිබුණේ මාර අමුතු ගතිගුණ. ඌ කවදාවත් කියන දේ අහපු බල්ලෙක් නෙමෙයි. මොනදේ ඇහුවත් "කූඩුවට යන්න" කියන වචනේ ඇහුනේ නෑ වගේ ඉන්න ඌට හොඳට පුළුවන්. ඒ වුණාට ඌ උගේ කුඩුව තියා ගත්තේ බොහොම පිරිසුදුව. කවදාවත් ඌ උගේ කූඩුවේ ජරා කළේ නෑ. කොහොම හරි බුරලා බුරලා එළීයට ඇවිත් තමයි කරන්න ඕන දේවල් කරගන්නේ. මම ඒ කාළේ කරපු එක එක කුපාඩි වැඩ හැම එකකටම වගේ රැන්කිත් හවුල් වුණා. මම මුලින්ම කරපු රහස් පරීක්ෂණයටත් උදව් වුණේ ඌ.


2011 අවුරුද්දේ අන්තිම මාස දෙක තුන ඌ ගතකළේ අසනීපෙන්. ඒ අසනීප වලට ගොඩක්ම හේතු වුණේ ඌ ළඟ තිබ්බ වැරදි පුරුද්දක්. ඒක තමයි රබර් කන එක. රබර් තියෙන සෙරප්පු ඌට පෙන්නන්න බෑ. අහුවුනොත් කොහෙට හරි මුල්ලකට අරං ගිහින් සෙරප්පුව ඉවර වෙනකං කන එක තමයි කරන්නෙ.



2011 දෙසැම්බර් 31 වෙනිදා මම නැගිටින කොට උදේ 7 විතර ඇති. එතකොටත් රැන්කි හිටියේ ටිකක් අමාරුවෙන්. කොච්චර අමාරුවෙන් හිටියත් ඌ උගේ කැමතිම වැඩ කරගන්න අතපසු කර ගත්තේ නෑ. ඌ එදා ඌ යන්න කැමති හැමතැනකටම ගියා. අන්තිමට ඌ ආවේ ඌ ඉන්න කැමතිම තැනට. ඒ කියන්නේ මගේ ඇඳ යටට. 


මම ගිහින් ඇඳ යට හිටිය රැන්කිව ඇඳ යටින් අරගෙන උස්සගෙන අරගෙන ගියේ අපේ කුස්සියට. ඒ අම්මා රැන්කිට කිරි ටිකක් පොවන්න කියපු නිසා. හොඳටම දුර්වල වෙලා හිටිය හින්දා ඒ වෙලාවේ ඌ ඇවිදගන්න පුලුවන් වෙලා නෙමෙයි හිටියේ. වෙනදට දම්වැලෙන් ගැට ගහලා නැති කොට හොයාගන්නවත් බැරි විදියට තැන තැන දුවන රැන්කි අද අපි යන්න කිව්වත් කොහෙවත් ගියේ නෑ.


අන්තිමට මම රැන්කිව අපේ කුස්සියේ දොර ගාවින් තියලා ගියේ ඌට කිරි ටිකක් පොවන්න පරණ හැන්දක් හොයාගන්න. මම හැන්දත් අරගෙන ආපහු එනකොට උගේ කටින් ඌ බීපු වතුර වැමෑරෙන්න ගත්තා. මම එකපාරටම අම්මට කතා කළා. ඒ වෙලාවෙම ඌ ගැහෙන්න පටන් ගත්තා. මම ඌව අත්දෙකෙන් වඩාගෙන තාත්තට කිව්වා ඉක්මනට කොහෙට හරි අරගෙන යමු කියලා.


ඒත් අපි පරක්කු වැඩියි...............................................

රැන්කි අපිව දාලා ගියා.............................................


Thursday, 27 December 2012

ටයිටැනික් නැවේ සත්‍ය කතාව


Every night in my dreams
I see you…
I feel you….
That is how I know you...
Go on…

ඒ ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කරපු ටයිටැනික් චිත්‍රපටයේ එන ඉතාමත් අලංකාර ගීතයක් වන My heart will go on ගීතයේ මුල් පද පෙළ. අද ෂර්ලොක් හෝම්ස්ට ටයිටැනික් නැව ගැන ලිපියක් ලියන්නට සිතුනේ ළඟදී දිනක සිරස නාලිකාවේ විකාශය වූ ටයිටැනික් චිත්‍රපටය නැරඹුවාට පසු. චිත්‍රපටය පුරාම දිවයන්නේ ජැක් හා රෝස් ගේ  ආදර කතාව වුවත් හෝම්ස් මේ දිනවල අන්තර්ජාලය පුරා සෙව්වේ ටයිටැනික් නැවේ සම්පූර්ණ කතාවය. මේ ඔබට කියන්නට යන්නේ නැවතත් ජැක් හා රෝස් ගේ ආදර කතාව නොව ටයිටැනික් නැවේ සම්පූර්ණ සත්‍ය කතාවයි. මේ පෝස්ට් එකේ සඳහන් විස්තරය ඉතා දීර්ඝ විස්තරයක් වන අතර මෙහි ජේම්ස් කැමරන්ගේ චිත්‍රපටය හා නොගැලපෙන පරස්පර විරෝධි කරුණු විශේෂ කර දක්වා ඇත.


ටයිටැනික් නැව ඉදිකෙරෙමින්

මේ ගැන වැඩි විස්තර ලබා ගැනීමට මෙතනින් යන්න

ටයිටැනික් යනු එක්සත් රාජධානියෙහි සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය දක්වා ඇයගේ මංගල චාරිකාවෙහිදී උතුරු අත්ලාන්තික් සාගරයෙහිදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912 අප්‍රේල් 15 දිනදී ගිලී ගිය මගී නෞකාවකි. ටයිටැනික් ගිලීයාම නිසා පුද්ගල මරණ 1,514 සිදුවූ අතර ඉතිහාසය පුරාවටම සාමය පැවැති කාලයන්හිදී සිදුවී ඇති සාමුද්‍රීය ව්‍යසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය. ඇයගේ මංගල චාරිකාව සිදුවන විටදී දියත්ව තිබූ විශාලතම නෞකව වීමට ඕ සමත්ව සිටියාය. වයිට් ස්ටාර් ලයින් සමාගම විසින් යාත්‍රාකිරීමෙහි යොදවා තිබූ ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා තුන අතුරින් එකක් වූ ඇය, 190911 අතරතුරදී තනනු ලැබුවේ බෙල්ෆාස්ට්හී හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ස් නැව්තටාකාංගනයේදීය. අනතුර සිදුවන විට මගීන් 2224ක් නෞකාව මත සිටියහ.


එම මගීන් අතර, ඒ වන විට ලෝකයේ කෝටිපතියන් යැයි සැලකූ John Jacob Astor IV, Benjamin Guggenheim සහ Isidor Strauss ද වූහ. එයට අමතරව, බ්‍රිතාන්‍යයෙන්, අයර්ලන්තයෙන් සහ ස්කැන්ඩිනේවියානු රටවලින් ඉසුරු සොයා උතුරු ඇමෙරිකාව බලා ගමන් ගත් මගීන් දහස් ගණනක්ද නෞකාව මත වූහ.
ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි. එයට අමතරව ඇය සතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා අවැසි බලගතු ටෙලිග්‍රාෆ් පණිවිඩ සනිවේදන හැකියාවද වූවාය. නවීන තාක්ෂණයෙන් හෙබි ජල පරිරෝධක කාමර සහ දුරස්ථව ක්‍රියා කළ හැකි ජල පරිරෝධක දොරවල් වැනි ආරක්ෂක ක්‍රියාමාර්ග තිබුණද, නෞකාව එය මත සිටින සියලු දෙනාටම ඇවැසි තරම් ජීවිතාරක්ෂක බෝට්ටු වලින් සමන්විත නොව්වාය. නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1178 දෙනෙකුට පමණී. එය නැව මත සිටි මගීන් සහ කාර්යය මණ්ඩලයේ එකතුවෙන් තුනෙන් එකකට පමණක් සෑහිනි.

නෞකාව පිළිබඳ කෙටියෙන්

අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්‍රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්‍රිත්වය වූහ. මෙම නැවු ත්‍රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J. Bruce Ismay හා වයිට් ස්ටාර් සමාගමේ මව් සමාගම වූ International Mercantile Marine Co. සමාගම පාලනය කළ අමෙරිකානු මූල්‍ය සම්පාදකයෙකු වූ J. Pierpont Morgan හා ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එකල වයිට් ස්ටාර් සමාගම, සිය ප්‍රධානම ප්‍රතිවාදී තරඟ කරුවකු වූ, ඒ වන විට ලොව වේගවත්ම මඟී නෞකාවන් ලෙස සැලකූ Lusitania හා Mauretania යන නෞකාවන් දියත් කොට තිබූ Cunard සමාගම ඉදිරියේ හා ජර්මානු නැව් සමාගම් වූ Hamburg America හා Norddeutscher Lloyd ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් සිටියහ. එම තරඟයට මුහුණදීම සඳහා White Star සමාගමේ සභාපති වූ J. Bruce Ismay විසින් යෝජනා කළ වේගවත් බව වෙනුවට විශාලත්වය සහ අධි සුඛෝපභෝගීත්වය සහිත නැව් පන්තියක ප්‍රතිඵලය මෙම නෞකා ත්‍රිත්වය වේ.


