Tuesday, 26 February 2013

අයිස් ඇන්ඩ් වෝටර්


ගොඩ කාලෙකට පස්සේ හෝම්ස්ට බ්ලොග් එකක් ලියනවා කියා සිහියට ආවා. පහුගිය දවස් ටිකේ කොම්පියුටරය දිහා හැරිලා වත් බලන්න බැරි වෙන තරමට වැඩ තිබුණා. (එහෙන් මෙහෙන් බුකිය බලා ගිය කතාව වෙනත් කතාවක්.) දහම් පාසල් අවසාන විභාගයකට හිරවී හිටපු හෝම්ස් ‍දැඩි පීඩනයකට ලක් වෙලා තැලිලා පොඩි වෙලා ඉඳලා ආයේ ගොඩ ආවේ ඊයේ.  ආයේ ලියන්න කියලා විභාගයක් පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං නිදහසේ ඉන්න වෙලාවක අවුරුදු 11ක් තිස්සේ ගත වෙච්ච පාසල් ජීවිතේ වෙච්ච පට්ට සීන් ටිකක් මතක් වුනා.... ඒවායින් එකක් අද කියන්නං. මේක බලලා හෝම්ස් ගැන වැරදි වැටහීමක් ඇති කර නොගනීවා!!! කියලා ප්‍රාර්ථනා කරගෙනම ඔන්න කතාව කියන්න පටන් ගන්නවා.


මේ තොප්පිය වැටෙන කාලේ හෝම්ස් 7 වසරේ හරි 6 වසරේ හරි චූටිම චූටිම චූට්ටං වයසක හිටියේ.. වයස චූටිම චූටිම චූට්ටං වුනාට එකල හෝම්ස් ප්‍රමුඛ කස්ටියගේ වැඩයි කතාවයි චූටිම චූටිම චූට්ටං වුණේ නෑ. මට මතක විදියට මේ සිදුවීම වෙච්ච දවස් වල අපේ ඉස්කෝලේ ස්පෝට් මීට් වල ප්‍රැක්ටිස් තියෙනවද කොහෙද. ඒත් ඉතිං අපි ඔය කාලෙට ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් වලට ගියේ නෑ. මුලු දවසම සෙල්ලං කරන්න දීලා තියෙන හින්දා අපි කළේ එක එක සෙල්ලම් කරන එක. ඔය සෙල්ලම් අතරේ අල්ලන සෙල්ලං , හැංගිමුත්තං වගේ පොඩි පොඩි සෙල්ලං තිබුණා. ඒ සෙල්ලම්ම වැඩිපුර කළේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න බැරි හින්දා. මොකද ඒකේ ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් තියෙනවනේ.


ඔහොම දවසක හෝම්සුයි හෝම්ස්ගේ කස්ටියයි ඒකාලේ වගේම දැනුත් පොඩි ළමයිගේ ෆේමස් සෙල්ලමක් කරන්න පටන් ගත්තා. ඒක තමයි "අයිස් ඇන්ඩ් වෝටර්" කියන සෙල්ලම. මේ සෙල්ලමේ දී කරන්නේ සෙල්ලම කරන කට්ටිය පැති දෙකකට බෙදෙන එක. ඊට පස්සේ එක පැත්තක් කැචර්ස්ලා (අල්ලන අය)ත්, අනිකත් පැත්ත දුවන අයත් වෙනවා. මේ කැචර්ස්ලා දුවන පැත්තේ කවුරු හරි අල්ල ගත්තහම ඒ අහුවුණු කෙනාට "අයිස්" කියලා ගහනවා. එතකොට ඒ අහුවුනු කෙනා එතනට ම වෙලා ඉන්න ඕනේ. නැත්තං අල්ලන පැත්තේ අය කියන තැනක ඉන්න ඕනේ. හැබැයි දුවන පැත්තේ අර විදියට "අයිස්" වැදිච්ච නැති කෙනෙකුට පුලුවං "අයිස්" වැදිච්ච කෙනෙක්ට "වෝටර්" කියලා ගහලා ආයෙත් එයා ව දුවන පැත්තට ගන්න. අල්ලන පැත්තේ අය දිනන්න නම් දුවන පැත්තේ ඔක්කෝමට "අයිස්" ගහන්න ඕනේ. ඒත් අයිස් වැදිච්ච අයට දුවන පැත්තේ අය ඇවිල්ලා ආයෙත් වෝටර් ගහන හින්දා අල්ලන පැත්තේ අය අල්ලපු කට්ටිය ව එක තැනක තියලා එතනට ගාඩ් එකට කවුරු හරි දාලා තමයි අනිත් අයව අල්ලන්න යන්නේ.


එදා දවසේ කරුමෙට වගේ හෝම්ස් ගේ පැත්තට වුණේ අනිත් පැත්තේ අයව අල්ලන්න. අපේ ඉස්කෝලෙත් ගොඩක් ලොකු හින්දා දුවන පැත්තේ ඉන්න දහ දොළොස් දෙනාව අල්ලන එක ලේසි වුණේ නෑ.  ඒත් කොහොම හරි දුවන පැත්තේ කට්ටියගෙන් දෙන්නෙක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම අල්ලගන්න අපේ කට්ටියට පුලුවං වුනා. අල්ල ගත්ත අයගේ ළඟට ගාඩ් එකට දෙන්නෙක් ම දාලා හෝම්ස් අනිත් කට්ටියත් එක්ක ගියා අර ඉතුරු වෙච්ච දෙන්නව අල්ලන්න. කොහොම හරි අමාරුවෙන් ඒ දෙන්නව හොයා ගත්ත අපි උන් දෙන්නව ග්‍රවුන්ඩ් එකට කොටු කළා. ග්‍රවුන්ඩ් එකේ මැද ස්පෝට් ප්‍රැක්ටිස්.  ග්‍රවුන්ඩ් එකත් ගොඩක් විශාලයි. අපිට සෙල්ලම කරන්න වුණේ ග්‍රවුන්ඩ් එකේ වටේ විතරයි. මැදට යන්න විදියක් තිබුණේ නෑ ස්පෝට් ප්‍රැක්ටිස් හින්දා.


