Thursday, 4 April 2013

පිටු අට

සුපුන් එදත් වෙනදා වගේම පන්ති ඇරිලා ඉවර වෙලා ගෙදර ආවා.

“හම්මෝ අම්මේ අදනං මාර විදියට මහන්සියි...“ සුපුන් කිව්වා.

“හ්ම්...“ සුපුන්ගේ අම්මා ඕනවට එපාවට වගේ කිව්වා.

“මම ඇඳුම් මාරු කරගෙන එන්නං.... අනේ අම්මේ මට බත් ටිකක් බෙදනවද?“ සුපුන් ඇහුවා.

“හ්ම්...“ ආයෙත් ඉස්සෙල්ලා උත්තරේමයි.

සුපුන් බෑග් එකත් එල්ලගෙන කාමරේට ගියා. වෙනදා බෑග් එක ගලවලා තියෙන තැනින් බෑග් එක තිබ්බා. ඒත් එක්කම වගේ සුපුන් ගේ ඇහැට මේසේ උඩ තියපු අමුතු දෙයක් දර්ශනය උනා.

“ඉස්කෝලේ සිංහල අච්චු පොත...“ සුපුන් තමන්ටම කියා ගත්තා. “ඒත් මොකෝ මේ පොතට දාලා තිබුණු කවරේ ගලවලා දාලා??“

ඒ වෙලාවේ සුපුන්ගේ මොළයේ නියුරෝන සෛල හරහා ප්‍රබල විද්‍යුත් ධාරාවක් ගලාගෙන ගියා.

“ඉවරයි...... ලියුම.... “

සුපුන්ගේ මතකය මාස කිහිපයක් ආපස්සට ගියා.

එදා දහම් පාසලේදී හර්ශනි මට දීපු ලියුම නේද? මම එක සතියක් කතා නොකර හිටියා කියලා තරහා වෙලා ඉඳලා ආපහු යාලුවෙච්ච වෙලාවේ දීපු ලියුම නේද මේ? එයා එයාගේ මුලු ජීවිත කතාවම පිටු 8ක් පුරා ලියපු ලියුම නේද මේ?

ආයෙත් සුපුන්ගේ මතකය වර්තමානයට ආවා. මුලු ඇඟම වෙවුලනවා වගේ දැනුනා. තමන්ගේ හදවතේ කපාට හතරම ඒවාට පුළුවන් තරම් උපරිම වේගයෙන් ගැහෙනවා දැනුනා.

කල්පනා ලෝකෙන් මිදිච්ච සුපුන් කරගන්න දෙයක් නැතුව මුලු කාමරේ වටේම ඇස් යවනකොට මේසය උඩ තිබුණු ස්ටේපර් මැෂින් එක ගාව සුපුන්ගේ ඇස් නතර වුණා.
ඒත් එක්කම ලියුම හංගන්න තැනක් නැතිකොට බුද්ධිමත් යාලුවෙක්ගේ බුද්ධීමත් උපදේශයක් මත සිංහල පොතේ කවරේ අස්සට ලියුම දාලා වටේටම ස්ටේපර් ගහපු හැටි සුපුන්ට මැවිලා පෙනුනා.

“දැන් කරන්න දෙයක් නෑ. වෙන්න තියෙන්න ඕන හැම දෙයක් වෙලා ඉවරයි.“ සුපුන්ට හිතුණා. “වෙන දෙයක් මට නෙමේ වගේ බලාගෙන ඉන්නවා.“ සුපුන් තමන්ගේ හිත ධෛර්‍යමත් කර ගත්තා.

ඉබි ගමනින් ඇඳම් මාරු කරගත්ත සුපුන් හිමීට හිමීට සාලෙට ආවා. තමන්නේ මෑණියන් වහන්සේ හා පියාණන් වහන්සේ තමන් දිහා රවාගෙන බලාගෙන ඉන්නවා සුපුන් දැක්කා.

“කවුද මේක උඹට දුන්නේ?“ පිටු අටක් පුරා විහිදිලා තිබුණු ජීවිත කතාව සුපුන්ගේ මූණට ලං කරලා සුපුන්ගේ අම්මා ඇහුවා.

“ම්.. ම්..මො..මො..මො..කක්ද?“

“ඇයි පේන්නේ නැද්ද?“ සුපුන්ගේ තාත්තා ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා කොස්ස අතට ගන්න ගමන් ඇහුවා.

