Tuesday, 26 February 2013

අයිස් ඇන්ඩ් වෝටර්


ගොඩ කාලෙකට පස්සේ හෝම්ස්ට බ්ලොග් එකක් ලියනවා කියා සිහියට ආවා. පහුගිය දවස් ටිකේ කොම්පියුටරය දිහා හැරිලා වත් බලන්න බැරි වෙන තරමට වැඩ තිබුණා. (එහෙන් මෙහෙන් බුකිය බලා ගිය කතාව වෙනත් කතාවක්.) දහම් පාසල් අවසාන විභාගයකට හිරවී හිටපු හෝම්ස් ‍දැඩි පීඩනයකට ලක් වෙලා තැලිලා පොඩි වෙලා ඉඳලා ආයේ ගොඩ ආවේ ඊයේ.  ආයේ ලියන්න කියලා විභාගයක් පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං නිදහසේ ඉන්න වෙලාවක අවුරුදු 11ක් තිස්සේ ගත වෙච්ච පාසල් ජීවිතේ වෙච්ච පට්ට සීන් ටිකක් මතක් වුනා.... ඒවායින් එකක් අද කියන්නං. මේක බලලා හෝම්ස් ගැන වැරදි වැටහීමක් ඇති කර නොගනීවා!!! කියලා ප්‍රාර්ථනා කරගෙනම ඔන්න කතාව කියන්න පටන් ගන්නවා.


මේ තොප්පිය වැටෙන කාලේ හෝම්ස් 7 වසරේ හරි 6 වසරේ හරි චූටිම චූටිම චූට්ටං වයසක හිටියේ.. වයස චූටිම චූටිම චූට්ටං වුනාට එකල හෝම්ස් ප්‍රමුඛ කස්ටියගේ වැඩයි කතාවයි චූටිම චූටිම චූට්ටං වුණේ නෑ. මට මතක විදියට මේ සිදුවීම වෙච්ච දවස් වල අපේ ඉස්කෝලේ ස්පෝට් මීට් වල ප්‍රැක්ටිස් තියෙනවද කොහෙද. ඒත් ඉතිං අපි ඔය කාලෙට ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් වලට ගියේ නෑ. මුලු දවසම සෙල්ලං කරන්න දීලා තියෙන හින්දා අපි කළේ එක එක සෙල්ලම් කරන එක. ඔය සෙල්ලම් අතරේ අල්ලන සෙල්ලං , හැංගිමුත්තං වගේ පොඩි පොඩි සෙල්ලං තිබුණා. ඒ සෙල්ලම්ම වැඩිපුර කළේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න බැරි හින්දා. මොකද ඒකේ ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් තියෙනවනේ.


ඔහොම දවසක හෝම්සුයි හෝම්ස්ගේ කස්ටියයි ඒකාලේ වගේම දැනුත් පොඩි ළමයිගේ ෆේමස් සෙල්ලමක් කරන්න පටන් ගත්තා. ඒක තමයි "අයිස් ඇන්ඩ් වෝටර්" කියන සෙල්ලම. මේ සෙල්ලමේ දී කරන්නේ සෙල්ලම කරන කට්ටිය පැති දෙකකට බෙදෙන එක. ඊට පස්සේ එක පැත්තක් කැචර්ස්ලා (අල්ලන අය)ත්, අනිකත් පැත්ත දුවන අයත් වෙනවා. මේ කැචර්ස්ලා දුවන පැත්තේ කවුරු හරි අල්ල ගත්තහම ඒ අහුවුණු කෙනාට "අයිස්" කියලා ගහනවා. එතකොට ඒ අහුවුනු කෙනා එතනට ම වෙලා ඉන්න ඕනේ. නැත්තං අල්ලන පැත්තේ අය කියන තැනක ඉන්න ඕනේ. හැබැයි දුවන පැත්තේ අර විදියට "අයිස්" වැදිච්ච නැති කෙනෙකුට පුලුවං "අයිස්" වැදිච්ච කෙනෙක්ට "වෝටර්" කියලා ගහලා ආයෙත් එයා ව දුවන පැත්තට ගන්න. අල්ලන පැත්තේ අය දිනන්න නම් දුවන පැත්තේ ඔක්කෝමට "අයිස්" ගහන්න ඕනේ. ඒත් අයිස් වැදිච්ච අයට දුවන පැත්තේ අය ඇවිල්ලා ආයෙත් වෝටර් ගහන හින්දා අල්ලන පැත්තේ අය අල්ලපු කට්ටිය ව එක තැනක තියලා එතනට ගාඩ් එකට කවුරු හරි දාලා තමයි අනිත් අයව අල්ලන්න යන්නේ.