ඔන්න අපේ කට්ටිය කොහොම කොහොම හරි අරුන් දෙන්නව ග්‍රවුන්ඩ් එක දෙපැත්තෙන් ඇවිල්ලා කොටු කර ගත්තා. උන් දෙන්නට කරන්න දෙයක් තිබුණේ නෑ. ග්‍රවුන්ඩ් එකේ තාප්පේ අයිනේ තිබුණා ලොකු ගස් දෙකක් අතරෙ දාපු කොටයක්. මුන් දෙන්නා කළේ දුවගෙන ගිහිල්ලා ඒක උඩට නගින එක. ඒත් අපිට උන් දෙන්නා ගහ උඩට නගින්න දුන්නේ නෑ. උන් උඩ ඉදගෙන ගහට නගින්න යන අයට පයින් ගහන්න ගත්තා.


සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හැම ඉස්කෝලෙකටම පොදු භාෂාවක් තියෙනවා. (ප්‍රයිවට් ඒවත් එහෙම තමා) වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා ඇති ඒ ගැන. පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලවල මේ භාෂාව භාවිතා වෙනවා වැඩියි. හෝම්ස් හිටියෙත් එහෙම ඉස්කෝලෙක හින්දා ඒ ඉස්කෝලෙත් ශුද්ධ සිංහල භාෂාව ගොඩක් භාවිතා වුනා.


දැන් මම ආයේ කතාවට යන්නම්. ඔන්න අර ගහ උඩට නැගපු එවුන් දෙන්නා ඔය කලින් කිව්වා භාෂාවෙන් ගහ යට ඉන්න එවුන්ට කෑ ගහන්න ගත්තා. (කියපුවා ලියන්න බෑ.. ගෑණු ළමයි එහෙම එනවනේ). මේ ගහ, ඒ කියන්නේ අරුන් දෙන්නා නැගලා හිටපු ගහ තිබ්බේ ග්‍රවුන්ඩ් එකේ තාප්පේ ගාවමයි. තාප්පෙට එහා පැත්තේ තිබ්බේ එස්.ටි.එෆ් එකේ (විශේෂ කාර්ය බලකායේ) ප්‍රභූ ආරක්ෂක මූලස්ථානය. ඊට එහා පැත්තේ මහ බැංකුව. කොහොම හරි එදා මහ බැංකුවට යන්න ආපු කෙනෙක් ද කොහෙද අරුන් දෙන්නා උඩ ඉදං කෑ ගගහා කියපු දේවල් අහගෙන ඉඳලා. ඒ මිනිහා එකපාරටම තාප්පෙන් මෙහා පැත්තට ඔලුව දාලා අර ගහ උඩ හිටපු දෙන්නට කෑගහලා කතා කළා. ඊට පස්සේ උන් දෙන්නා ගහෙන් බැහැලා තාප්පේ ගාවට ගියා. අර මිනිහා උන් දෙන්නගෙන් නමුයි පන්තියයි අහගෙන ලියා ගත්තා. ඒ මදිවට උන්ගෙන්ම අහලා අපේ නමුත් ලියා ගත්තා. අපෙන් ඇහුවනං බොරු නම් ටිකක් කියන්න තිබුණා. ඒත් අරුන් දෙන්නා බූරු‍වෝ දෙන්නෙක් වගේ ඔක්කෝමලගේ නම් ටික වමාරගෙන ගියා.


ඉඳලා ඉඳලා සුපිරි ම සුපිරි තොප්පියක් වැටුණා කියලා ඊට පස්සේ අපිට තේරුණා. අපි කට්ටියම සෙල්ලම නතර කරලා දාලා පන්තියට ගියා. ඒත් පැයක් විතර යනකං අර මිනිහා ආවේ නෑ. අපිටත් ඉතිං ඕක එහෙම්මම අමතක වෙලා ගියා. ඒත් ටික වෙලාවකින් ඉස්කෝලේ ප්‍රින්සිපල් පත සයිස් වේවැලකුත් අරගෙන 6 වසරේ පන්ති පේළිය දිගේ පන්ති වල නම් දිහා බලා ගෙන ආවා. ඇවිල්ලා නතර වුණේ අපේ පන්තිය ඉස්සරහ. ටික වෙලාවක් බලා ගෙන ඉඳලා එයා අපේ පන්තිය ඇතුළට ආවා. පන්තියේ හිටපු හැම ළමයම නැගිට්ටා. ඊට පස්සේ උඩ සාක්කුවෙන් කොළයක් අරගෙන නම් පේළියක් කියවගෙන ගියා.