“මම දන්නවා මේ උඹට දුන්නේ කවුද කියලා. හර්ශනි කියන්නේ සමරසිංහගේ දුව නේද?“ සුපුන්ගේ අම්මා සුපුන් ට ඔරවාගෙනම ඇහුවා.

“කෙලියම තමා.....“ තමන්ගේ දයාබර මාමණ්ඩිය හා නැන්දම්මාව තමන්ගේ පියාණන් වහන්සේ හොඳින් අඳුනන බව සුපුන්ගේ මොළයට පසක් වුණා.

“උඹ කරන වැඩ නිසා ඒ මනුස්සයටත් මූණ දෙන්න ලැජ්ජයි.“ සුපුන්ගේ තාත්තා කිව්වා.

“අ..අ..අ..නේ.. තාත්තේ.. ම..ම..මම.............“

“වහගනිං කට.... මුකුත් කියන්න එපා. .... “ සුපුන්ගේ පියාණන්ගෙන් අධිපීඩිත කොසු පහරක් සුපුන්ගේ කකුල් දෙක හරහා ගියා.

“ඒ කෙල්ලගෙත් වයසට නෙමේ වැඩ.....“

සුපුන් ආපහු කාමරයට යන්න කියලා හැරුණා.

“මෙහෙ එනවා...“ සුපුන්ගේ අම්මා සුපුන්ට කතා කළා.

“ඊළඟ ඉරිදට මම එනවා දහම් පාසලට“ සුපුන්ගේ අම්මා කිව්වා. ඒ කතාව අහපු ගමන් සුපුන්ගේ බොකු බඩවැල් ඇතුලුව මුළු සර්වාංගයම අධික උෂ්ණත්වකට රත් වෙනවා දැනුනා. දහම් පාසලේ ලැබිලා තිබුණූ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක බැජ් එක පන්සලේ ලොකු හාමුදුරුවෝ ගලවලා අතට දෙනවා මැවිලා පෙනුනා.

“ඒ කෙල්ල මේ ලියුමෙමි ලියලා තියෙනවා නේද උඹ එයාට කැමති නැත්තං මේ ලියුම ආයේ එයාටම ගෙනත් දෙන්න කියලා?“

සුපුන් අම්මාගේ අතේ තිබ්බ ලියුමට එබුනා.

“වෙන්න ඇති.“ සුපුන් කිව්වා.

“එහෙනං මේ ඉරිදට මං ඉස්සරහදි ඒ කෙල්ලට මේක ගෙනිහිං දෙන්න ඕනේ.“

“හ්ම්...“

අම්මා කියපු විදියට සුපුන් ඊළඟ ඉරිදා දවසේ ලියුම තමන්ගේ පෙම්වතියට අම්මා ඉස්සරහදිම ආයේ දුන්නා.  ආයෙත් සති කිහිපයකින් තමන්ගේ පෙම්වතියට ඇත්ත සිද්ධිය පැහැදිලි කරලා ෂෙප් කරගන්නත් සුපුන් සමත් වුණා.

* * * * * * * * * * * * *

මේක මගේ යාලුවෙක්ට වෙච්ච ඇත්ත සිද්ධියක්. මේ කතාව ප්‍රේම සම්බන්ධතා වලදි වැඩියෙන්ම චාටර් කන්නේ කොල්ලන් කියන එකට හොඳ උදාහරණයක්.

Monday, 1 April 2013

රසම රස කෑමක්


ගොඩක් දවසකින් බ්ලොග් එකට ලියන්න කියලා හිතුණා.. මම අඳුනන නෑදෑ හිත මිත්‍රයින්ට වෙච්ච එකම ජාතියේ පොඩි පොඩි කතා ටිකක්. ටිකක් විතර අවුල්සහගත කතා. කැමති අය විතරක් කියවන්න.

* * * * * * * * * * * * * *
කතාව අංක 01

"ඉරේෂා... මට බත් ටිකක් බෙදලා දෙන්න...."

බුද්ධික වැඩ ඇරිලා ගෙදර ඇවිත් නා කියා ගෙන එහෙම තමන්ගේ බිරිඳට කිව්වා...

"මොනවද අද කන්න හැදුවේ?"

"පරිප්පුයි, මාළුයි, කෙහෙල්මුව තෙල්දාලයි...." ඉරේෂා කිව්වා.