නැව ඉදිකරන ලද්දේ 1867 තරම් ඈත කාලයක සිට වයිට් ස්ටාර් සමාගම හා සුහදව කටයුතු කළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හී Harland and Wolff සමාගම වේ. Harland and Wolff සමාගම නැව් සැලසුම් කිරීම පිළිබඳව විශේෂඥ සේවයක් White Star Line සමාගම වෙත සැපයුවේය. සමාගම් දෙක එක්ව නැවක් සැලසුම් කෙරීමේදී පිරිවය සාධකය කෙරෙහි අඩුම සැලකිල්ලක් දැක්වූ අතර Harland and Wolff සමාගමට අවැසි කටයුතු සඳහා මුදල් වැයකිරීමේ නිදහස තිබූ අතර පසුව සියයට පහක ලාභාංශ තීරුවක් එකතු කිරීමටද එකඟතාවයක් විය. ඔලිම්පික් පංතියේ නැව් තැනීමේදී, ප්‍රථම නැව් දෙක සඳහා බ්‍රිතාන්‍යය පවුම් මිලියන තුනක් වියදම් වූ බවට ගණන් බලා ඇත.


Harland and Wolff සමාගම ඔලිම්පික් පංතියේ නෞකා සැලසුම් කිරීමේදී සිය ප්‍රමුඛම සැලසුම කරුවන් ඒ සඳහා යෙදවූහ. Harland and Wolff හා White Star Line යන සමාගම් ද්විත්වයේම අධ්‍යක්ෂක වරයෙකු වූ Lord Pirrie, Harland and Wolff හී සැලසුම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂක Thomas Andrews, ඔහුගේ සහයක ලෙස සහ සැලසුම් ගණනය කිරීම් සහ නැවේ ස්ථායීතාවය ( Stability & trim ) සම්බන්ධයෙන් කටයුතු කළ Edward Wilding සහ නැව් තටාකාංගණයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන සැලසුම් කරු වූ Alexander Carlisle ගේ මූලිකත්වයෙන් එය අධීක්ෂණය වූහ. කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ ක්‍රමවේදයක් සැලසීම Alexander Carlisle ගේ කාර්යයක් විය.

1908 ජූලි 29 වන දින Harland and Wolff සමාගම සිය සැලසුම White Star Line හී සභාපති J. Bruce Ismay සහ අනෙකුත් විධායක ශ්‍රේණියේ නිලධාරීනට පිළිගැන්වීය. Ismay වෙතින් සැලැස්ම අනුමත් වීමෙන් පසුව එකඟතා ගිවිසුම අත්සන් කළ අතර එයින් දින දෙකකට පසුව ඉඳිකිරීම් ඇරබීමට එකඟ වූහ. මෙම මොහොතේදී මුලින්ම ඉඳිකළ නැවට නමක් නොවූ අතර එය Harland and Wolff හී 400 වන ඉඳිකිරීම වූ බැවින් " අංක 400 " විය. එයට පසුව ඉදිකළ ටයිටැනික් නෞකාව " අංක 401 " විය.

නැවේ කපිතාන්  "එඩ්වඩ් ස්මිත්"

නෞකාවේ විශේෂතා

ටයිටනික් හී විදුලි බල උත්පාදක පද්ධතිය, සාමාන්‍ය නඟරයක විදුලි බල උත්පාදකයකට වඩා බලයක් ජනනය කිරීමෙහි සමත් විය. කිලෝ වොට් 400 ජනන යන්ත්‍ර හතරක් මෙම කාර්යය ඉටු කළ අතර අතිරේකව කිලෝ වොට් 30 ක ජනන යන්ත්‍ර දෙකක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා වූහ. මෙම අතිරේක ජනන යන්ත්‍ර නැවෙහි පිටිපසට වන්නට වූ බැවින් නැව ගිලෙන මොහොත දක්වාම එම යන්ත්‍ර ක්‍රියාත්මක වන්නට ඇතැයි සැලකේ.


ටයිටැනික් නැව, කිලෝ වොට් 1.5 ක බලගතු, රැහැන් රහිත ටෙලිග්‍රාෆ් යන්ත්‍ර දෙකකින්ද සමන්විත වූවාය. එයින් එකක් පණිවිඩ ලබා ගැනීම සඳහාත්, අනෙක පණිවිඩ නිකුත් කිරීම් සඳහාත් භාවිත කෙරිණ. නැවේ කුඹගස් අතර, දුම් නල වලට අඩි 50 ක් පමණ ඉහළින් සමාන්තරව ඇදුණු කම්බි යුගල 2ක් මගින් ඒ සඳහා අවැසි සංඥා සම්ප්‍රේෂණය කෙරිණ. මෙම යන්ත්‍ර එවකට ලොව පැවති බලගතුම ටෙලිග්‍රාෆ් යන්ත්‍ර වූ අතර සැතපුම් 1000 කට පමණ දුරකට පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව ඒවා සතු වූහ. ඒවා, නැවේ එදිනෙදා මෙහෙයුම් කටයුතු වලට වඩා මූලික වශයෙන් මඟීන් සඳහා භාවිත කෙරිණි. කෙසේ වෙතත්, කාලගුණ තොරතුරු ලබාගැනීම, හිම පර පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම වැනි කාර්යයන්ද ඔවුනට පැවරී තිබුණි. මෙහි අයිතිය සහ නඩත්තුව මාර්කෝනී සමාගම සතු වූ අතර එය 24 පැයේම ක්‍රියාත්මක කිරීමට ඇවැසි මිනිස් බලයද මාර්කෝනී සමාගමෙන්ම සපයා තිබුණි.


මෙම නෞකාවේ B-deck ලෙස හැදින්වූ පුද්ගලික සක්මන් තීරු වලින්ද සමන්විත්වූ ඉතා අලංකාර ප්‍රථම පන්තියේ කාමර හයක් සමඟින් මෙහි තවත් ප්‍රථම පන්තියේ කාමර පන්තියක් විය. ප්‍රථම පන්තියේ මඟීන්ට සුපෝකභෝගී භෝජන සැපයූ A La Carte Restaurant සහ Café Parisien යන සුපිරි ආපන ශාලාවන්ද මෙම තට්ටුවේය. දෙවන පන්තියේ දුම්පානය කරණා කාමරය සහ පිවිසුම් ශාලාවද මෙහිම වූහ. විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර හා නැංගුරම් රදවා තැබූ ස්ථානයද වූයේ මෙම තට්ටුවේම ඉදිරි කොටසෙහිය. මෙම කොටස මඟීන්ට සපුරා තහනම් වූ අතර 1997 දී තිරගත කළ ටයිටැනික් චිත්‍රපටයේ පෙන්වූ ප්‍රසිද්ධ "ඉගිලෙන" දර්ශනය යථාර්ථයක් නොවු දෙයකි. මෙම තට්ටුවෙහි අවර කොටස අඩි 106 ( මීටර 32 ) ක දිගකින් යුක්තවූ " Poop Deck" යනුවෙන් හැඳින්වූ, තෙවන පන්තියේ මඟීන් සක්මන් තීරුවක් ලෙස භාවිතා කළ කොටසට යොමුවී තිබුණි. මෙය, බොහොමයක් වූ තෙවන පන්තියේ මඟීන් සහ කාර්යය මණඩලය නැව ගිලෙන විට අවසානයට සිටගන සිටි ස්ථානය විය. පෙර සඳහන් නැවෙහි ඉදිරි කොටස සහ "Poop Deck" යනුවෙන් හැඳින්වූ කොටස මෙම තට්ටුවෙන් වෙන් කෙරුනේ " වෙල් ඩෙක් " - Well Deck යනුවෙන් හැඳින්වූ තවත් විශේෂිත තට්ටුවකිනි.


ටයිටැනික් නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් විය.ඒවායින් 14ක් Harland and Wolff සමාගම විසින් නිර්මාණය කරන ලද, දැවයෙන් නිපදවූ බෝට්ටුය. මෙම එක බෝට්ටුවක 65 දෙනෙකුට ගමන් කළ හැකි විය. තවත් 04 ක් ඇකිළිය හැකි වර්ගයේ බෝට්ටුය. (මේවා A සිට D දක්වා නම් කොට තිබුණි ) ඒවායෙහි 47 ත් දෙනෙකුට එකවර ගමන් කළ හැකිය. එයට අමතරව, එකක 40 දෙනෙකුට ගමන් කළ හැකිවූ වේග බෝට්ටු දෙකක්ද විය. දෙකක් හැර අන් සියලුම ජීවිතාරක්ෂක බෝට්ටු " Boat Deck " තට්ටුවේ රඳවා තිබුණි. නැවෙහි දකුණු පස වූ බොට්ටු 1 සිට 15 දක්වා වූ ඔත්තේ ඉලක්කම් වළින් නම් කොට තිබූ අතර, වම් පස වූ බෝට්ටු 2 සිට 16 දක්වා වූ ඉරට්ටේ ඉලක්කම් වලින් නම් වී තිබුණි. වේග බෝට්ටු දෙක දියත් තිරිංක වලට සවිකොටම එල්ලා තැබුණේ හදිසියකදී ක්ෂණිකවම දියත් කිරීම සඳහාය. A සහ B බෝට්ටු දෙක නිලධාරින්ගේ කාමර වලට ඉහළින්, චිමිනිය දෙපස සවි කොට තිබුණ අතර ඒවාට දියත් තිරිංක නොවුනි. ඒවායේ බර මඟින්ම දියත් කිරීමේ පහසුකම් සපයා තිබුණි. සෑම බෝට්ටුවකම, ජලය, ආහාර, උණුසුම් ඇඳුම් වූ අතර ජීවිතාරක්ෂක පටි සහ තේඩාද තිබුණේ ජලයේ සිටින අමතර පුද්ගලයන් බේරාගැනීම සඳහාය.

