Saturday, 2 February 2013

මාරක රිය අනතුර

බ්ලොගර් වෙබ් අඩවියේ ලාංඡනය- ඒ කියන්නේ තැඹිලි පාට කොටුවක් මැද්දේ තියෙන සුදුපාට B අකුර ඇහැට දැක්කේ කාලෙකට පස්සේය. මෙච්චර දවසක් ලියන්නට බැරිවුණේ මං ජොලියට වාගේ ෆේස්බුකියේ ෆේක් එකවුන්ට් එකක් හදාගත්තාට පසුය. ඒක ගැනත් කියන්නට ‍කතාවක් තිබේය. ඒක පස්සේ කියන්නම්. දැනට මේ කතාව බලන්න. මේ මගේ සමීපම ඥාතියෙකුට වෙච්ච ඇබැද්දියකි.


අපේ රට ඇත්තෙන්ම පුදුම මිනිසුන් කොට්ඨාශයක් ජීවත් වන රටකි. මා එසේ කියන්නට විශේෂ හේතුරැසක් ඇත. අපේ රටේ මිනිසුන් සාමාන්‍යයෙන් ඉක්මණින් හිත් උණු වෙන ජාතියේ පුද්ගලයින්ය. ලොව වෙනත් කිසිදු රටක ජීවත් වන්නන්ට වඩා අපේ රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රධාන වෙනස එයයි. ලංකාබෙල් ආයතනයෙන් මේ ළඟදී පෙන්වපු වෙළඳ දැන්වීම් දකින කොටත් එය අපිට සිහිවන්නේය. මේ කතාව ඔබ කියෙව්වොත් ඔබට සිතේවී ලංකාවේ ඉන්නේ ලංකාබෙල් ඇඩ් එකේ පෙන්වන ජාතියේ මිනිසුන්ම නොවන බව.


ඔහුට අපි "රංග" යැයි කියමු. (සත්‍ය නම නොවේ) ඔහුගේ රැකියාව මෝටර් බයිසිකල් මිලදී ගෙන "මොඩිෆයි" කර නැවත විකිණීමය. මීට මාස එකහාමාරකට පමණ පෙරත් ඔහු අලුතෙන් බයිසිකලයක් ගත්තේ එයටද ලෝකේ නැති විකාර අයිටම් රැසක් යොදා එයද විකිණීමටය.  ඒත් මොහුගේ තවත් එක පුරුද්දක් තිබුණේය. ඒ ඔහු අලුත් බයිසිකලයක් ගත්තොත් එය ගත්ත දවසේ සිටම තමන්ගේ පුද්ගලික ගමන් සඳහාද එය යොදාගැනීමය. (නමුත් ඔහු මෙසේ බයිසිකල් පදින්නේ අහල පහල ගෙවල් වල ඉන්න කෙල්ලන්ට පේන්න බව ගොඩක් දෙනා දනී.)


නමුත් මේ අලුතෙන් ගත් බයිසිකලයේ සුලු සුලු කාර්මික දෝෂ රැසක් තිබෙන බව බොහෝ වාර වලදී මටත් පැවසුවේය. ඒ නිසා එක් දිනක් රංග අලුත් බයිසිකලයේ තිබෙන දෝෂ අලුත්වැඩියා කර ගැනීමට පැලවත්ත ප්‍රදේශයේ තිබෙන ගරාජයකට යෑමට පිටත් වුණේය. ඔහු පිටත් වී ගත වුණේ සුලු වේලාවකි. ඔහුගේ මවගේ දුරකතනයට රංගගේ සහෝදරයෙකුගෙන් ඇමතුමක් ආවේය.
"හලෝ... මේ.. අම්මේ.. බොරුවට කලබල වෙන්නම් එපා... රංග මල්ලි ඇක්සිඩන්ට් වෙලාලු."
මෙය ඇසූ රංගගේ මව මහා හයියෙන් හඬා වැලපෙන්නට වූවාය. ඉන්පසු ඔවුන්ට නැවත දුරකතන ඇමතුම් කීපයක් ලැබුණු අතර, රංගගේ ගෙදර සිටින්නවුන් සියලු දෙනාම පාහේ කලබලයෙන් ලෑස්ති වී කොළඹ මහ රෝහල බලා පිටත්ව ගියෝය.


ඔවුන් රෝහලට ගොස් ස්වල්ප වේලාවකට පසු අපේ නිවසට දුරකතන ඇමතුමක් ලැබුණේය.