එදා දවසේ කරුමෙට වගේ හෝම්ස් ගේ පැත්තට වුණේ අනිත් පැත්තේ අයව අල්ලන්න. අපේ ඉස්කෝලෙත් ගොඩක් ලොකු හින්දා දුවන පැත්තේ ඉන්න දහ දොළොස් දෙනාව අල්ලන එක ලේසි වුණේ නෑ.  ඒත් කොහොම හරි දුවන පැත්තේ කට්ටියගෙන් දෙන්නෙක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම අල්ලගන්න අපේ කට්ටියට පුලුවං වුනා. අල්ල ගත්ත අයගේ ළඟට ගාඩ් එකට දෙන්නෙක් ම දාලා හෝම්ස් අනිත් කට්ටියත් එක්ක ගියා අර ඉතුරු වෙච්ච දෙන්නව අල්ලන්න. කොහොම හරි අමාරුවෙන් ඒ දෙන්නව හොයා ගත්ත අපි උන් දෙන්නව ග්‍රවුන්ඩ් එකට කොටු කළා. ග්‍රවුන්ඩ් එකේ මැද ස්පෝට් ප්‍රැක්ටිස්.  ග්‍රවුන්ඩ් එකත් ගොඩක් විශාලයි. අපිට සෙල්ලම කරන්න වුණේ ග්‍රවුන්ඩ් එකේ වටේ විතරයි. මැදට යන්න විදියක් තිබුණේ නෑ ස්පෝට් ප්‍රැක්ටිස් හින්දා.


ඔන්න අපේ කට්ටිය කොහොම කොහොම හරි අරුන් දෙන්නව ග්‍රවුන්ඩ් එක දෙපැත්තෙන් ඇවිල්ලා කොටු කර ගත්තා. උන් දෙන්නට කරන්න දෙයක් තිබුණේ නෑ. ග්‍රවුන්ඩ් එකේ තාප්පේ අයිනේ තිබුණා ලොකු ගස් දෙකක් අතරෙ දාපු කොටයක්. මුන් දෙන්නා කළේ දුවගෙන ගිහිල්ලා ඒක උඩට නගින එක. ඒත් අපිට උන් දෙන්නා ගහ උඩට නගින්න දුන්නේ නෑ. උන් උඩ ඉදගෙන ගහට නගින්න යන අයට පයින් ගහන්න ගත්තා.


සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හැම ඉස්කෝලෙකටම පොදු භාෂාවක් තියෙනවා. (ප්‍රයිවට් ඒවත් එහෙම තමා) වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා ඇති ඒ ගැන. පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලවල මේ භාෂාව භාවිතා වෙනවා වැඩියි. හෝම්ස් හිටියෙත් එහෙම ඉස්කෝලෙක හින්දා ඒ ඉස්කෝලෙත් ශුද්ධ සිංහල භාෂාව ගොඩක් භාවිතා වුනා.


දැන් මම ආයේ කතාවට යන්නම්. ඔන්න අර ගහ උඩට නැගපු එවුන් දෙන්නා ඔය කලින් කිව්වා භාෂාවෙන් ගහ යට ඉන්න එවුන්ට කෑ ගහන්න ගත්තා. (කියපුවා ලියන්න බෑ.. ගෑණු ළමයි එහෙම එනවනේ). මේ ගහ, ඒ කියන්නේ අරුන් දෙන්නා නැගලා හිටපු ගහ තිබ්බේ ග්‍රවුන්ඩ් එකේ තාප්පේ ගාවමයි. තාප්පෙට එහා පැත්තේ තිබ්බේ එස්.ටි.එෆ් එකේ (විශේෂ කාර්ය බලකායේ) ප්‍රභූ ආරක්ෂක මූලස්ථානය. ඊට එහා පැත්තේ මහ බැංකුව. කොහොම හරි එදා මහ බැංකුවට යන්න ආපු කෙනෙක් ද කොහෙද අරුන් දෙන්නා උඩ ඉදං කෑ ගගහා කියපු දේවල් අහගෙන ඉඳලා. ඒ මිනිහා එකපාරටම තාප්පෙන් මෙහා පැත්තට ඔලුව දාලා අර ගහ උඩ හිටපු දෙන්නට කෑගහලා කතා කළා. ඊට පස්සේ උන් දෙන්නා ගහෙන් බැහැලා තාප්පේ ගාවට ගියා. අර මිනිහා උන් දෙන්නගෙන් නමුයි පන්තියයි අහගෙන ලියා ගත්තා. ඒ මදිවට උන්ගෙන්ම අහලා අපේ නමුත් ලියා ගත්තා. අපෙන් ඇහුවනං බොරු නම් ටිකක් කියන්න තිබුණා. ඒත් අරුන් දෙන්නා බූරු‍වෝ දෙන්නෙක් වගේ ඔක්කෝමලගේ නම් ටික වමාරගෙන ගියා.