නැවෙහි දියත් තිරිංක 16 ක් තිබුණ අතර සෑම එකටම බෝට්ටු 04 ක් හැසිරවීමේ හැකියාව තිබුණි. එය ජීවිතාරක්ෂක බෝට්ටු 64 හැසිරවීම සඳහා ප්‍රමාණවත් වූ අතර එම බෝට්ටු ප්‍රමාණය පුද්ගලයන් 4000 ක් ගලවා ගැනීමට සෑහුනි. එය නැවෙහි ගමන් කළ හැකි පුද්ගලයන් ප්‍රමාණයටත් වැඩි සංඛ්‍යාවකි. එහෙත්, Harland and Wolff සමාගමේ තීරණය වූයේ ජීවිතාරක්ෂක බෝට්ටු 20 ක් පමණක් රැගෙන යාමටය. එය යන්තමින් නැවේ මඟීන් සංඛ්‍යාවෙන් තුනෙන් එකකට සෑහුනි. එවකට පැවති නීතිය අනුව ටොන් 10000 කට වැඩි නැවකට ජීවිතාරක්ෂක බෝට්ටු 16 පමණක් තිබීම ප්‍රමාණවත් විය. ඒ අනුව බලන කළ ටයිටැනික් නැව නීති ප්‍රකාරව අවශ්‍යය වූ බෝට්ටු සංඛ්‍යාවටත් වැඩි ප්‍රමාණයක් සපයා තිබුණි.

ටයිටැනික් නැවේ ඉරණම

මංගල ගමනේ ආරම්භය

ටයිටැනික් හී මංගල ගමන වනාහී එංගලන්තයේ සදම්ටන්, ප්‍රංශයේ චේබර්ග්, අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන්, එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, සහ නැවත එංගලන්තයේ ප්ලිමත් යන වරායන් සම්බන්ධවන පරිදි අත්ලන්තික් සයුර හරහා ගමන් කිරීමට සැලසුම් කළ ගමන් මාලවක පළමු ගමන විය. White Star Line සමාගම මේ සඳහා නැව් තුනක් අනුයුක්ත කොට තිබූ අතර ඒවානම් ටයිටැනික්, ඔලිම්පික් සහ තවත් කුඩා නැවක් වූ RMS Oceanic ය. සැම නැවක්ම සති තුනකට වතාවක් එංගලන්තයේ සදම්ටන් වරායෙන් නිව්යෝර්ක් බලා යාත්‍රා කිරීමට සැලසුම් කොට තිබුණි. සෑම බදාදාවකම දහවල් 1200 ට සදම්ටන් වලින් නැවකුත්, සෙනසුරාදා දහවල් 12:00 ට නිව් යෝර්ක් වලින් නැවකුත් යාත්‍රා කෙරිණ. එමඟින් ඔවුනට සතිපතා සේවයක් පවත්වාගෙන යාමට හැකි වූහ. ලංඩන් සිට සහ පැරිස් සිට විශේෂ දුම්රියන් යොදවා තිබුණේ මඟීන්ට පිළිවලින් සදම්ටන් සහ චේබර්ග් වරායන් වෙත සම්බන්ධ විය හැකි පරිදිය. 1911 දී, ඔලිම්පික් පන්තියේ නැව් සඳහාම, වැඩි ගැඹුරකින් යුක්ත ජෙටියක්ද සදම්ටන් වරායේ ඉඳිකෙරිණ.


ටයිටැනික් මත මඟීන් 1317 ක් වූහ. 324 දෙනෙකු ප්‍රථම පංතියේ, 284 දෙනෙකු දෙවන පංතියේ සහ 709 දෙනෙකු තෙවන පංතියේ මඟීන් වූහ. 869 දෙනෙකු ( 66% ) පිරිමින් වූ අතර 447 දෙනෙකු ( 34 % ) ගැහැණු මඟීන් වූහ. මංගල ගමනේදී, නැවෙහි රැගෙන යාහැකි මඟීන් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් පමණක් නැව මත විය. මඟීන් 2566 ක් - ප්‍රථම පංතියේ 1034 ක්, දෙවන පංතියේ 510 ක්, තෙවන පංතියේ 1022 ක් වශයෙන් මඟීන් රැගෙන යාමේ ධාරිතාවයක් නැවට වූ නමුදු එයින් අඩකට මදක් වැඩියෙන් පමණක් මඟීන් වූහ.

සාමාන්‍යයෙන්, ටයිටැනික් වැනි කීර්තිමත් නැවක් සම්පූර්ණයෙන් මඟීන්ගෙන් පිරී යායුතු වුවද, නැවෙහි මංගල ගමනට ආසන්නයේ ඇතිවූ එංගලන්ත ගල් අඟුරු කම්කරුවන්ගේ වැඩ වර්ජනය නිසා කාලසටහනට අපමණ බාධා වූ අතර බොහොමයක් මඟීන් වැඩ වර්ජනය අවසන් වනතුරු සිය ගමන් වාර කල්තැබූහ. වර්ජනය නැව යාත්‍රා කිරීමට කිහිප දිනකට පෙර අවසන් වුවද එය මඟීන් සංඛ්‍යාවේ වැඩිවීමට විශාල බලපෑමක් කිරීමට අසමත් විය. ටයිටැනික් සැලසුම් කළ දිනටම යාත්‍රා කිරීමට සමත්වූයේ අවැසි ගල් අඟුරු ප්‍රමාණය ඒවන විට සදම්ටන් වරායේ වූ අනෙකුත් නැව් වලින් ලබා ගත හැකිවූ බැවිනි.

නැවේ ගමන් මාර්ගය

එවකට ලොව ප්‍රසිද්ධ යැයි පිළිගත් බොහෝ දෙනෙකුද, ප්‍රථම පංතියේ ගමන් කරමින් මංගල ගමනට එක්වී සිටියහ. ඒ අතර, ඇමෙරිකානු කෝටිපතියකු වූ John Jacob Astor IV සහ ඔහුගේ බිරිඳ Madeleine Force Astor, කර්මාන්ත කරුවකු වූ Benjamin Guggenheim, Macy's දෙපාර්තමේන්තු අලෙවි ජාලයේ හිමිකරු වූ Isidor Straus සහ ඔහුගේ බිරිඳ Ida, ඇමෙරිකානු කෝටිපතිනියක් වූ Margaret "Molly" Brown , ශ්‍රිමත් Cosmo Duff Gordon සහ ඔහුගේ බිරිඳ වූ මෝස්තර නිර්මාණ ශිල්පිනී Lucy (Lady Duff-Gordon), ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ව්‍යාපාරිකයකු වූ John Borland Thayer සහ සිය පවුල, රෝත්ස් සිටුදේවිය, ලෙඛිකාවක වූ Helen Churchill Candee, ජනමාධ්‍යවේදියෙකු වූ William Thomas Stead, ලේඛකයෙකු වූ Jacques Futrelle සහ ඔහුගේ බිරිඳ සහ දෙබස් රහිත චිත්‍රපට අධ්‍යක්ෂවරියක වූ Dorothy Gibson යන අයවලුන් වූහ. ටයිටැනික් හිමි කරුවූ J. P. Morgan මංගල ගමනට එක්වීමට සිටියද අවසාන මොහොතේදී චාරිකාව අවලංගු කරන ලදී. White Star Line හී කළමනාකාර අධ්‍යක්ෂක J. Bruce Ismay සහ සැලසුම් ශිල්පී Thomas Andrews යන අයවලුන්ද නැව මත වූහ.


නැවෙහි සිටි මඟීන් ගණන කිසි කෙනෙකු නිශ්චිතව කීමට අපොහොසත් වූහ. ඒ ප්‍රවේශපත් ගත් සියළු මඟීන්ම සංචාරයට එක් නොවූ නිසා හා සමහර මඟින් අතරමග වරායන් වලින් බැස ගිය බැවිනි.

ටිකට් එකක මිල

ටයිටැනික් හී ප්‍රවේශපත්‍ර ගාස්තුද සාපේක්ෂව ඉහළ අගයක විය. ලංඩන්, සදම්ටන් හෝ ක්වීන්ස්ටවුන් සිට ගමන් ගන්නා තෙවන පංතියේ මගියෙකුගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව පවුම් 7 යි ශත 5 ක් ( අද වටිනාකම පවුම් 532 ) වන විට ප්‍රථම පංතියේ අඩුම ගාස්තුව පවුම් 23 ක් ( අද වටිනාකම පවුම් 1688 ) විය. ප්‍රථම පංතියේ මිලාදිකම ප්‍රවේශපත්‍රයක් පවුම් 870 ක් ( අද වටිනාකම පවුම් 63837 ) විය.