සමීර, නුවන්, සුපුන්, හෝම්ස්, තරංග, ඔෂාන්, සචින්ත.....  මෙහෙම අපි දහ දෙනෙකුගේ විතර නම් කියෙව්වා.


නැගිටිනවා මේ දැන් නම් කියපු එවුන් ඔක්කොම. අපි බයෙන් බයෙන් නැගිට්ටා.  අපි ඔක්කෝටම පන්තිය ඉස්සරහට එන්න කිව්වා.


කවුද ග්‍රවුන්ඩ් එක අයිනේ තියෙන ගහක් උඩ නැගලා කුණුහරුප කිය කියා කෑ ගැහුවේ?  ප්‍රින්සිපල්  සර් ඇහුවා.


ඒත් කවුරුවත් හිතපු නැති විදිහට ගහ උඩ හිටපු එවුන් දෙන්නා ඉස්සරහට ආවා..


අපි දෙන්නගෙ තමයි සර් වැරැද්ද. උන් දෙන්නා බයෙන් බයෙන් කිව්වා.


මෙතන ඉන්න අනිත් අය කවුරුත් වැඩේට සම්බන්ධ නැද්ද? ප්‍රින්සිපල් සර් ඇහුවා.


නෑ සර්...


එහෙනම් එනවා යන්න මාත් එක්ක ඔෆිස් එකට


අපි හිතුවා උන් දෙන්නට හදා සොරිම තමයි කියලා. ඒත් උන් දෙන්නා ටිකකින් හිනා වෙවි පන්තියට ආවා. අපි කට්ටියම වට වෙලා උන්ගෙන් ඇහුවා මොකද වුණේ කියලා. උන් දෙන්න ටික වෙලාවක් ඔෆිස් එක ඉස්සරහ තියලා ටික වෙලාවකින් ප්‍රින්සිපල් සර් මෙන්න මේක කියලා පන්තියට එන්න දීලා.


තමන් කරපු වැරැද්ද එක පාරම පිළිගන්න තරම් ඔය දෙන්නට ආත්ම ශක්තියක් තියෙනවා. ඒ හින්දා මම අදට දඬුවම් කරන්නේ නෑ. හැබැයි ඉස්සරහට මේ වගේ දේවල් වෙලා තියෙන්න බෑ.

Saturday, 9 February 2013

අමුතු අමුතු මාන්දංකාරයෝ

මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මොකක්හරි මාන්දමක් තියෙනවා. ඒක ලොකු දෙයක් වෙන්න පුලුවං පොඩි දෙයක් වෙන්න පුලුවං. ඒත් මේ ලෝකේ හැමෝටම මාන්දමක්, ඒ කියන්නේ අතඇරගන්න බැරි අමුතු පුරුද්දක් තියෙනවා. මම අද කියන්න ආවේ මම අඳුනන කියන අයගේ අමුතු අමුතු මාන්දං ගැන.



අනුන්ගේ මාන්දං ගැන කියන්න කලින් මම මගෙ මාන්දම ගැන කියලා ඉන්නං. මට සාමාන්‍යයෙන් මාන්දමක් හැටියට තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ කතා කියවන හා බලන මාන්දම. තව මාන්දමක් තමයි කොම්පියුටර් මාන්දම. ඒ මාන්දම උපරිමේට ගිය අවස්ථාවක මට ලැබිච්ච සුපිරි වාසියක් මෙන්න මෙතනින් ගිහින් කියවන්න පුලුවං. ඊට අමතරව මේ දවස් ටිකේ බුකියේ ෆේක් එකවුන්ට් එකකින් පිස්සු නටන මාන්දමකුත් තියෙනවා. ඊටත් අමතරව තව පොඩි පොඩි මාන්දං ටිකක් තිබුනත් ඒවා එච්චර ලොකු ලොකු මාන්දං නෙමෙයි.


දැන් කියන්නං ටිකක් ලොකු මාන්දමක් තියෙන කෙනෙකුගේ කතාවක්. මේ මාන්දං කාරයාගේ නම ලක්ෂාන්. එයාට තියෙන්නේ ටිකක් අමුතු විදියේ මාන්දමක්. හ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ඇසතු ශාකය (බෝ ගස) වන්දනාමාන කරනවා වගේ ලක්ෂානුත් එක්තරා ගස් වර්ගයක් වන්දනාමාන කරනවා. ඒ තමයි ගංජා ගස්. තව විදියකට කියනවනං කංසා. ඇත්තටම කිව්වොත් එයා ගංජා ගස් සලකන්නේ දේවත්වයෙන්.


මට ලක්ෂාන්ව හම්බ වුණේ මම ඕ ලෙවල් පන්ති යන කාලේ. ඒ කාලේ ඉදංම මිනිහට ගංජා ගැන තිබුණේ පුදුම ලෙන්ගතුකමක්.  හැබැයි එයාගේ එක හොඳක් තිබුණා. ඒ තමයි තමන් කරන වැරදි වැඩ වලට අනුන්ව ඇද ගන්නේ නැති එක. ඒ හින්දා ලක්ෂාන් ඉස්සර හෝම්ස් ගේ හොඳ යා‍ලුවෙක් වෙලා හිටියා.


"අඩෝ හෝම්ස්...... මේ වරෙං උඹට බඩුවක් පෙන්නන්න...."

"මොකක්ද බං?"

"මේ බලපං.... ගංජා සුරුට්ටුවක්.... "

ලක්ෂාන් මට සුදු පාට කොළ කෑල්ලකින් ඔතපු පොඩි සුරුට්ටුවක් පෙන්නුවා.

