Tuesday, 5 February 2013

පරිප්පු හා පාන්

අද කියන්න යන්නේ පොඩි කතාවක්... මේ කතාව මගේ යාලුවෝ කිපදෙනෙක් මුහුණ දීපු අත්දැකීමක්. මේක සිද්ධ වුණේ අපේ දහම් පාසලේදී.. මම යන දහම් පාසල තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී ගැමුණු දහම් පාසල. මේ සිද්ධිය වෙනකොට හෝම්ස් 10 වසර වගේ ඇති. හෝම්ස් ඒ කාලෙත් ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටපු නිසා මේකට සහභාගි වෙන්න පුලුවන්කමක් හම්බවුණේ නෑ. 


ඇත්තටම අපේ පන්සල හරිම ලස්සනයි. නාගරික පැත්තක තිබුනට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උනන්දුව හින්දා පන්සල හරිම පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ හින්දාම මේ පන්සලට දායකයන්ගෙනුක් හොඳ සහයෝගයක් තමයි ලැබෙන්නේ. (අපේ පන්සල බලාගන්න කැමති නම් ළඟකදි සිරසේ ගියපු "භාර්යාවෝ" නාට්‍යය බලන්න. ඒකේ හැම පන්සල් වල ඉන්න දර්ශනයක්ම අරගෙන තියෙන්නේ අපේ පන්සලේ)


අපේ දහම් පාසලේ ගොඩ වෙලාවට උගන්වන්නේ නැති පීරියඩ් තමයි තියෙන්නේ. ඉතිං මේ පිරියඩ් වල අපේ පන්තියේ කට්ටිය කරන්නේ පන්සල වටේම රවුම් ගහන එක.  හැමදාම දවල් එකොළහට පන්සලේ බුදුමැදුරට දවල් බුද්ධ පූජාව පූජා කරනවා. ඒක කරන්නේ දා‍නය පූජා කරන කට්ටියයි පන්සලේ ඉන්න හාමුදුරු නමකුයි. පූජා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකං බුද්ධ පූජාව බුදු මැදුර ඇතුලෙ තියනවා.  අපේ පන්තියේ රවුම් ගහන අයගෙන් කීපදෙනෙකුගේ පුරුද්දක් තිබුණා. ඒ මොකක්ද දන්නවද? අර දවල්ට පූජා කරන බුද්ධ පූජාව පූජා කළාට පස්සේ අරගෙන කන එක.


මේ වැඩේ ගැන හැමදෙනෙක්ම වගේ දන්නවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ පවා දන්නවා. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නේ ඒ ගැන දන්‍නේ නෑ වගේ.  පන්සලේ ඇබිත්තයා විදියට ඉන්න "රාජා" අයියත් මේ ගැන දැනගෙන හිටියා. ඒත් කවුරුත් මුකුත් කියන්නේ නෑ. මොකද බුදුන්ට පූජා කරපු දෙයක් තව කවුරු හරි කෑවට පවක් වෙන්නේ නැති හින්දා.


ඔන්න තවත් දවසක් ආවා. එදත් වෙනදා වගේම දවල් දානේ පූජා කරලා බුදුමැදුර ඇතුලේ තිබුණා. එදා ඒ පූජාවේ අතුරුපස විදියට තිබිලා තියෙන්නේ අඹ සහ කෙසෙල්. උයපු කෑම කිසිදෙයක් අපේ කට්ටිය කන්නේ නෑ. ඔය කන්න පුළුවං පොඩි පොඩි දේවල් ටිකක් තමයි කන්නේ. ඒත් එදා අතුරුපස විදියට තිබුණු අඹයි, කෙසෙලුයි කට්ටිය කාලා තිබුණා. ඒත් ඒවායේ ලෙලි එතනම දාලා ඇවිල්ලා.


ඉතිං අපේ කට්ටිය කෑවට පස්සේ එතනින් ෂේප් එකේ මාරු වෙලා පන්තියට ආවා. හැබැයි ඊටපස්සේ වෙලාවක රාජා අයියා බුදුමැදුරට ඇවිල්ලා පූජ කරපු දානේ අස් කරන්න. එතකොට අපේ එවුන් හැමතැනම දාලා ගියපු පලතුරු ලෙලි දැකලා. ඒකට එයාට හොඳටම කේන්ති ගිහින්. එයා කෙලින්ම ලොකු හාමුදුරුවන්ට මේ ගැන කියලා.