1912 අප්‍රේල් මස 10 වන දින ටයිටැනික් හී මංගල ගමන ඇරඹුණි. කාර්යය මණ්ඩලයේ ආගමනයෙන් පසුව නන් දෙසින් පැමිණි මඟීන් නැවට ගොඩවීම 09:30 සිට ඇරඹුණි. සංඛ්‍යාත්මකව විශාල අගයක් ගත් තෙවන පංතියේ මඟීන් මුලින්ම නැවට ඇතුල් කර ගත්හ. ප්‍රථම සහ දෙවන පංතියේ මඟීන් ඔවුනට පසුවය. ප්‍රථම සහ දෙවන පංතියේ මඟීන්ව නැවේ කපිතාන් වරයා විසින් පුද්ගලිකවම පිළිගත් අතර ස්ටුවර්ඩ් වරුන් විසින් ඔවුන්නට සිය කාමර වෙත මග පෙන්වන ලදී. තෙවන පංතියේ මඟීන්ව රෝගාබාධ පරීක්ෂාවකටද ලක් කෙරුණේ, White Star Line සමාගමට ඔවුන්ව අමෙරිකාවට ඇතුල් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අවහිරයට මුහුණදෙනවාට අමතරව නැවත වතාවක් ඔවුන්ව එංගලන්තයට රැගෙන ඒමට වීමේ මූල්‍යමය පාඩුවට සහ අවහිරයට මුහුණ දීම වැළැක්වීම උදෙසාය. මගීන් 922 ක් සදම්ටන් වලින් නැවට ගොඩවූ අතර අනෙක් මඟීන් අනෙකුත් වරායන් වලින් සම්බන්ධ වූහ.


මංගල ගමන දහවල් 1200 ට ඇරඹුණි. ආරම්භයේදීම සිදුවීමට ගිය විශාල අනතුරක් අනූ නවයෙන් වැළකී ගියේය. ටයිටැනික් නැව, සදම්ටන් වරායේ නවතා තිබුණු තවත් කුඩා නැව් දෙකක් වූ SS City of New York හා Oceanic යන නෞකාවන් අසලින් ගමන් කරනවිට, ටයිටැනික් හී විශාලත්වය කරන කොටගෙන ඇතිවූ ජල කැළබීම නිසා මෙම නැව් දෙක නොසිතූ ලෙස ඉහළට එසවී ඒක්ෂණයෙන් නැවතත් පහතට පැමිනුනි. මෙම පීඩනය දරාගත නොහැකිවූ City of New York නැව ගැටගසා තිබුණු කඹ කැඩීගිය අතර එම නැව ටයිටැනික් නැව ඉදිරියට පැද්දෙමින් ඇදී ගියේය. අසල වූ අදින යාත්‍රාවක් ( Tug boat ) වහා නිව්යෝර්ක් නැව පාලනය කරගැනීමට ඉදිරිපත් වන අතරතුර කපිතාන ස්මිත්ගේ අණින් ටයිටැනික් නැව පසුපසට ධාවනය විය. අවසානයේදී නැව් දෙකේ ගැටීම වළක්වා ගැනීමට හැකි වූයේ අඩි හතරක් වැනි සුලු පරතරයකින්ය. මෙය, නැවේ ගමන පැයක් පමා කළේය.


එලෙස සදම්ටන් වෙතින් නික්මුණු නැව, නාවික සැතපුම් 77 ක් එපිටින් තිබූ ඊළඟ නැවතුම වූ ප්‍රංශයේ චේබර්ග් වරාය බලා යත්‍රා කෙරිණ. කාලගුණය මදක් සුළං සහිත, වලාකුළින් බර සීතල තත්ත්වයේ වුවද යහපත් විය. චේර්බර්ග් වරායට ටයිටැනික් වැනි විශාල නැවක් හැසිරවීමේ පහසුකම් නොවූ බැවින්, කුඩා යාත්‍රා මඟින් මගීන්ව ඔබ මොබ ප්‍රවාහනය කිරීම අත්‍යාවශ්‍යය විය. White Star Line සමාගම චේබර්ග් වරායේදී එවැනි කුඩා යාත්‍රා යුගලක් භාවිතා කෙරිණි. SS Traffic සහ SS Nomadic ඒවාය. මෙම යාත්‍රා යුගලයම ඔලිම්පික් පන්තියේ නැව් සඳහාම මඟීන් ප්‍රවාහනය කිරීමට විශේෂයෙන් සැකසූ ඒවා වූ අතර ටයිටැනික් දියත් කොට කෙටිකලකට පසු එම යත්‍රා එළිදැක්වුණි. සදම්ටන් වලින් නික්මී පැය හතරකට පසු ටයිටැනික් චේබර්ග් වෙත ළඟා වූ අතර මඟීන් 274 දෙනෙක් කුඩා යාත්‍රා මගින් නැව වෙත රැගෙන ආවේය. 24 දෙනෙක් නැවෙන් ඉවත්ව යාත්‍රා මගින් වරාය වෙත පිටත්ව ගියහ. මෙම හුවමාරුව විනාඩි 90ක් වැනි කෙටි කාලයකදී අවසන් වූ අතර රාත්‍රී 8.00 ට ටයිටැනික් නැව නැංගුරම් ඔසවා ක්වීන්ස්ටවුන් බලා යාත්‍රා කෙරිණ. කාලගුණය තවමත් පෙරපරිදිය.

1912 අප්‍රේල් 11 වන දින උදෑසන 11:30 ට නැව ක්වීන්ස්ටවුන් වරායට සේන්දු වූවාය. එය සමාන්‍යයෙන් උණුසුම්, අර්ධ වශයෙන් වලාකුළින් බර, තදින් සුළඟ හැමූ දිනයකි. නැවතත් නෞකාවට කුඩා යාත්‍රා වල පිහිට පැතීමට වූයේ මෙහිදීද නැව වරාය වෙත රැගෙනයාමට තරම් වරාය ප්‍රමාණවත් නොවූ බැවිනි. මෙහිදී මගීන් 120 දෙනෙක් නැවට එකතු වූ අතර 07 දෙනෙකු නැව හැර ගියෝය. මෙලෙස නැවෙන් නික්මී ගිය අයවලුන් අතර සිටි දක්ෂ ඡායාරූප සිලිපියෙකු වූ, ජේසු නිකායික පුහුණුවන්නකු වූ Francis Browne පියතුමා විසින් ඉතා විශාල වශයෙන් නැව ඡායාරූප ගතකොටගෙන තිබුණි. තවද, කාර්යය මණ්ඩල සාමාජිකයකු, ලියුම් මලු තුළ සැඟවී හොර රහසේම නැවෙන් පැනයාමක්ද මෙම වරායේදී වාර්තා වී තිබුණි. සිය දිවියේ අවසාන නැංගුරම් එසවීම 1912 අප්‍රේල් මස 11වන දින දහවල් 01:30 ට සිදු කළ ටයිටැනික් නෞකාව සිය දෛවෝපගත ඉරණම සොයා, ක්වීන්ස්ටවුන් වරායෙන් නික්මිණි.


ක්වීන්ස්ටවුන් වෙතින් නික්මුණ නැව, අයර්ලන්ත වෙරළ තීරයට සමාන්තරව නාවික සැතපුම් 55 ක් පමණ ගමන් කළාය. ඉන්පසු, නාවිකයන් අතර " The Corner " යනුවෙන් ප්‍රචලිත, නිව් පවුන්ඩ්ලන්තයට ගිණිකොණ දෙසින් පිහිටි ස්ථානයට ළඟාවීමට නාවික සැතපුම් 1620 ක් පසු කළාය. මෙම ස්ථානය සාමාන්‍යයෙන් බටහිර බලා යාත්‍රා කරන නාවිකයන්, සිය ගමන් මාර්ගය වෙනස් කරන එසේත් නැත්නම් හරවන ස්ථානය වේ. ටයිටැනික් නැව මෙම ස්ථානය පසු කොට යාත්‍රා කළේ පැය කිහිපයක් පමණී.


ක්වීන්ස්ටවුන් වෙතින් නික්මී පළමු දින තුන යහපත් ලෙස ගෙවී ගියේය. පළමු දින, නෞකාව නාවික සැතපුම් 484 ක් ( කි.මි. 896 ක් ) ආවරණය කළ අතර දෙවන දින එය නාවික සැතපුම් 519 ක් ( කි.මි. 961 ක් ) ලෙස සටහන් විය. අවසාන දින මද්‍යාහනය වනවිට නාවික සැතපුම් 546 කි.( කි.මි. 1011 කි ). එතන් සිට නැව මුහුදුබත් වන තෙක් තවත් නාවික සැතපුම් 258 ක් (කි.මි. 478 ක් ) යාත්‍රා කොට තිබුණි. සාමාන්‍යය පැයට නාවික සැතපුම් 21 ක වේගයකි. (පැ.කි.මි. 39 කි ). කාලගුණය නැව ක්වීන්ස්ටවුන් වෙතින් එන විට තිබූ තත්ත්වයේම විය. අප්‍රේල් 13 වන දක්වා උෂ්ණත්වය සෞම්‍යය විය. නමුත් පසු දින නැවට සීතල කාලගුණයකින් යුක්ත, තදින් හුළන් හැමූ, අඩි අටක් පමණ උසට රළ නැගුණු ප්‍රචණ්ඩ කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. මෙම තත්ත්වය දිනය තුළදීම ක්‍රමයෙන් පහව ගිය අතර, එදින සන්ධ්‍යාව වනවිට පැහැදිලි, නිශ්චල සහ අධික සීතල තත්ත්වයකට හැරුණි.


ටයිටැනික් නැවට ප්‍රදේශයේ තිබිය හැකි අයිස් පර ගැන අනතුරු ඇඟවීම් රාශියක්ම ලැබුණද සියල්ල නොසලකා හරිමින් නැව උපරිම වේගයෙන් යාත්‍රා කෙරිණ. එයට බොහෝදුරට බලපෑවේ මෙවන් විශාල නැවකට අයිස් පරයකින් විය හැක්කේ බොහෝ සුලු අනතුරක් යැයි පැවති මතයයි. නැවේ නියමුවා වූ කපිතාන් ස්මිත් පවා පවසා සිටියේ නූතන නෞකා ඉඳිකිරීම් තාක්ෂණය බොහෝ දියුණු බැවින්, නැවක් ගිල්විය හැකි තත්ත්වයක් ගැන ඔහුට සිතාගැනීමටවත් නොහැකි බවයි.