"මේවා මං ගාන ඕනතරං තියෙනවා.. ඕන්නං ඉඹලා බලපං...."

මම ඒ සුරුට්ටුව ඉඹලා බැලුවා. ඇත්තටම මට එදා සුරුට්ටුවේ සුවඳ බලාගන්න වාසනාවක් තිබුණේ නෑ කෙහෙල්මල් හෙම්බිරිස්සාවක් හින්දා.

"මෙන්න තියෙනවා ගංජා ඇට... ඕන්නං දෙක තුනක් අරගෙන ගිහිල්ලා ගෙදර පැල කරගනිං"

ඊට පස්සේ ලක්ෂාන් මට පෙන්නුවේ තල ඇට වගේ පොඩි ඇට වගයක්. ගංජා ඇට කියන්නේ ඒවා කියලා තමයි ලක්ෂාන් මට කිව්වේ.


තවත් දවසක් මොකක් හරි වැඩකට මම ලක්ෂාන්ලාගේ ගෙදරට ගියා. එදා තමයි මම උගේ ගංජා මාන්දමේ තරම දැනගත්තේ. ගෙදර හිටවලා තියෙන දාස්පෙතියා මල් පාත්තියක් මැද්දේ හිටවලා තියෙන ගංජා පැළ හතරක් මට පෙන්නුවා. මුලු මල් පාත්තියෙම මල් පිපිලා තිබුණත් තරමින් පොඩි මේ පැළ හතරේ මල් පිපිලා තිබුණේ නෑ. බෑලූ බැල්මට දාස්පෙතියා ගස් වගේ පෙනුනට ගංජා ගහේ තියෙන වෙනස ලක්ෂාන් එදා මට කියලා දුන්නේ ගංජා පිළිබඳ මහාචාර්යවරයෙක් වගේ. ලක්ෂාන් එයාගේ ඉස්කෝලේ පන්තිය එහාපැත්තේ තියෙන පොඩි පැළ තවානෙත් ගංජා ඇට පැළ කරලා කියලා මම දැනගත්තේ ලක්ෂාන්ගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්ගෙන්.


ගංජා වලට අමතරව අනිත් පොඩි පොඩි සිඟිති ආතල් මත්ද්‍රව්‍ය ගැනත් හොඳ දැනීමක් ලක්ෂාන්ට තිබුණා. ඔයා කියපු කතාවක් දෙකක් මම කියන්නං. මේවා ඇත්තද බොරුද කියලා නම් මං දන්නේ නෑ. ඒත් කවුරුත් මේවා ටෙස් කොරලා ඒම බලනවා නෙමෙයි.


ඔයාලා හැමෝම දන්නවා ඇති කොණ්ඩේ ගාන ජෙල් සමහරු මත් වෙන්න කන බව. ඔය ජෙල් කාලා තියෙන කෙනෙක් දන්නවා ඇති ජෙල් කියන්නේ පුදුම තිත්ත රසක් තියෙන දෙයක් කියලා. අපි තිත්ත බෙහෙතක් එහෙම බොන කොට අපි කරන්නේ එක්කෝ බෙහෙත බීලා සීනි ටිකක් කන එක නැත්තං බෙහෙතත් එක්ක සීනි කන එක. මේ ජෙල් වල තියෙන තිත්ත රහ අඩු කරන්නත් කරන්නේ සීනිත් එක්ක ජෙල් කන එක. හැබැයි ජෙල් වලට සීනි කවලම් කළාම ‍ජෙල් එකෙන් ලැබෙන ආතල් එක දෙගුණ තෙගුණ වෙන කතාව මට කිව්වෙත් ලක්ෂාන්.


ලක්ෂාන් කිව්ව තවත් කතාවක් මේක. විශ්වාස කරන්නං අමාරුයි. ඒත් දැන් මත් වෙන්න කරන දේවල් වල හැටියට මේ වගේ දේවලුත් වෙන්න බැරි කමක් නෑ. ඔයාලා හැමෝම ඇඹල් කෙසෙල් ගෙඩි කාලා ඇති. ඒත් සමහරු මත් වෙන්න ඕන කමට ඇඹුල් කෙසෙල් ගෙඩියකට සිද්ධාලේප ගාගෙන කනවා කියන කතාවත් මට කිව්වේ ‍ඔය මාන්දංකාරයාම තමයි.

දැන් ඒ මාන්දංකාරයා ගැන කිව්වා ඇති. මම කියන්නං තව මාන්දං කාරයෙක් ගැන. මේ මාන්දංකාරයා ඉස්සෙල්ලා කෙනා වගේ වැරදි මාන්දමක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. මේ මාන්දංකාරයාගේ නම දිල්ශාන්. දිල්ශාන් ට තියෙන්නේ හැරි පොටර් කතා ගැන තියෙන මාන්දමක්. මෙයත් කලින් කිව්ව ලක්ෂාන් වගේ හැරි පොටර්ව දේවත්වයෙන් අදහන කෙනෙක්.  පන්තියේදි එයත් එක්ක කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම කතාව ඉවරවෙන්නේ හැරි පොටර් ගෙන් කියලා හැම කෙනෙක්ම දන්නවා.