"රංගට හොඳටම අමාරුයි... කකුල් දෙකයි වම් අතයි කැඩිලා...." ‍

මේ ඇමතුම නිසා අපේ නිවසේ වැසියෝද හොඳටම කලබල වුණෝය. මේ ආකාරයට රංගගේ සෞඛ්‍යය තත්වය පිළිමඳ ස්ටේටස් අපේ නිවසට අප්ඩේට් වන්නට විය. නමුත් අවසානයේ ඔහුගේ කකුල් දෙක කැඩී නොමැති බවත් එක් කකුලක් හොඳටම තුවාල වි ඇති බවත් වම් අත අප්‍රාණික වී ඇති බවත් දැනගන්නට ලැබුණි.

* * * *

නමුත් "මූ මුලින් කියපු ලංකාබෙල් ඇඩ් කතාවට මේ කතාව කිසිම සම්බන්ධයක් නෑනේ. මුට පිස්සුද කොහෙද" යැයි දැන් ඔබ සිතනවා ඇති. නමුත් රංග අනතුරට පත් වූයේ කෙසේ දැයි මා පසුව ඔහුගෙන් ඇසුවෙමි.

"මං එදා ගියේ බයිසිකලේට සර්විස් එකක් දාන්න කියලා. කොහෙද ගැරිජ් එකට යන්න හම්බ වුණේ නෑනේ. මට කෙළ වෙලාම ගියා"

"ඉතිං මොකෝ වුණේ?"

"පොඩ්ඩක් හිටපං බං කියනකං. මම එදා ගැරිජ් එක‍ට යනකොට ‍පොඩ්ඩක් ස්පීඩ් එකන් ගියේ."

"පොඩ්ඩක් කිව්වේ?"

"අසූවට අසූපහට විතර"

"හෑ.. හයිවේද ගියේ?"

"හයිවේ වගේ තමයි බං පාර. කිසිම වාහනයක් තිබ්බේ නෑ. ඉතිං මං කෙලලා දාලා ගියා.‍ එදානං මගේ මාරකයක් බං පැන්නේ. මම මගේ බයික් එකෙන් යනකොට බං ඉස්සරහ කොට කොට යන වෑන් එකක් තිබ්බා. මම ඒක අර වංගුවට පොඩ්ඩක් මෙහාදි ඕවර්ටේක් කරන්න ගියේ. මම බයික් එකෙන් වෑන් එක ඕවර් ටේක් කරනකොටම ඇක්සලේටර් එකේ කේබල් එක හිරවුණා. කේබල් එක පන්නගන්න විදියක් නැති වුණා. මම පුලුවන් තරං හයියෙන් ඇක්සලේටර් එකට ගැහුවා කේබල් එක පන්නගන්න. දෙවෙනි පාරට ගහනකොටම පාරේ අනිත් පැත්තෙං ආපු බස් එකේ බයික් එක හැප්පුනා."

"ඉතිං?"

"මාව බයික් එකෙන් විසික් වෙලා ගියා. උඹ විශ්වාස කරන්නෑ බං මම විසි වෙලා යනකොට මට හැප්පිච්ච බස් ‍එකේ වහලෙත් පෙනුනා බං. (මෙය මම විශ්වාස කරන්නේ නැත)"

"ඊටපස්සේ?"

"මාව වැටුණේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනින් අඩි 15ක් විතර ඈතට. මම වැටෙන කොට ඔලුව පැත්ත පහලට හිටින්න වැටුනේ. ඉතිං මම වැටෙන කොට අත තිබ්බා බං. එතකොටම මගේ අත ඇඹරිලා ගියා. ඔලුවත් බිම හැපුණා."

"බයික් එක?"

"බයික් එක දෙකට මැද්දෙන් කැඩිලා බං."

"දැන් කොහොමද විකුණන්නේ?"

"අනේ මේ කුණුහරුප කතාකරන්නේ නැතුව හිටපං"

"ඉතිං වැටුනට පස්සේ මොකද වුණෙ?"

"වැටුනට පස්සේ මට නැගිට ගන්න බෑ බං. මිනිස්සු වට වෙලා බලං ඉන්නවා මං දිහා. එකෙක්වත් ආවේ නෑ මං ලඟට නැගිටින්නවත් උදවු කරන්න.  අන්තිමට මම ෆෝන් එක අරගෙන මල්ලිට කෝල් එකක් අරගෙන වෙච්ච සීන් එක කිව්වා."