"ෂා නියමයි... අද නම් මට වෙනදට වඩා හොඳටම බඩගිනියි... ඉක්මණට බෙදලා දෙන්නකෝ." හොඳටම බඩගින්නේ නොඉවසිල්ලෙන් හිටපු බුද්ධික කිව්වා...

"ආ මෙන්න බුද්ධික... මේසෙට බෙදුවා.. ඇවිල්ලා කන්න...."

බුද්ධිකට කන්න බත් බෙදලා දීපු ඉරේෂා තමන්ගේ මොකක් හරි වැඩකට කෑම කාමරයෙන් පිටවෙලා ගියා.

ඒත් ටික වෙලාවකට පස්සේ බුද්ධික හයියෙන් කෑ ගහලා තමන්ට අඬගහනවා ඉරේෂාට ඇහුණා.

ඉරේෂා.. ඉක්මණට මෙහෙ එන්නකෝ....

ඉරේෂා කර කර හිටපු වැඩෙත් අතරමග නතර කරලා දාලා කෑම කාමරයට දුවගෙන ගියා. ඉරේෂා යනකොට බුද්ධික සින්ක් එකට වමනේ දම දමා ඉන්නවා.

මොකද බුද්ධික උණේ? ඉරේෂා ඇහුවා.

ඒත් ඒ වෙලාවේ බුද්ධික උත්තර දෙන්න පුලුවන් තත්වෙක හිටියේ නෑ. මෙහෙම බුද්ධික විනාඩි 15 ක් 20ක් විතර වමනේ දැම්මා. වමරේ කරලා ඉවර වුණාට පස්සේ බුද්ධික සාලෙට ඇවිල්ලා පුටුවෙන් වාඩි වුණා.

මම කකා හිටපු බත් පිඟාන අරගෙන එන්න මම පෙන්නන්නං වමනේ ගියේ ඇයි කියලා.
ඉරේෂා කැම කාමරේට ගිහින් බුද්ධික කකා හිටපු බත් පිඟාන අරගෙන ආවා.

මේ බලන්න මේ කෙහෙල් මුව එකේ තියෙන්නේ මොකක්ද කියලා. බුද්ධික කළු පාට මස් වැදැල්ලක් වගේ සෙවල පිරිච්ච දෙයක් ඉරේෂට පෙන්නුවා.

ඊ...යා..... හංගොල්ලෙක්.... ඉරේෂට කෑගැහුනා. උගේ ඇඟේ බාගයයිනේ තියෙන්නේ....

ඉතුරු බාගේ මට කැවුන හින්දා තමයි ඊයේ කාපුවත් එළියට එන්නම වමනේ දැම්මේ...

දැන් මේ කතාව කියවාපු ඔයාලා කල්පනා කරනවා ඇති කෑම එකට හංගොල්ලා ගියේ කොහොමද කියලා.  ඒ ප්‍රශ්නෙට උත්තරේ තාම ඉරේෂාවත් බුද්ධිකවත් හොයා ගෙන නෑ. ඒත් හංගොල්ලා කෑම එකේ හිටියේ නම් අමුවෙන් නෙමේ කියලා තමා බුද්ධික කියන්නේ. ඔය සිද්ධිය මට කියපු වෙලාවේ මම බුද්ධිකට කිව්වේ මෙච්චරයි.

ඔය පිටරට මිනිස්සු ඕනතරම් ගොලුබෙල්ලන්ව කන්නේ. ගොළුබෙල්ලාත් මොලුස්කාවෙක් , හංගොල්ලත් මොලුස්කාවෙක්.

* * * * * * * * * * * * * * * * * * * *
කතාව අංක 02

ෂෙහානි 1.30 ට පාසල ඉවර වුණාට පස්සේ ගෙදර ආවේ ඉක්මණට කාලා, ලෑස්තිවෙලා අනිත් අතට ආයෙත් පන්ති යන්න බලාගෙන. ෂෙහානි ගෙදර එනකොට එයාගේ අම්මා මොකක් හරි වැඩක් කර කර හිටියේ.

අම්මා... අද ක්ලාස්... මට ඉක්මණට බත් ටිකක් බෙදලා දෙන්නකෝ. අදවත් ක්ලාස් එකට වේලාසනින් යන්න ඕනේ. ගිය සතියෙත් පරක්කු වෙලා ගිහින් සර්ගෙන් බැනුම් ඇහුවා.