නැව මුහුදුබත් වුණු හැටි



නිරීක්ෂණය කළේය. වහා ක්‍රියාත්මක වූ පළමු නිලධාරියා වූ William Murdoch නැව අයිස් පරය වටෙන් යාත්‍රා කිරීමට උපදෙස් දෙමින්ම නැව පසුපසට යාත්‍රා කිරීමටද නියෝග කළේය. එහෙත් එවිට ප්‍රමාද වැඩිය. නැවෙහි දකුණු පස, අයිස් පරය හා ගැටුණේ ජල මට්ටමට පහළින් විශාල සිදුරු ගණනාවක්ම ඇතිකරවමිනි. ජල පරිරෝධක කුටීර පහක්ම කැඩී ගොස් තිබුණි. කුටීර හතරකට වඩා ජලයෙන් පිරීගියහොත් නැවට බේරිය නොහැකි බැවින් නැවෙහි ඉරණම තීරණය වී ඇතිබව පැහැදිලි විය. කුටීරයෙන් කුටීරයට වතුර පිරෙමින් නැවෙහි ඉදිරිපසින් මුහුදුබත් වීම ඇරබුණි.


නැව මත සිටි කිසිවෙක් මෙවන් වූ හදිසි අවස්ථාවකට මනාසේ සූදානම්ව නොසිටියහ. ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ නැව මත සිටි පිරිසෙන් අඩකට පමණී. නැව, එහි රැගෙන යාහැකි සම්පූර්න ප්‍රමාණයෙන්ම පිරී තිබුණේනම් මෙම බොට්ටු ප්‍රමාණය සැහෙන්නේ තුනෙන් එකකට පමණී. කාර්ය මණඩලය මෙවන් වූ හදිසි තත්ත්වයක් සඳහා කිසිසේත්ම පුහුණුව නොසිටියහ. එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක ආරක්ෂිතව කී දෙනෙකු නැංවිය හැකිද යන්න ගැන පවා ඔවුනට අවබෝධයක් නොව්නි. බොහොමයක් බෝට්ටු අඩක් පිරුණ විට දියත් කළේ එබැවිනි. තෙවන පන්තියේ මඟීන් විශාල වශයෙන් නැව මත ඉතිරි වූ අතර එයින් බොහොමයක් දෙනා නැවෙහි සිරවී නැවත් සමගම මුහුදුබත් වූහ. ජීවිතාරක්ෂක බෝට්ටු මතට පැටවීමේදී " කාන්තාවන් සහ ළමුන් " ප්‍රථමයෙන් ප්‍රතිපත්තිය අනුගමනය කළ බැවින් බොහොමයක් වූ පිරිමි මඟීන් සහ කාර්යය මණඩලය නැව මත ඉතිරි වූහ.


අනතුරින් පැය දෙහෙකුත් විනාඩි හතළිහකට පසු නැවෙහි මුහුදුබත් වීමේ වේගය වැඩි වුණි. ඉදිරිපස කොටසට ජලය පිරෙමින් ගිලිගිය බැවින් අවරය ඉහළට එසවුණේ නැවෙහි අතිවිශාල අවර පෙති නිරාවරණය වෙමිනි. මොහොතකින් තෙවන සහ සිව්වන දුම් කව්ළු අතරින් නැව කොටස් දෙකකට කැඩී ඇණිය ප්‍රථමයෙන්ම මුහුදුබත් විය. තවත් ටික වේලාවක් සයුර මත පාවෙමින් තිබූ පසුපස කොටස අලුයම 02:20 ට මුහුදුබත් වූයේ එහි සිරවූ බොහොමයක් පුද්ගලයන්ද සමඟිනි. දිවිගලවා ගැනීම සඳහා මුහුදට පිනූ බොහොමයක් දෙනාම පාහේ ෆැරන්හයිට් අංශක 28 ක් (සෙල්සියහ් අංශක -2 ක් ) තරම් වූ අධික සීතලට ගොදුරුව විනාඩියක් වැනි කෙටිකාලයකින් මරු වැළදගත්හ. සමහරුන් හදවත නතරවීමෙන්ද, ගිලී යාමෙන්ද ජීවිතක්ෂයට පත්වූහ. එලෙස මුහුදෙහි වූ අයගෙන් 13 දෙනෙකු පමණක් නැවත පැමිණි ජීවිතාරක්ෂක බෝට්ටු මඟින් ගලවා ගැනුණි.


උදව් ඉල්ලා නිකුත් කළ සංඥාවලට ප්‍රතිචාර දැක්වූ කිසිදු නෞකාවක්, නැව ගිලී යාමට මත්තෙන් එම ස්ථානයට ළඟා විය හැකි තරමේ ආසන්නයක නොවූහ. අනතුරට කලියෙන් අවසාන වශයෙන් ටයිටැනික් නැව හා සම්බන්ධ වූ Californian නෞකාව, ටයිටැනික් වෙතින් නිකුත් වූ ආලෝක සංඥා දුටු නමුත් උදව් දීමට අපොහොසත් විය. ටයිටැනික් වෙතින් නික්මුණු සංඥාවලට ප්‍රතිචාර දක්වමින්, අලුයම හතරට RMS Carpathia නැව එම ස්ථානයට ළඟා විය.710 දෙනෙකු Carpathia නැව මඟින් ගලවා ගෙන නිව්යෝර්ක් වරාය වෙත රැගෙන ආ අතර 1517 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.


මුහුදුබත් වූවාට පසු

Carpathia නිව් යෝර්ක් වරායට සේන්දු වීමට දින තුනක් ගත්තේය. අයිස් පර, අධික මීදුම, වැහි කුණාටු සහ ප්‍රචණ්ඩ මුහුද මෙම පමාවට හේතු වීය. කෙසේ වෙතත් ඒ අතරතුර, ඇය විසින් බාහිර ලෝකයාට සත්‍ය සිදුවීම වාර්තා කිරීමට සමත් වූවාය. මුලින්ම නිකුත් වූ වාර්තා ව්‍යාකූල, පරස්පර විස්තර වලින් ගහන විය. එක්තරා ප්‍රධාන පෙළේ ඇමෙරිකානු පුවත්පතක් වාර්තා කොට තිබුණේ ටයිටැනික් නෞකාව SSVirginian නෞකාව විසින් වරාය වෙත ඇදගෙන එන බවකි.


පසුව, ටයිටැනික් සිය බොහොමයක් වූ මඟීන් සමඟ මුහුදුබත් වූ බවට ස්ථීර කළ වාර්තා ලැබුණි. එම වාර්තා White Star Line සමාගමේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ වූ බොහොමයක් කාර්යයාල වල අවධානය දිනා ගන්නා ලදී. ප්‍රවෘත්තිය වැඩිම බලපෑමක් එල්ල කළේ සදම්ටන් වාසීන්ටය. නැවේ කාර්යය මණඩලයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම එම නගරයෙනි.

ගලවාගැනීමේ හමුදාවේ පුවත්පත වූ "War Cry" සිද්ධිය වාර්තා කරමින් " මෙම ශෝකජනක ආරංචියෙන් නොසැලුණේ ගල් හිත් ඇත්තන් පමණී. අවුලට පත්, සුදුමැලි වූ මුහුණින් යුතු මිනිසුන් දිවා රාත්‍රී දෙකෙහිම ඒ නොලැබුණු ආරංචිය වෙනුවෙන් බලාසිටියහ. සෑම කෙනෙකුගේම පාහේ ඥාතියකු අනතුරින් නැතිවී තිබුණි." අනතුරින් දිවිගලවා ගත් අයගේ ලේඛනය අප්‍රේල් 17 වනදා දක්වා ප්‍රමාද වූයේ දුර්වල සන්නිවේදනය නිසාවෙනි. එයද අසම්පූර්ණ වැරදි වාර්තාවකි.

Carpathia අප්‍රේල් 18 වන දින රාත්‍රී 09:30 ට පමණ නිව් යෝර්ක් වරායේ ජෙටි අංක 54 නවත්වන ලදී. නැව පිළිගැනීමට 40000 ක් පමණ වූ විශාල ජනකායක් අධික වර්ෂාව මධ්‍යයේද එක්රොක්ව සිටියහ. ස්වෙච්ඡා සංවිධාන වලින් විපතට පත්වූවනට කෂණික සහන සංවිධානය කොට තිබුණි. බොහොමයක් වූ මඟීන් නිව් යෝර්ක් හී රැඳී නොසිට සිය ඥාතින් වෙත ගියහ. සමහර ධනවත් මඟීන් දුම්රියක් කුලියට ගෙන සිය ගමනාන්තය වෙත ගියහ. ඒ අතර, පෙනිසිල්වේනියා දුම්රිය සමාගම නොමිලේම මඟීනට ෆිලඩෙල්ෆියා වෙත යාමට දුම්රියක්ද සපයන ලදී. දිවිගලවා ගත් 214 ක්වූ කාර්යය මණ්ඩලය, Red Star Line සමාගමේ SS Lapland නැවට නංවන ලදී. මේ සියල්ල මෙසේ සිදුවන අතර Carpathia නැව ලහි ලහියේ ආහාර සහ අනෙකුත් අවැසි කළමනා වලින් පුරවනු ලැබුයේ සම්පූර්ණ නොකළ සිය ගමන් වාරය පිටත්වීම සඳහාය. මෙම කළ මෙහෙය වෙනුවෙන් Carpathia කාර්යය මණඩලය සිය අයිතිකරුවන් වූ Cunarad Line වෙතින් නොමද පැසසුමට ලක් වූ අතර ප්‍රාසාද දීමනාවක්ද ලැබුණි. ටයිටැනික් මඟීන්ගෙන් කොටසක්ද එකතුව පවුම් 900 ක් තරම් වූ අතිරේක ප්‍රසාද දීමනාවක් Carpathia කාර්යය මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළේය.