මිනිහා කියවන්නේ සිංහලට පරිවර්තනය කරපු හැරී පොටර් පොත්. ඒත් හැරි පොටර් සිංහල පරිවර්තන පොත් මාලාවේ එක පොතක් පිටවෙලා අවුරුද්දකින් තමා ඊළඟ පොත පිටවෙන්නේ. ඉතිං මේ දිල්ශාන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හැරි පොටර් එකේ එක කොටසක් කියවලා ඉවර කරලා. ඒත ඊළඟ එක එන්නේ තව අවුරුද්දකින්. අනික ඒ කාලේ ඕ ලෙවල් විභාගේ පටන් ගන්න ඔන්න මෙන්න තිබිච්ච කාලයක්. ඒ හින්දා ගෙදරින් කතන්දර පොත් කියවන්න ලැබෙන්නේ නැ. දිල්ශාන් ඒකට යොදලා තියෙන්නේ මාර උපක්‍රමයක්.


මුලින්ම දිල්ශාන් ඉන්ටර්නෙට් එකෙන් හැරීපොටර් කතාවේ ඊළඟ කොටසේ ඉංග්‍රීසි පොත pdf විදියට ඩවුන්ලෝඩ් කරගෙන. ඊට පස්සේ ඒ පොතේ තියෙන ටෙක්ස්ට් ඔක්කොම ටික ඩොංගල් එකේ සිම් එකෙන් තමන්ගේ ෆෝන් එකට මැසේජ් විදියට එවලා (sms කරලා). මුලින්ම එවලා තියෙන්නේ පොතෙන් බාගයක් විතර. (කොච්චර මරසේජ් ගානක් යන්න ඇත්ද?) ඊට පස්සේ දිල්ශාන් එයාගේ ෆෝන් එකෙන් කතාව කියවලා තියෙන්නේ බාත්රූම් එක ඇතුලෙදි, (අම්මට‍ අහුවෙන නිසා)


ඔය කිව්වේ තව මාන්දංකාරයෙක්ගේ හැටි. මාන්දංකාරයෝ ගැන කියලා මගේ ඔලුවත් මාන්දං වෙලා. පෝස්ට් එක ඉවර කරන්න යන්නේ ඊට කලින් මම යටින් අහලා තියෙන ප්‍රශ්නෙට ඔයගොල්ලන්නේ බුද්ධිමත් උත්තරේ බලාපොරොත්තු වෙනවා.


* * * * * * *

මගේ ගැටලුව 

එකවුන්ට් සර් : ඔයගොල්ලෝ දැන් හිත සම්පූර්ණයෙන් යොදවන්න ඒ ලෙවල් විභාගෙට. මේ ලව් එෆෙයාර්ස් තියාගෙන පිස්සු නටන්න ඕ‍න කාලයක් නෙමෙයි. ඒවා පටන් ගන්නවා කියන්නේ ඒ ලෙවල් විභාගෙ ගැන තියෙන බලාපොරොත්තු හිතෙන් අතඇරගන්නවා වගේ වැඩක්. සමහරු කියනවා ලව් එකයි එඩියුකේෂන් එකයි දෙකම බැලන්ස් කරගෙන කරන්න පුලුවං කියලා. ඒවා බොරු කතා.


General English සර් : මේ වයසෙදී ලව් එ‍ෆෙයාර් එකක් පටන් ගන්නේ නැතුව ආයෙ කොයි කාලේ කරන්නද? හැබැයි ජීවිතේ අංක එක වෙන්න ඕනේ A 3 ක්. දැන් කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති කොල්ලෙක්ව ගනං ගන්නෙත් නෑ.


ඔය දෙන්නගෙන් කවුද හරි කියලා දන්න කියන කෙනෙක් මට කියලා දෙනවද?

Tuesday, 5 February 2013

පරිප්පු හා පාන්

අද කියන්න යන්නේ පොඩි කතාවක්... මේ කතාව මගේ යාලුවෝ කිපදෙනෙක් මුහුණ දීපු අත්දැකීමක්. මේක සිද්ධ වුණේ අපේ දහම් පාසලේදී.. මම යන දහම් පාසල තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී ගැමුණු දහම් පාසල. මේ සිද්ධිය වෙනකොට හෝම්ස් 10 වසර වගේ ඇති. හෝම්ස් ඒ කාලෙත් ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටපු නිසා මේකට සහභාගි වෙන්න පුලුවන්කමක් හම්බවුණේ නෑ. 


ඇත්තටම අපේ පන්සල හරිම ලස්සනයි. නාගරික පැත්තක තිබුනට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උනන්දුව හින්දා පන්සල හරිම පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ හින්දාම මේ පන්සලට දායකයන්ගෙනුක් හොඳ සහයෝගයක් තමයි ලැබෙන්නේ. (අපේ පන්සල බලාගන්න කැමති නම් ළඟකදි සිරසේ ගියපු "භාර්යාවෝ" නාට්‍යය බලන්න. ඒකේ හැම පන්සල් වල ඉන්න දර්ශනයක්ම අරගෙන තියෙන්නේ අපේ පන්සලේ)


අපේ දහම් පාසලේ ගොඩ වෙලාවට උගන්වන්නේ නැති පීරියඩ් තමයි තියෙන්නේ. ඉතිං මේ පිරියඩ් වල අපේ පන්තියේ කට්ටිය කරන්නේ පන්සල වටේම රවුම් ගහන එක.  හැමදාම දවල් එකොළහට පන්සලේ බුදුමැදුරට දවල් බුද්ධ පූජාව පූජා කරනවා. ඒක කරන්නේ දා‍නය පූජා කරන කට්ටියයි පන්සලේ ඉන්න හාමුදුරු නමකුයි. පූජා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකං බුද්ධ පූජාව බුදු මැදුර ඇතුලෙ තියනවා.  අපේ පන්තියේ රවුම් ගහන අයගෙන් කීපදෙනෙකුගේ පුරුද්දක් තිබුණා. ඒ මොකක්ද දන්නවද? අර දවල්ට පූජා කරන බුද්ධ පූජාව පූජා කළාට පස්සේ අරගෙන කන එක.