"ඒත් එකෙක්වත් ආවේ නෑ මට උදව් කරන්න. අන්තිමට මල්ලි වෑන් එකෙන් ඇවිල්ලා තමයි මාව ඉස්පිරිතාලේට අරගෙන ගියේ."

* * * *

ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ තත්වේ මේක. හැබැයි හැමෝම මෙහෙම නෙමෙයි. ඒකට හේතුව මම හිතන්නේ මේකයි. දැන් හදිස්සියේ හරි ඔය අරගෙන යන ලෙඩා මගදී මලොත්, සාක්කි දෙන්න උසාවි ගානේ යන්න වෙන්නේ අරගෙන ආපු මිනිස්සුන්ට.

8 comments:

  1. හැම මිනිහම එක වගේ නැහැනෙ. ඔබ කිව්ව දෙයත් එක හේතුවක් තමයි කවුරුත් ලං නොවෙන්න. ඒත් අර කිව්ව වගේ 80ට 90ට ගිහින් හැප්පුනහම මිනිස්සු නොබලා ගියත් මිනිස්සුන්ට වරරදක් කියන්න බෑ. පාරෙන් එලියට බයික් එක පැන්න නම් පාරෙ යන අහිංසකයෙක්ගෙ මරණ සහතිකේ ලියන්න වෙන්නත් තිබුන.
    මට නම් කොහොම උනත් ඔහොම දෙයක් උන තැනක බලා ඉන්න බෑ.

    යාලුවත දැන් හොදයිද?

    ReplyDelete
    Replies
    1. දැන්නම් මිනිහට හොඳයි. එයාගේ අතේ එක ස්නායුවක් ඇඹරිලා ගිහිල්ලා කියලා තමයි දොස්තරලා කියන්නේ. ඒත් තාම අතෙන් හරියට වැඩක් කරගන්න බෑ. මොකද අත ඇතුලට කම්බි දාලා තියෙන හින්දා. හරියටම කිව්වොත් එයාට බයිසිකල් එලවන්නනං බැරිවේවි තව අවුරුදු 1 1/2ක් යනකංවත්

      Delete
  2. hmmmm katawa atta udau karannat 2 hitanna wenawa

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කේ...දැන් අපේ රටේ ඉන්නේ සාරධර්ම පිරිහුනු මිනිස්සු...ඒත් පරාර්ථකාමි මිනිස්සුත් තාම ඉන්නවා කියලා අමතක කරන එක හොඳ නෑ..

      Delete
  3. අරු සීන් එක කියපු විදියට මට නම් හිනා ගියා බන්.මේක ලංකාවනේ බන් කට්ටිය එවෙලේ ෆොටෝ නම් ගහන්න ඇති ෆෝන්ස් වලින් හිටු කියලා.

    ReplyDelete
    Replies
    1. අනිත් මිනිස්සු ගැන මොන කතාද... ඇක්සිඩන්ට් එක වෙච්ච අයියව ඉස්පිරිතාලේ අරගෙන යන්න ගියපු එක්කෙනත් එක්ක හිටපු එකත් ඒ වෙලාවේ ෆොටෝ ගහලා....

      Delete
  4. ඕවගෙ තව කෙනෙක්ට උදව්වක් කරන්න අකැමති මිනිස්සු නිසා තමයි ලංකාවෙ නම කැත වෙන්නෙ.නමුත් බහුතරය ඒ වගෙ නෙවෙයි.අපි කාටහරි උදව් කරන්න කලින් එයා මනුස්සයෙක්ද තිරිසනෙක්ද එයාගෙ වත‍ගොත මොනවද හොයල බලන්නෑනෙ.උදව්වක් අවශ්‍ය කාටද ඒ මොහොතෙ උදව් කරන එකයි වටින්නෙ.පස්සෙ සිද්ධ වෙන දේවල් වෙනයි.ඒ මොහොතට හිතන්න ඕන එයාගෙ ජීවිතය ගැන කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  5. oya kiyapu 1 hari.... pitarata walat oka thinawa.... hitanna kauruhari accident wela hospital admit krannna kalin heart 1 nawathinawa kila.... artificial breathing thenna minissu bayai.... mkda ema dilat ledaa marunot, minimareeme waradata nadu daanna puluwan.... e nisa beraganna puluwan unat minissu try krannewat ne..... neethiya andai kila kinne oya wage ewata thamai..... minissunge waaraddamat nemei.....

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....