Carpathia නැවෙහි නිව් යෝර්ක් පැමිණීම පුවත්පත් අතර මහත් කලබලකාරී උනන්දුවක් ඇතිකිරීමට සමත් වූහ. සමහරුන් නැව වරාය වෙත ගෙන ඒමට නැවට ගමන් කළ නියමු යාත්‍රාවට ( Pilot Boat ) අල්ලස් ගෙවා ගොඩවීමට සමත්වූ අතර එක මාධ්‍යවේදියෙක් නැව වරායට පැමිණීමට ප්‍රථම නැවට ගොඩවීමට සමත්වූ බවද කියවේ. සියලුම පුවත්පත් කාර්යාල අසල පිරිස් එක්රොක් වූයේ උණුසුම්ම පුවත් වාර්තා දැනගැනීමේ අටියෙනි. දිවිගලවාගත් වූවන්ගේ සම්පූරණ ලේඛනය පළකිරීමට තවත් සිව්දිනක් ගතවූයේ තොරතුරක් බලාපොරොත්තුවෙන් සිටි මඟීන්ගේ ඥාතීන්ව තව තවත් පීඩාවට පත්කරමිනි.

සදම්ටන්හී බොහොමයක් වූ පවුල්වලට බත සපයන්නන් අහිමිව තිබුණි. අසරණසරණ කටයුතු ලහි ලහියේ සංවිධානය කෙරිණ. අප්‍රේල් 29වන දින ඔපෙරා ශිල්පීන්වූ Enrico Caruso, Mary Garden හා Metropolitan Opera හී සාමාජිකයන් එකව පැවත්වූ ප්‍රසංගයක් මගින් පවුම් 12,000 ක මුදලක් විපතට පත්වූවන්ට ප්‍රදානය කරන ලදී. බ්‍රිතාන්‍යායේදී ඔවුනට පිහිටවීම සඳහා අරමුදල් පිහිටවූ අතර පවුම් 450,000 ක් ( අද වටිනාකම පවුම් 33,018,954 ක් ) එකතු කොට ප්‍රදානය කිරීමට සමත්වූහ. එවැනි එක අරමුදලක් හැටේ දශකය දක්වාම ක්‍රියාත්මක වී ඇත


SS Californian නැව ක්‍රියාකරපු හැටි


SS Californian නෞකාව

බොහොමයක්වූ විවාදාත්මක කාරණාවලින් එකක් වූයේ SS Californian නැවෙහි භූමිකාවයි. එම නැව ටයිටැනික් නැවට සැතපුම් කිහිපයක් මෙපිටින් සිටියද, ටයිටැනික් වෙතින් උදව් ඉල්ලා නිකුත් වූ ගුවන් විදුලි පණිවිඩ වලට හෝ ආලෝක සංඥා වලට ප්‍රතිචාර නොදක්වා තිබුණි. සැබැවින්ම Californian නැව අයිස් පර සහිත තත්ත්වය නිසා නතර කොට තිබූ අතර ටයිටැනික් වෙත, තිබිය හැකි අයිස් පර පිළිබඳව අනතුරු අඟවාද තිබුණි. නමුත් ටයිටැනික් නැවේ ප්‍රධාන ගුවන් විදුලි පණිවිඩ කරු විසින්, තමනට බාධා නොකරන ලෙසට ඔවුනට තරවටු කොට තිබුණි.

Californian නැවෙහි කාර්යය මණ්ඩලය, බ්‍රිතාන්‍යය පරික්ෂණය ඉදිරියේ කට උත්තර දෙමින් හෙළිකොට සිටියේ, රාත්‍රී 10:10 ට පමණ ඔවුන් දකුණට ගමන් කරන නැවක ආලෝකය දුටු බවයි. කපිතාන් Stanley Lord හා තෙවන නිලධාරියා වූ C.V. Groves එය මඟී නෞකාවක් විය හැකි බවට එකඟ වී තිබුණි. 11:50 ට පමණ එම නැවෙහි ආලෝකය නිවී ගිය අතර ටිකකින් වම්පස පහන් දැල්වුනි. කපිතාන්ගේ අණින් 11:30 සිට 01:00 දක්වා මෝස් සංඥා එළි නිකුත් කළද ප්‍රතිචාරයක් ලැබී නොතිබුණි.

කපිතාන් Lord රාත්‍රී 11:00 ට පමණ නින්දට ගිය අතර එයින් පසු රාජකාරියේ යෙදුණු දෙවන නිලධාරියා අලුයම් 01:10 ට පමණ කපිතාන් වරයාට දැනුම් දුන්නේ අදාල නැවෙන් අහස් වෙඩි පහක් නිකුත්වූ බවය. එහිදී කපිතාන් වරයාට දැන ගැනීමට අවැසි වූයේ එම වෙඩි වෙන් කොට හඳුනා ගත හැකි වර්ණවත් ඒවාද යන වගයි. දෙවන නිලධාරියා එම වෙඩි සුදු පැහැති ඒවා බව සැලකොට සිටියේය. දිගටම එම නැවට මෝස් ආලෝක සංඥා නිකුත් කරන ලෙස උපදෙස් දුන් කපිතාන් වරයා නැවතත් නින්දට ගියේය. අලුයම 05:30 ට පමණ නැවේ ප්‍රධාන නිලධාරියා, ගුවන් විදුලි පණිවිඩකරුව අවධිකරවමින් අසා සිටියේ රාත්‍රියේදී අහස් වෙඩි නිරීක්ෂණය කල බවත්, ඔහු විසින් කිසියම් නැවක් හා සන්නිවේදනය කිරීමට උත්සහා කළේද යන වගය. ඔහුට ටයිටැනික් මුහුදුබත් වු ප්‍රවෘත්තිය ලැබී තිබුණ අතර කපිතාන් වරයාවද දැනුවත් කරන ලදී. නැව වහාම අදාළ ස්ථානයට යොමු කළද Carpathia නැව විසින් සියලුම දිවි ගලවා ගත් වූවන්ව ඒ වන විටත් බේරාගන තිබුණි.

මෙහිදී Californian නැවේ කපිතාන් වරයා වෙත, උදව් ඉල්ලා නිකුත් කළ සංඥා වලට ප්‍රතිචාර දක්වා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ චෝදනාව එල්ල වුවද ඔහු සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් කරුණු දැක්වීය.

ප/ලි:
ටයිටැනික් නැව ගිලෙන්නට හේතුවුණේ විශාල අයිස් පරයකි. නැවේ කපිතාන්ට අයිස් පරය ගැන කොතරම් ගුවන් විදුලි පණිවුඩ ලැබුනද ඔහු ඒ ගැන සැලකිලිමත් වූයේ නැත. කෙසේ හෝ ටයිටැනික් නැවට ඒ ඉරණම අත්වුණි. ඒ වුවත් ටයිටැනික් නැවත් සමගම මුහුදුබත් වුණු  විසිවෙනි සියවසේ මිනිසුන් නොදන්නා වටිනා යමක් ඇත. ඒ ඊජිප්තු මමියකි.


මෙය මා කියවූයේ මීට වසරකට පමණ කලින් ලංකාදීප පත්‍රයේ පළවූ ලිපියකිනි. ඒ ලිපියේ තිබූ ආකාරයට එදා ටයිටැනික් නැවේ කාටත් හොරරහසේ ඊජිප්තුවෙන් සොයාගත් මමියක් ඇමරිකාව බලා ප්‍රවාහනය කරමින් තිබිණි. ඒ ඇමරිකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනය කිරීමටය. නමුත් ඒ මමිය තිබූ සොහොන් ගෙහි සඳහන් වන ආකාරයට එම මමිය ගොඩගත් නැතැන්තාට හා එය පරිහරණය කරන තැනැත්තන්ව ශාපයකට ලක්වේ. ටයිටැනික් වැනි විශාල නෞකාවක් ගිල්විමට හේතු සාධක සයුරේ ඇතිවීමට එම මමියේ ශාපයද බලපෑ ඇති බවට මතයක් දැන් දැන් ලෝකයේ පැතිරී යමින් පවතී.

Sunday, 23 December 2012

ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂණ කතාවේ පස්වැනි කොටස



කාලයක් තිස්සේ ඔයාලා බලාගෙන හිටපු රහස් පරීක්ෂණ කතාවේ පස්වෙනි කොටස මෙන්න අද මම අරගෙන ආවා. ගොඩ කාලෙකින් කතාව බලපු නැති හින්දා පහුගිය කොටස් කියවලා කතාව මතක් කරගන්න.