ටික වෙලාවක් යද්දි ලොකු හාමුදුරුවෝ අපේ පන්තියට වැඩියා. ඊටපස්සේ බුද්ධ පූජාව කෑවේ කවුද කියලා අපෙන් ඇහුවා. එකෙක්වත් එක පාරට ඉදිරිපත් වුණේ නෑ. ඒත් හාමුදුරුවන්ට මතකයි ඔය වැඩේට සෙට් වෙන කට්ටිය ඔක්කොම. ඊටපස්සේ හාමුදුරුවෝ ඔක්කොමලාවම ඔෆිස් එකට අරගෙන ගියා.


එදා මුලු දවසම හෝම්ස් එක එක වැඩ වලට හිර වෙලා හිටපු නිසා අපේ කට්ටියත් එක්ක රවුම් ගහන්න යන්න බැරි වුණා. ඒ හින්දා හෝම්ස්ව වැඩේට අහුවුණේ නෑ. අපේ කට්ටිය ඔෆිස් එකට අරගෙන ගියාට පස්සේ එතන මොකක්ද වෙන්නේ බලන්න හෝම්ස්සුත් හිමීට තව යාලුවෙක් එක්ක ඔෆිස් එක පැත්තට ගියා. අපි යනකොට කට්ටියම ඔෆිස් එක ඇතුලේ හිටගෙන ඉන්නවා.


"ඕගොල්ලෝ කෑවට මුකුත් වෙන්නේ නෑ. ඒත් මේ විදියට කාපු බීපු ‍තැන් වනසලා දාලා ගියාම වෙන පවේ තරම ඔයාලා දන්නේ නෑ."


හාමුදුරුවෝ මෙහෙම කියලා ටික වෙලාවක් කල්පනා කළා.


"ඔයාලට මේකට මතක හිටින්න හොඳ දඬුවමක් දෙන්න ඕනේ." එහෙම කියපු හාමුදුරුවෝ ලොකු වේවැලක් අරගෙන ආවා. අද අපේ කට්ටිය හොඳ කෑමක් කනවා කියලා මට හිතුණා.


"වාඩිවෙනවා ඔක්කොමල මේ ඩෙස් එකෙන්. " හාමුදුරුවෝ සැරෙන් කිව්වා. ඒත් කට්ටිය බය වෙලා වගේ හිටියා.


"එකපාරක් කිව්වම කරනවා" එ‍හෙම කියලා වේවැලත් අරගෙන අපේ පන්තියේ කට්ටිය ළඟට ආවා. අපේ කට්ටිය බයටම හාමුදුරුවෝ කියපු ඩෙස් එකෙන් වාඩි වුණා.


"රාජා.... අරගෙන එන්න මම කියපුවා ටික" හාමුදුරුවෝ එහෙම කිව්වේ රාජා අයියට.


ඊට පස්සේ රාජා අයියා ලොකු භාජනේකුයි , පාන් රාත්තල් හතරකුයි අරගෙන ආවා.


"ඔන්න තියෙනවා පරිප්පුයි, පානුයි. හැමදාම බුද්ධ පූජාව කන්නේ බඩගින්න හින්දනේ. අද කාපියව් ඇතිවෙනකං."


අපේ පන්තියේ එවුන්ට කරගන්න දෙයක් නෑ. ඔක්කොම එක එක්කෙනාගේ මූණ බලාගෙන හිනාවෙනවා..


"හ්ම්...දැන් එක පාරක් කිව්වනේ.... කාපියව්" හාමුදුරුවෝ කිව්වා.


හාමුදුරුවන්ට බයවෙච්ච කට්ටියට කන්න රාජා අයියා පාන් රාත්තල් හතර කපලා දුන්නා.  අපේ කට්ටියටත් ඉතිං මේක පට්ට චාන්ස් එක. උන් ඔක්කොම පානුයි පරිප්පුයි කන්න පටන් ගත්තා.  හාමුදුරුවොත් උන් කාලා ඉවර වෙන තරමට පාන් ගෙනල්ලා දුන්නා. අන්තිමට පස්දෙනෙක්ට පාන් රාත්තල් 6ක් කන්න වුණා.

3 comments:

  1. DUKADA PAN PARIPU NATI UNATA....:p

    ReplyDelete
  2. උඹලා නම් හෙන බඩජාරියෝ

    ReplyDelete
  3. ඉතින් ඒ වෙලේ හෝම්ස්ට හිතුණලු අපරාදෙ හොරෙන් බුද්ධ පූජාව කන්ඩ බැරි වුණේ කියලා..D

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....