මම උයලා තියෙන්නේ...  බෙදාගෙන කන්නකෝ... ෂෙහානිගේ අම්මා කිව්වා.

ඒ වෙලාවේ හොඳටම බඩගින්නේ හිටපු ෂෙහානි ඇඳුම් මාරු කරගෙන කුස්සියට ගියේ බත් බෙදාගෙනම කන්න. එදා ෂෙහානිගේ අම්මා හදලා තිබුණෙත් ෂෙහානි කැමතිම කෑම ජාති. ඒ අතරේ එයා කැමතිම හාල් මැස්සෝ හොද්දකුත් තිබුණා. ඒ වෙලාවෙම උයලා තිබුණු නිසා රස්නෙ අඩු වෙන්න ඇරලා තියපු හාල්මැස්සෝ ව්‍යංජනයෙන් ෂෙහානි ටිකක් වැඩිපුර බෙදා ගත්තේ තමන් ආස කරපු කෑම ජාතියක් නිසා.

බත් පිඟාන බෙදාගත්ත ෂෙහානි පන්ති යන්න පරක්කු වෙන නිසා ඉක්මණට කාගෙන කාගෙන ගියා. බත් පිඟානෙන් තුන්කාලක් විතර ඉවර වෙනකොට එකපාරටම ෂොහානි මහ හයියෙන් කෑගැහුවා.

අම්මේ... මෙහෙ එන්නකෝ.....

ඇයි දුවේ මොකෝ?

මේ බලන්නකෝ බත් එක....

ෂෙහානිගේ අම්මා ෂෙහානි අතේ තිබුණු බත් පිඟාන දිහා බැලුවා. හාල්මැස්සෝ ව්‍යංජනයේ හාල්මැස්සෝ අතරේ හිටපු මියගිය හූනෙක් ඉන්නවා ෂෙහානිගේ අම්මා දැක්කා.

කොහොමද අම්මේ හූනෙක් මේකට ආවේ? ෂෙහානි අප්පිරියාවෙන් ඇහුවා.

මම හාල්මැස්සෝ හොද්ද ඇරලා දාලනේ තිබ්බේ රස්සේ නිසා. ෂුවර් එකටම එතකොට තමා මූව වැටෙන්න ඇත්තේ. ෂෙහානිගේ අම්මා උණු හාල්මැස්සෝ හොද්දේ හොඳට තැම්බී හිටිය හූනා දිහා බලලා කිව්වා.

මේවා අපේ ගෙවල් අසල ඉන්න අයියා කෙනෙක්ට හා  මගේ ඥාති සොහොයුරියක්ට වෙච්ච ඇත්ත සිද්ධි දෙකක්. අපි ගෙදර හදන කෑම කොච්චර පිරිසිදුව හැදුවත් මෙහෙම සත්තු නිසා කෑම අපිරිසිදු වෙනවා නම් කෑම කඩවල විකුණන කෑම ගැන ආයේ කියන්න දෙයක් නෑනේ.

අපි අනන්තවත් කඩවලින් මේ වගේ සත්තු වැටුණු කෑම කනවා ඇති; කාලා ඇති.  නමුත් අපිට ඒ නිසා මොකක් හරි අසනීපයක් වෙන්නේ කලාතුරකින්. 

ඔබ සමහරවිට මේ කතාව අහලත් ඇති. කෘමියන්ගෙන් ඉතා පිරිසිදුව තමන්නේ ශරීරය පවත්වාගෙන යන කෘමියා කැරපොත්තා බව. අපි ගොඩ දෙනෙක් කැරපොත්තන්ව අප්‍රිය කරන්නේ උගේ ඇඟේ තියෙන පාට නිසා.(උගේ පිටත ශරීරය තද දුඹුරු පාට වුණත් කැරපොත්තන්ගේ ලේ සුදු පාටයි. ඒ උන්ගේ ලේ වල හිමොග්ලොබින් වර්ණකය නැති නිසා) කැරපොත්තෙක් වගේ සතෙක් කෑමක් සමග කැවුනත් ඒ ගැන අපි නොදන්නවානම් අපිට කිසිම වෙනසක් නොදැනෙන්නේ ඒ නිසා. (හැබැයි දැනගත්තොත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්)

අද ඉඳංවත් ඔයාලා කඩවල් වලින් කෑම කනවා නම් ඉතා විශ්වාසවන්ත වගේම පිරිසුදු කඩයකින් කනවනම් තමා හොඳ.v