ඉඳලා ඉඳලා සුපිරි ම සුපිරි තොප්පියක් වැටුණා කියලා ඊට පස්සේ අපිට තේරුණා. අපි කට්ටියම සෙල්ලම නතර කරලා දාලා පන්තියට ගියා. ඒත් පැයක් විතර යනකං අර මිනිහා ආවේ නෑ. අපිටත් ඉතිං ඕක එහෙම්මම අමතක වෙලා ගියා. ඒත් ටික වෙලාවකින් ඉස්කෝලේ ප්‍රින්සිපල් පත සයිස් වේවැලකුත් අරගෙන 6 වසරේ පන්ති පේළිය දිගේ පන්ති වල නම් දිහා බලා ගෙන ආවා. ඇවිල්ලා නතර වුණේ අපේ පන්තිය ඉස්සරහ. ටික වෙලාවක් බලා ගෙන ඉඳලා එයා අපේ පන්තිය ඇතුළට ආවා. පන්තියේ හිටපු හැම ළමයම නැගිට්ටා. ඊට පස්සේ උඩ සාක්කුවෙන් කොළයක් අරගෙන නම් පේළියක් කියවගෙන ගියා.


සමීර, නුවන්, සුපුන්, හෝම්ස්, තරංග, ඔෂාන්, සචින්ත.....  මෙහෙම අපි දහ දෙනෙකුගේ විතර නම් කියෙව්වා.


නැගිටිනවා මේ දැන් නම් කියපු එවුන් ඔක්කොම. අපි බයෙන් බයෙන් නැගිට්ටා.  අපි ඔක්කෝටම පන්තිය ඉස්සරහට එන්න කිව්වා.


කවුද ග්‍රවුන්ඩ් එක අයිනේ තියෙන ගහක් උඩ නැගලා කුණුහරුප කිය කියා කෑ ගැහුවේ?  ප්‍රින්සිපල්  සර් ඇහුවා.


ඒත් කවුරුවත් හිතපු නැති විදිහට ගහ උඩ හිටපු එවුන් දෙන්නා ඉස්සරහට ආවා..


අපි දෙන්නගෙ තමයි සර් වැරැද්ද. උන් දෙන්නා බයෙන් බයෙන් කිව්වා.


මෙතන ඉන්න අනිත් අය කවුරුත් වැඩේට සම්බන්ධ නැද්ද? ප්‍රින්සිපල් සර් ඇහුවා.


නෑ සර්...


එහෙනම් එනවා යන්න මාත් එක්ක ඔෆිස් එකට


අපි හිතුවා උන් දෙන්නට හදා සොරිම තමයි කියලා. ඒත් උන් දෙන්නා ටිකකින් හිනා වෙවි පන්තියට ආවා. අපි කට්ටියම වට වෙලා උන්ගෙන් ඇහුවා මොකද වුණේ කියලා. උන් දෙන්න ටික වෙලාවක් ඔෆිස් එක ඉස්සරහ තියලා ටික වෙලාවකින් ප්‍රින්සිපල් සර් මෙන්න මේක කියලා පන්තියට එන්න දීලා.


තමන් කරපු වැරැද්ද එක පාරම පිළිගන්න තරම් ඔය දෙන්නට ආත්ම ශක්තියක් තියෙනවා. ඒ හින්දා මම අදට දඬුවම් කරන්නේ නෑ. හැබැයි ඉස්සරහට මේ වගේ දේවල් වෙලා තියෙන්න බෑ.

1 comment:

  1. යාළුවො පාවලා නොදුන්නා හොඳ යාළුවො දෙන්නෙක් බන් උන් දෙන්නා.එකයි දඩුවම් හම්බුනේ නැත්තෙත්,

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....