මේ වැඩේ ගැන හැමදෙනෙක්ම වගේ දන්නවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ පවා දන්නවා. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නේ ඒ ගැන දන්‍නේ නෑ වගේ.  පන්සලේ ඇබිත්තයා විදියට ඉන්න "රාජා" අයියත් මේ ගැන දැනගෙන හිටියා. ඒත් කවුරුත් මුකුත් කියන්නේ නෑ. මොකද බුදුන්ට පූජා කරපු දෙයක් තව කවුරු හරි කෑවට පවක් වෙන්නේ නැති හින්දා.


ඔන්න තවත් දවසක් ආවා. එදත් වෙනදා වගේම දවල් දානේ පූජා කරලා බුදුමැදුර ඇතුලේ තිබුණා. එදා ඒ පූජාවේ අතුරුපස විදියට තිබිලා තියෙන්නේ අඹ සහ කෙසෙල්. උයපු කෑම කිසිදෙයක් අපේ කට්ටිය කන්නේ නෑ. ඔය කන්න පුළුවං පොඩි පොඩි දේවල් ටිකක් තමයි කන්නේ. ඒත් එදා අතුරුපස විදියට තිබුණු අඹයි, කෙසෙලුයි කට්ටිය කාලා තිබුණා. ඒත් ඒවායේ ලෙලි එතනම දාලා ඇවිල්ලා.


ඉතිං අපේ කට්ටිය කෑවට පස්සේ එතනින් ෂේප් එකේ මාරු වෙලා පන්තියට ආවා. හැබැයි ඊටපස්සේ වෙලාවක රාජා අයියා බුදුමැදුරට ඇවිල්ලා පූජ කරපු දානේ අස් කරන්න. එතකොට අපේ එවුන් හැමතැනම දාලා ගියපු පලතුරු ලෙලි දැකලා. ඒකට එයාට හොඳටම කේන්ති ගිහින්. එයා කෙලින්ම ලොකු හාමුදුරුවන්ට මේ ගැන කියලා.


ටික වෙලාවක් යද්දි ලොකු හාමුදුරුවෝ අපේ පන්තියට වැඩියා. ඊටපස්සේ බුද්ධ පූජාව කෑවේ කවුද කියලා අපෙන් ඇහුවා. එකෙක්වත් එක පාරට ඉදිරිපත් වුණේ නෑ. ඒත් හාමුදුරුවන්ට මතකයි ඔය වැඩේට සෙට් වෙන කට්ටිය ඔක්කොම. ඊටපස්සේ හාමුදුරුවෝ ඔක්කොමලාවම ඔෆිස් එකට අරගෙන ගියා.


එදා මුලු දවසම හෝම්ස් එක එක වැඩ වලට හිර වෙලා හිටපු නිසා අපේ කට්ටියත් එක්ක රවුම් ගහන්න යන්න බැරි වුණා. ඒ හින්දා හෝම්ස්ව වැඩේට අහුවුණේ නෑ. අපේ කට්ටිය ඔෆිස් එකට අරගෙන ගියාට පස්සේ එතන මොකක්ද වෙන්නේ බලන්න හෝම්ස්සුත් හිමීට තව යාලුවෙක් එක්ක ඔෆිස් එක පැත්තට ගියා. අපි යනකොට කට්ටියම ඔෆිස් එක ඇතුලේ හිටගෙන ඉන්නවා.


"ඕගොල්ලෝ කෑවට මුකුත් වෙන්නේ නෑ. ඒත් මේ විදියට කාපු බීපු ‍තැන් වනසලා දාලා ගියාම වෙන පවේ තරම ඔයාලා දන්නේ නෑ."


හාමුදුරුවෝ මෙහෙම කියලා ටික වෙලාවක් කල්පනා කළා.


"ඔයාලට මේකට මතක හිටින්න හොඳ දඬුවමක් දෙන්න ඕනේ." එහෙම කියපු හාමුදුරුවෝ ලොකු වේවැලක් අරගෙන ආවා. අද අපේ කට්ටිය හොඳ කෑමක් කනවා කියලා මට හිතුණා.


"වාඩිවෙනවා ඔක්කොමල මේ ඩෙස් එකෙන්. " හාමුදුරුවෝ සැරෙන් කිව්වා. ඒත් කට්ටිය බය වෙලා වගේ හිටියා.


"එකපාරක් කිව්වම කරනවා" එ‍හෙම කියලා වේවැලත් අරගෙන අපේ පන්තියේ කට්ටිය ළඟට ආවා. අපේ කට්ටිය බයටම හාමුදුරුවෝ කියපු ඩෙස් එකෙන් වාඩි වුණා.


"රාජා.... අරගෙන එන්න මම කියපුවා ටික" හාමුදුරුවෝ එහෙම කිව්වේ රාජා අයියට.