පළමු කොටසට
දෙවන කොටසට

තුන්වන කොටසට
හතරවන 
කොටස



                එදා සෙනසුරාදා දවසකි. මම මාගේ පෞද්ගලික කටයුත්තක් සඳහා නිවසින් පිටව ගොස් සිට නැවත නිවසට පැමැණියෙමි. නමුත් මාගේ මව කිසියම් කාර්යයකට නිවස අගුලු දමා නිවසින් පිටව ගොස් සිටියාය.  නිවසේ යතුරද වෙනදා තබන ස්ථානයේ නොතිබූ හෙයින් මම මව පැමිණෙන තුරු සිටීමට විසල් ගේ කාමරය වෙත ගියෙමි.

          මා යන විට විසල් තමාගේ පරිගණකයෙන් කිසියම් කාර්යයක් සිදු කරමින් සිටියේය. කාමරයේ දොරද විවෘත කර තිබූ හෙයින් මම දොරට තට්ටුවක් දමාගෙන කාමරයට ඇතුළු වීමි.

          ආ..... කවිශ්ක.... කොහොමද? මෙසේ පැවසූ විසල් මා දිහා ස්වල්ප වේලාවක් එක එල්ලේ බලා  සිට නැවත ඔහුගේ කාර්යයට යොමු විය.

          හොඳයි විසල් අයියෙ. අද නං මට මාර විදියට මහන්සියි. අම්මත් කොහෙද ගිහිල්ලා.  ගෙදර යතුරත් නෑ. ඒක හින්දා මම අම්ම එනකං මෙතනට වෙලා ටික වෙලාවක් ඉන්නං.

           ආ ඒක අවුලක් නෑ. ඔහොම ඉන්නකෝ. විසල් එසේ පැවසූ පසු මම ඔහුගේ කාමරයේ තිබු අසුනක වාඩි වීමි.

          ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගෝල් ෆේස් එකේ අයිස්ක්‍රීම් කාලා මහන්සිත් ඇති නේද? විසල් එක් වරම ඇසූ එම ප්‍රශ්නයෙන්  මා වාඩිවී සිටි පුටුවෙන් නිකම්ම නැගිට්ටවිනි.

          ඔයා කොහොමද දන්නේ මම එයත් එක්ක අද ගෝල් ෆේස් එකට ගියා කියලා? ඔයා කාවද එව්වේ මං ගැන ඔත්තු බලන්න?

          අනේ මං වගේ පොඩි මිනිහෙක් කොහොමද ඔයා පස්සෙන් ඔත්තු කාරයෙක් එවන්නේ? එච්චර වත්කමක් නං මං ගාව නෑ.

          එහෙනං කොහොමද ඔයා දැන ගත්තේ මම ගියපු තැනයි, ගිහින් කරපු දේවලුයි? මම ඇසුවෙමි.

          අනේ කොල්ලෝ! පොඩ්ඩක් බලන්න ඔයාගේ ඩෙනිම් කලිසමේ පහල. සුදුපාට හීනි වැලි හැමතැනම. ඔයාගේ ඔය නිල් පාට ඉරි ගියපු සුදු පාට ෂර්ට් එකේ තියෙන රෝස පාට පැල්ලම. ඔය දෙකම දැක්කම හිතාගන්න පුළුවං කොල්ලා කොහෙද ගියෙ කියලා.

          ඒ කොහොමද? කලිසමේ වැලි තිබ්බ එකෙන් හොයාගන්න පුළුවං බීච් එකට ගියා කියලා කියන්න. ඒත් මම ගියේ ගෝල් ෆේස් එකට මයි කියන්නේ කොහොමද? අනික ගර්ල් කෙනෙක් එක්ක අයිස්ක්‍රීම් කැවා කියන්නේ කොහොමද?  මට තනියම අයිස් ක්‍රීම් කන්නත් පුළුවන්නේ.

          ඔයා ගියේ ගෝල් ෆේස් එකට කියලා මම කිව්වට මට ඒක එච්චරම ෂුවර් තිබුණෙ නෑ.  ඒ වුණාට ඉතිං අපි ඉන්න තැනට ළඟින්ම තියෙන්නේ ගෝල් ෆේස් එක. අනික එතන ඔයාලා වගේ අයට ප්‍රසිද්ධ තැනක්නේ. මේ වයසේ කොල්ලෙක් මේ කට්ට අව්ව පායලා තියෙන වෙලාවේ ගෝල් ෆේස් එකට ගිහින් තනියම අයිස්ක්‍රීම් කැවා කියලා හිතන්න බැ. එහෙම කරනවනං එක්කෝ එයාට මානසික ලෙඩක්. කවිෂ්ක ට මානසික ලෙඩක් නෑ කියලා මම හොඳටම දන්නවා.

          දැන්නේ තේරෙන්නේ ඔයා ඒක දැනගත්තේ කොහොමද කියලා...ඒක නෙමෙයි විසල් අයියේ.....ඔයාගේ අර පරීක්ෂණේ එහෙම දැන් කොහොමද? මම ඇසුවෙමි.

          ඒ ගැන වැඩක් තමයි මං මේ දැන් කර කර හිටියෙත්. ඔයාලගෙ අම්මත් මේ පොඩ්ඩකට කලින් එළියට ගියේ. එන්න තව ටිකක් පරක්කු වෙයි. මොකද කියන්නේ මාත් එක්ක යන්න කැමතිද පොඩි ගමනක්?

          කොහෙද?

          ඔයා කැමතිනං විතරක් එන්න. අපි ටක්ගාලා අර මර්ඩර් එක වෙච්ච ගෙදරට ගිහිල්ලා එමු. මට ඒ ගෙදර තව වුවමනා දේවල් ටිකක් තියෙනවා බලාගන්න.

          මා ද බලා සිටියේ මෙවැනි අවස්ථාවක් උදාවන තුරුය. මිනිමැරුම සිදු වූ හැටි ගැන විසල් ගෙන් අසා දැන ගත්තත් එය සිදුවූ ස්ථානය නැරඹීමට මා සිටියේ නොඉවසිල්ලෙනි. මා එක එල්ලේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර සිටියෙමි.

          එම සිදුවීමෙන් හරියටම විනාඩි 15ට පමණ පසු අප දෙදෙනා සිටියේ විසල් ගේ බයිසිකලයේ නැගී වේගයෙන් මිනිමැරුම සිදුවූ නිවස දෙසට යමින්ය. සුළු වේලාවකට පසු එම නිවසට පැමිණි අප බයිසිකලය ගේට්ටුව අසල නවත්වා නිවස වෙතට පියනගන්නට විය. නමුත් ගේට්ටුව අසලදි විසල්ට ඇතුලට යා හැකි වුවද මා හට ඇතුලට යාමට පොළිස් නිළධාරීන් ඉඩ දුන්නේ නැත.

          එයාට එන්න දෙන්න. විසල් පැවසුයේ එපමණකි. මා හට ඇතුලට යාමට අඅවසර ලැබුණී.

          සර්.......... මා පරික්ෂාකල පොළිස් නිළධාරියෙකු විසල්ට කතා කළේය. සර් එනකං වික්‍රමරත්න සර් බලාගෙන ඉන්නවා. සර් ආපු ගමන් එයා ගාවට එවන්න කියලා කිව්වා

          ඕකේ. විසල් කීවේය. කවිශ්ක එන්න මාත් එක්ක. විසල් මාද කැටුව උසස් පොළිස් නිළධාරියා හමුවට ගියේය.

          අයියෝ විසල් ඔයා විනාඩි 5ක් පරක්කුයි. උසස් පොළිස් නිළධාරියා පැවසුවේය.

          එච්චරම පරක්කුවක් නෑ. අපි කෙලින්ම කතාවට බහිමු. දැනට දවස් ගානක් තිස්සේ සීඅයිඩී එකෙන් පරීක්ෂණේ කරනවා ඒත් අපරාධකාරයා ගැන කිසිම හෝඩුවාවක් නෑ. මම හිතන්නේ ඔබතුමා මට එන්න කියන්න ඇත්තේ මට මේ පරීක්ෂණේ භාරගන්න කියන්න වෙන්න ඇති.

හරියට හරි මිස්ටර් විසල්. මේ කේස් එක හින්දා මුළු පොළිස් ඩිපාට්මන්ට් එකේම සායම ඉවරයි. පත්තරකාරයො අපිට පට්ට ගහනවා. අපිටත් කරගන්න දෙයක් නෑ. මුළු රටේම පොළිස් ස්ටේෂන් වලට අර සුරංග කියන මිනිහා ගැන දන්වලා තිබුණට තාම කිසිම හෝඩුවාවක් නෑ. උසස් පොළිස් නිළධාරියා කීවේය.

මට මේ කේස් එකට කළින් එන්ටර් වෙන්න බැරි වුණේ මම ඒ දවස් වල කර කර හිටපු වෙන කේස් එකක් හින්දා. මම මට පුළුවන් වෙලාවක ඇවිල්ලා මේ ගෙදර අයගෙන් කට උත්තර අරගෙන ගියා. ඒත් මේ ගැන උනන්දු වෙන්න වෙලාවක් තිබුණේ නෑ.  මමත් හිතුවේ මේ කේස් එකේදිත් වෙන කේස් වලදී ව‍ගේ ඒ මිනිහව අල්ලගෙන තියෙයි කියලා. ඒත් මේ පරීක්‍ෂණේ හිතුවට වඩා දුරදිග යනවා කියලා මට තේරෙනවා. විසල් කීවේය.

කවද ඉදංද මිස්ටර් විසල් දැන් පරීක්ෂණේ පටන් ගන්නේ?

          මේ දැං ඉඳන් විසල් පිළිතුරු දුන්නේය.

එතකොට විසල් මේ කවුද? උසස් පොළිස් නිළධාරියා විසල්ගෙන් මා පෙන්වමින් ඇසුවේය.