ඊට පස්සේ රාජා අයියා ලොකු භාජනේකුයි , පාන් රාත්තල් හතරකුයි අරගෙන ආවා.


"ඔන්න තියෙනවා පරිප්පුයි, පානුයි. හැමදාම බුද්ධ පූජාව කන්නේ බඩගින්න හින්දනේ. අද කාපියව් ඇතිවෙනකං."


අපේ පන්තියේ එවුන්ට කරගන්න දෙයක් නෑ. ඔක්කොම එක එක්කෙනාගේ මූණ බලාගෙන හිනාවෙනවා..


"හ්ම්...දැන් එක පාරක් කිව්වනේ.... කාපියව්" හාමුදුරුවෝ කිව්වා.


හාමුදුරුවන්ට බයවෙච්ච කට්ටියට කන්න රාජා අයියා පාන් රාත්තල් හතර කපලා දුන්නා.  අපේ කට්ටියටත් ඉතිං මේක පට්ට චාන්ස් එක. උන් ඔක්කොම පානුයි පරිප්පුයි කන්න පටන් ගත්තා.  හාමුදුරුවොත් උන් කාලා ඉවර වෙන තරමට පාන් ගෙනල්ලා දුන්නා. අන්තිමට පස්දෙනෙක්ට පාන් රාත්තල් 6ක් කන්න වුණා.

Saturday, 2 February 2013

මාරක රිය අනතුර

බ්ලොගර් වෙබ් අඩවියේ ලාංඡනය- ඒ කියන්නේ තැඹිලි පාට කොටුවක් මැද්දේ තියෙන සුදුපාට B අකුර ඇහැට දැක්කේ කාලෙකට පස්සේය. මෙච්චර දවසක් ලියන්නට බැරිවුණේ මං ජොලියට වාගේ ෆේස්බුකියේ ෆේක් එකවුන්ට් එකක් හදාගත්තාට පසුය. ඒක ගැනත් කියන්නට ‍කතාවක් තිබේය. ඒක පස්සේ කියන්නම්. දැනට මේ කතාව බලන්න. මේ මගේ සමීපම ඥාතියෙකුට වෙච්ච ඇබැද්දියකි.


අපේ රට ඇත්තෙන්ම පුදුම මිනිසුන් කොට්ඨාශයක් ජීවත් වන රටකි. මා එසේ කියන්නට විශේෂ හේතුරැසක් ඇත. අපේ රටේ මිනිසුන් සාමාන්‍යයෙන් ඉක්මණින් හිත් උණු වෙන ජාතියේ පුද්ගලයින්ය. ලොව වෙනත් කිසිදු රටක ජීවත් වන්නන්ට වඩා අපේ රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රධාන වෙනස එයයි. ලංකාබෙල් ආයතනයෙන් මේ ළඟදී පෙන්වපු වෙළඳ දැන්වීම් දකින කොටත් එය අපිට සිහිවන්නේය. මේ කතාව ඔබ කියෙව්වොත් ඔබට සිතේවී ලංකාවේ ඉන්නේ ලංකාබෙල් ඇඩ් එකේ පෙන්වන ජාතියේ මිනිසුන්ම නොවන බව.


ඔහුට අපි "රංග" යැයි කියමු. (සත්‍ය නම නොවේ) ඔහුගේ රැකියාව මෝටර් බයිසිකල් මිලදී ගෙන "මොඩිෆයි" කර නැවත විකිණීමය. මීට මාස එකහාමාරකට පමණ පෙරත් ඔහු අලුතෙන් බයිසිකලයක් ගත්තේ එයටද ලෝකේ නැති විකාර අයිටම් රැසක් යොදා එයද විකිණීමටය.  ඒත් මොහුගේ තවත් එක පුරුද්දක් තිබුණේය. ඒ ඔහු අලුත් බයිසිකලයක් ගත්තොත් එය ගත්ත දවසේ සිටම තමන්ගේ පුද්ගලික ගමන් සඳහාද එය යොදාගැනීමය. (නමුත් ඔහු මෙසේ බයිසිකල් පදින්නේ අහල පහල ගෙවල් වල ඉන්න කෙල්ලන්ට පේන්න බව ගොඩක් දෙනා දනී.)


නමුත් මේ අලුතෙන් ගත් බයිසිකලයේ සුලු සුලු කාර්මික දෝෂ රැසක් තිබෙන බව බොහෝ වාර වලදී මටත් පැවසුවේය. ඒ නිසා එක් දිනක් රංග අලුත් බයිසිකලයේ තිබෙන දෝෂ අලුත්වැඩියා කර ගැනීමට පැලවත්ත ප්‍රදේශයේ තිබෙන ගරාජයකට යෑමට පිටත් වුණේය. ඔහු පිටත් වී ගත වුණේ සුලු වේලාවකි. ඔහුගේ මවගේ දුරකතනයට රංගගේ සහෝදරයෙකුගෙන් ඇමතුමක් ආවේය.
"හලෝ... මේ.. අම්මේ.. බොරුවට කලබල වෙන්නම් එපා... රංග මල්ලි ඇක්සිඩන්ට් වෙලාලු."
මෙය ඇසූ රංගගේ මව මහා හයියෙන් හඬා වැලපෙන්නට වූවාය. ඉන්පසු ඔවුන්ට නැවත දුරකතන ඇමතුම් කීපයක් ලැබුණු අතර, රංගගේ ගෙදර සිටින්නවුන් සියලු දෙනාම පාහේ කලබලයෙන් ලෑස්ති වී කොළඹ මහ රෝහල බලා පිටත්ව ගියෝය.


ඔවුන් රෝහලට ගොස් ස්වල්ප වේලාවකට පසු අපේ නිවසට දුරකතන ඇමතුමක් ලැබුණේය.

"රංගට හොඳටම අමාරුයි... කකුල් දෙකයි වම් අතයි කැඩිලා...." ‍

මේ ඇමතුම නිසා අපේ නිවසේ වැසියෝද හොඳටම කලබල වුණෝය. මේ ආකාරයට රංගගේ සෞඛ්‍යය තත්වය පිළිමඳ ස්ටේටස් අපේ නිවසට අප්ඩේට් වන්නට විය. නමුත් අවසානයේ ඔහුගේ කකුල් දෙක කැඩී නොමැති බවත් එක් කකුලක් හොඳටම තුවාල වි ඇති බවත් වම් අත අප්‍රාණික වී ඇති බවත් දැනගන්නට ලැබුණි.

* * * *

නමුත් "මූ මුලින් කියපු ලංකාබෙල් ඇඩ් කතාවට මේ කතාව කිසිම සම්බන්ධයක් නෑනේ. මුට පිස්සුද කොහෙද" යැයි දැන් ඔබ සිතනවා ඇති. නමුත් රංග අනතුරට පත් වූයේ කෙසේ දැයි මා පසුව ඔහුගෙන් ඇසුවෙමි.

"මං එදා ගියේ බයිසිකලේට සර්විස් එකක් දාන්න කියලා. කොහෙද ගැරිජ් එකට යන්න හම්බ වුණේ නෑනේ. මට කෙළ වෙලාම ගියා"

"ඉතිං මොකෝ වුණේ?"

"පොඩ්ඩක් හිටපං බං කියනකං. මම එදා ගැරිජ් එක‍ට යනකොට ‍පොඩ්ඩක් ස්පීඩ් එකන් ගියේ."

"පොඩ්ඩක් කිව්වේ?"

"අසූවට අසූපහට විතර"

"හෑ.. හයිවේද ගියේ?"

"හයිවේ වගේ තමයි බං පාර. කිසිම වාහනයක් තිබ්බේ නෑ. ඉතිං මං කෙලලා දාලා ගියා.‍ එදානං මගේ මාරකයක් බං පැන්නේ. මම මගේ බයික් එකෙන් යනකොට බං ඉස්සරහ කොට කොට යන වෑන් එකක් තිබ්බා. මම ඒක අර වංගුවට පොඩ්ඩක් මෙහාදි ඕවර්ටේක් කරන්න ගියේ. මම බයික් එකෙන් වෑන් එක ඕවර් ටේක් කරනකොටම ඇක්සලේටර් එකේ කේබල් එක හිරවුණා. කේබල් එක පන්නගන්න විදියක් නැති වුණා. මම පුලුවන් තරං හයියෙන් ඇක්සලේටර් එකට ගැහුවා කේබල් එක පන්නගන්න. දෙවෙනි පාරට ගහනකොටම පාරේ අනිත් පැත්තෙං ආපු බස් එකේ බයික් එක හැප්පුනා."

"ඉතිං?"

"මාව බයික් එකෙන් විසික් වෙලා ගියා. උඹ විශ්වාස කරන්නෑ බං මම විසි වෙලා යනකොට මට හැප්පිච්ච බස් ‍එකේ වහලෙත් පෙනුනා බං. (මෙය මම විශ්වාස කරන්නේ නැත)"

"ඊටපස්සේ?"

"මාව වැටුණේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනින් අඩි 15ක් විතර ඈතට. මම වැටෙන කොට ඔලුව පැත්ත පහලට හිටින්න වැටුනේ. ඉතිං මම වැටෙන කොට අත තිබ්බා බං. එතකොටම මගේ අත ඇඹරිලා ගියා. ඔලුවත් බිම හැපුණා."

"බයික් එක?"

"බයික් එක දෙකට මැද්දෙන් කැඩිලා බං."

"දැන් කොහොමද විකුණන්නේ?"

"අනේ මේ කුණුහරුප කතාකරන්නේ නැතුව හිටපං"

"ඉතිං වැටුනට පස්සේ මොකද වුණෙ?"

"වැටුනට පස්සේ මට නැගිට ගන්න බෑ බං. මිනිස්සු වට වෙලා බලං ඉන්නවා මං දිහා. එකෙක්වත් ආවේ නෑ මං ලඟට නැගිටින්නවත් උදවු කරන්න.  අන්තිමට මම ෆෝන් එක අරගෙන මල්ලිට කෝල් එකක් අරගෙන වෙච්ච සීන් එක කිව්වා."

"ඒත් එකෙක්වත් ආවේ නෑ මට උදව් කරන්න. අන්තිමට මල්ලි වෑන් එකෙන් ඇවිල්ලා තමයි මාව ඉස්පිරිතාලේට අරගෙන ගියේ."

* * * *

ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ තත්වේ මේක. හැබැයි හැමෝම මෙහෙම නෙමෙයි. ඒකට හේතුව මම හිතන්නේ මේකයි. දැන් හදිස්සියේ හරි ඔය අරගෙන යන ලෙඩා මගදී මලොත්, සාක්කි දෙන්න උසාවි ගානේ යන්න වෙන්නේ අරගෙන ආපු මිනිස්සුන්ට.