          ආ... ඒ මගේ අලුත් යාලුවෙක්. එයාටත් මාත් එක්ක මේ කේස් එකට කනෙක්ට් වෙන්න ඕනෙලු. විසල් පැවසීය.

          තාම පොඩි කොල්ලෙක්නේ..... උසස් පොළිස් නිළධාරියා මා පෙන්වා පැවසුවේය. එහෙනං විසල් දැන්ම වැඩේ පටන් ගන්න. මම යනවා. මොකක්හරි උදව්වක් ඕනෙනං හරි මොකක් හරි ප්‍රශ්නයක් නං හරි මට කෝල් කරන්න. මගේ නම්බර් එක තියෙනවනේ. එසේ පැවසූ පොළිස් නිළධාරියා එතැනින් පිටව ගියේය.

          එහෙනං විසල්... මගේ බයික් එකේ කැබි එකේ තියෙනවා පොඩි බෑග් එකක්. මෙන්න යතුර. ගිහින් ඒක අරගෙන එන්න. අපි වැඩේ පටන්ගමු.

Saturday, 22 December 2012

හෝම්ස් O/L ලියපු හැටි


ලංකාවේ ඕලෙවල් විභාගෙත් ඉවරය. හෝම්ස් ද මේ අවුරුද්දේ ඕලෙවල් ලිව්වේය. ඒත් ඒ ලංකාවේ ඕලෙවල් නොවේය. ලන්ඩන් ඕලෙවල්ය. ඒත් හෝම්ස්ට දැන් හිතෙන්නේ ලන්ඩන් ඕලෙවල් ලිව්වේ අපරාදේ කියාය. ලන්ඩන් ඕලෙවල් වල හා ලංකාවේ ඕලෙවල් වල තියෙන්නේ අහසට පොළොව වගේ වෙනසක්ය.


ලන්ඩන් ඕලෙවල් පටන් ගත්තේ ද ලංකාවේ ඕලෙවල් පටන් ගත් දවසේමය. ඒ ‍මේ දෙසැම්බර් 11 වෙනිදාය. මුලින්ම තිබ්බේ ආගමය. හෝම්ස් විභාගේ ලියන්ට වාඩිවුණේ විභාගේ ලියන අතරේ එකෙක් මැරුනත්,බෝම්බයක් පිපුරුවත්,අඩුම තරමේ මම ට්‍රයි කර කර හිටපු කෙල්ල ඇවිල්ලා මට කැමැත්ත දෙන්න කතා කෙරුවත් හැරිලා බලන්නේ නෑ කියාය. හෝම්ස්ගේ ගුරුවරු ඒ තරම්ම හෝම්ස්ව බය කර තිබුණෝය. විභාගේ බලන්ට හිටියේද වෙන කොහේද ඉස්කෝලෙක ගුරුවරුය.


මුලින්ම තිබුණේ ආගමය. හෝම්ස් ලන්ඩන් වල හිටියාට ඔරිජිනල් බෞද්ධයෙක්ය. ඒ හින්දා හෝම්ස් ලිව්වේද බුද්ධාගම ය. එදා විභාග අධීක්ෂණයට ද මොකක්ද එකට හිටියේ මල යකෙක්ය. හෝම්ස් හිටපු පන්තියේ හිටිය විසිදෙනාගෙන් වාසනාවන්තයින් හය දෙනෙකුම එදා ඒ මල යකාගෙන් බැනුම් ඇහුවෝය. ඒ විදේශ ආධාර ගන්නට හා දෙන්නට ගිහින්ය.


ලිව්වේ ඕලෙවල් වුණාට අපි හිටියේ 7 වසර පන්තියකය. හෝම්ස් ගේ වාසනාවට එදා හෝම්ස් හිටිය ඩෙස් එක ගාවම තියෙන බිත්තියේ ලොකු චාර්ට් එකක් ගසා තිබුණේය. ඒ බුද්ධගමේ එන ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය වාගේ දේවල් එක්කය. ඒ හින්දාම ‍ඒ චාර්ට් එකේ පිහිටෙන් හෝම්ස්ට ළකුණු 10ක් විතර පේපරේට එකතු කරගන්නට පුළුවන් විය.


අනිත් විෂයයන් ගැන කියා වැඩක් නැත. මේ දවස් වල ගංවතුර නිසා අමතක වී තියෙන විද්‍යාව පේපරේ ගැනත් දෙයක් ලිව්වොත් හොඳය. මේ විද්‍යාව පේපරේ පන්නා තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක නමක් තියෙන සෑර් කෙනෙක්ය. කෙටියෙන්ම කිව්වොත් සම්පත්ය. වාසගම කියන එක හරි නෑය. කොහොම හරි මේ සෑර් පන්ති කරන්නේ බොරැල්ලේ හා මහරගමය. මේ සෑර්ගේ එක පන්තියකට ළමයි 500ක් විතර එන්නේය. කොහොම හරි බොරැල්ලේ පන්තියට විභාගෙට සතියකට විතර කලින් මේ පේපරේ දෙන්න හදලාය. ඒත් ඒ පන්තියේ එවුන් ට මොකක් හරි හේතුවකින් ඒක දීලා නෑය. ඒත් මහරගමට දිලාය. හෝම්ස් ටද පේපරේ හම්බ වුනේ විභාගේ තියෙන දවසේමය. ඒත් ඒ පේපරේද අකුරු කියවාගන්නට අපි මාර ගේමක් දෙන්න ඕනෙය. ඒ අපිට ලැබිච්ච පේපරේ එක එක තැනින් දහ පහලොස් පාරකට වඩා ෆොටෝ කොපි වැදී තිබීම නිසාය.


ඒ සෑර් විද්‍යාව පළවෙනි පේපර් එක විතරක් නොව දෙවැනි පේපර් එකත් දීලාය. ඒත් අපිට මුලින්ම තිබුණේ දෙවැනි පේපර් එකය. ඒකට ඒ සෑර් දීපු එකක්වත් ආවේ නැත. පළවෙනි පේපර් එකද එහෙමම එන්නැති වෙයි කියලා හිතුනට කෝකටත් කියලා හෝම්ස් ඒක බලා ගත්තේය. අන්තිමට කොහොම හරි හෝම්ස්ගේම ලක් එකට අර පේපරෙන් ප්‍රශ්න 19ක් ඕලෙවල් පේපරේ එහෙම්මම තිබුණේය. හැබැයි ඒ විදියටම නොවේය.  අපෙන් අහන ප්‍රශ්නේ එහෙම්මම තිබුණට උත්තර ටික තිබුණේ අර සර්ගේ පේපරේ උත්තර තිබුණු පිළිවෙලට නොවේය. ඒ වුණාට ඒ පේපරේ පිහිටෙන් ළකුණු 17ක් වැඩි කර ගැනිමට හෝම්ස් අති සාර්ථක ලෙස සමත් විය.


මෙසේ ඉතා අමාරුවෙන් දවස් 10ක් හෝම්ස් හා හෝම්ස් ගේ අතිජාත යහලුවෝ ගෙවා ගත්තෝය. විභාගේ අන්තිම දවස වුණේ 20 වෙනිදාය. හෝම්ස් හා හෝම්ස්ගේ යාලුවන් කතා වුණේ එදාට චිකන් වැඩ කෝටියක් තිබෙන කෑම කඩයකට යාමටය. ළගම තිබූ චිකන් වැඩ කෝටියක් ඇති කඩය තිබුණේ කෝට්ටේය. අන්තිමට රාජගිරියේ ඉදං කෝට්ටේට පයින්ම ඇවිත් චිකන් වැඩ කෝටියක් තිබෙන කඩේට රිංගත්තෝය. ඒ කඩයේ සූ ගාලා සෙනගය. ඔක්කොම හිටියේ සුදු ඇඳගත් අයය. ඒ මල ගෙවල් වල යන්න ආපු අය නොවේය. උන් ඔක්කොම එදා විභාගේ ඉවර කරපු කට්ටියය. කොහොම හරි එතනත් පැයක් විතර පෝළිමේ ඉඳලා කෑම කාලා ඊට එහා පැත්තේ තියෙන දියවන්නාව බලා සියල්ල පිටත්වූවෝය. එතනද පැය දෙකක් පමණ ගත කර සියල්ල සතුටින් විසිර ගියහ.


ඒ ලන්ඩන් වල ඕලෙවල් ලියපු හැටිය. දැන් කියන්න යන්නේ ලංකාවේ ඕලෙවල් වල හා ලන්ඩන් ඕලෙවල් වල වෙනසය. ලංකාවේ ඉන්නේ ගොඩාක් විනයගරුක සිසුන්ය. ඔවුන් විභාගේදි කොපි කරනවා තියා කොපි කරන්නත් සිතන්නේ නැත. හදිසියේ හරි කවුරු හරි බලෙන් හෝ උත්තරයක් තමන්ට කියාදෙන්න යනවානම් එයද ශාලාධිපතිට පැමිණිලි කරන ඉතා විනයගරුකව විභාගේ ලියන පිරිසක් ලංකාවේ ඉන්නේය. ඒත් ලන්ඩන් වල එහෙම නැත.  දැනට ඇතිය. මම නවතින්නේය....


ආ.........එක දෙයක් කියන්නට අමතක වුණාය. අර විසල්ගෙයි කවිශ්කගෙයි රහස් පරීක්ෂණ කතාවත් තව ටික දවසකින් මේ අඩවියේ පළවී තියෙනවා ඔබට දැකගත හැකිය.