Friday, 18 January 2013

අපූරු දහම් පාසල

ඇත්ත ජීවිතයේදී ෂර්ලොක් හෝම්ස් යනු පුළුවන් තරම් බයිට් වූ පුද්ගලයෙකි. පන්තියේදි හෝ වෙනත් තැන්වලදී හෝම්ස් තරම් බයිට් වන්නන් ඇත්නම් ඒ පොඩ්ඩකි. හෝම්ස් මෙසේ බයිට් වන්නේ ඔහුගේ යාලුවන්ගෙන් නොවේය. යාළුවන් බයිට් කරයි නම් එවුන්ට මොකක් හරි එකක් කියා නෝන්ඩි නොවී ඉන්ට පුළුවන. ඒත් හෝම්ස් බයිට් වන්නේ අමුතු අවස්ථාවලය. එයට උදාහරණයක් ලෙස හෝම්ස්ගේ මේ අතීත කතාව කිව හැකිය.


හෝම්ස් කොපමණ බයිට් වුනත් ඒවා ගනන් නොගෙන සිටීමට පුරුදු වූයේ අති විශිෂ්ට ගණයේ ගුරුවරයෙකුගෙනි. ඔහුගේ විශිෂ්ට බව කොතරම්ද කිව්වොත් ඔහුව මතක් වෙන සෑම වාරයක් පාසාම ඔහුගේ පවුලේ උදවියද හෝම්ස්ට මතක් වෙන වාර අනන්තය.


මේ ගුරුවරයා සිටියේ අගනුවර ගලාගෙන යන වතුර පාරක් අද්දර ඉදිකරන ලද පන්සලක දහම් පාසලේය. හෝම්ස් 7 වසර 8 වසර ඉගෙන ගන්න කාලයේ ගියේද මේ දහම් පාසලටය.


එක් දිනක් සිදුවූ සිදුවීමකින් හෝම්ස් ‍ගේ "ලැජ්ජාව" නම් වූ සදාචාරාත්මක ගුණාංගය වියකීමට පටන් ගත්තේ මේ දහම් පාසලේ සිටින විටදීය. එදා හෝම්ස් සිටියේ හෝම්ස් ගේ යහලුවෙක් සමග ඒ කාලයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන "පෑන් ගේමක්" ගසමින්ය.  නමුත් ඒ දහම් පාසලේ "පෑන් ගේම්" ක්‍රීඩා කිරීම දැඩි දඬුවම් ලැබෙන සුලු භයානක අපරාධයක් විය. නමුත් හෝම්ස් එකල ඉතා ජුන්ඩං වයසක පසුවන ළමයෙක් නිසා ඒ වැරැද්ද ගැන හා ලැබෙන දඬුවම ගැන එතරම් දැනුවත්භාවයක් තිබුණේ නැත.


ඉතිං පාසලේ පුරුද්දට පන්තියේ කවුරුත් ඉගැන්වීමට නොසිටි නිසා හෝම්ස්, හෝම්ස්ගේ චක්ගෝලයන් කිහිපයක් සමග එක්වී "පෑන් ගේමක්" ගැසීම ආරම්භ කළේය. නමුත් "ගේම" ගසන්නට ලැබුනේ ටික වේලාවකි. කොහෙවත් තිබූ මරාලයක් හෝම්ස්ගේ ඔලුවට පාත් වුණේ මේ මොහොතේය.


"නැගිටපං ඔය ඔතන ඉන්න එවුන් දෙන්නා.."


එසේ කිවේ එකල ගෝනිබිල්ලෙක් මෙන් ළමයින් බය කරගෙන සිටි නිලන්ත නම් වූ ගුරුවරයෙකි.


"උඹලා දෙන්නා පෑන් ගේම් ගහනවා නේද?"


"පෑන් ගේම්" ගැසීමට තුන් හතර දෙනෙක් සිටියත් අන්තිමට මාට්ටු වූයේ හෝම්ස් හා හෝම්ස් අසල වාඩි වි සිටි චතුරංග නම් වූ කෙනාවය.


"තමුසෙලා දන්නෙ නැද්ද පන්තියෙ ඉන්න කොට පෑන් ගේම් ගහන්න තහනම් කියලා?"

ඒ වෙලාවේ හෝම්ස්‍ට සෑම පොඩි ළමයෙකුම කියන ආකාරයට 'මෙන්න මේ ගොල්ලොත් පෑන් ගේම් ගැහුවා' යැයි කීමට වචන මුඛයට ගලාගෙන ආවත් පෑන් ගේම් ගැසූවන් හෝම්ස් දිහා බලාගෙන හිටපු විදියට හෝම්ස්ට එසේ කියන්නට හිත දුන්නේ නැත.


නමුත් ඉන්පසු සිදුවූයේ කවුරුත් හිතපු නැති දෙයක්ය. එක්වරම ගෝනිබිල්ලා මෙසේ පැවසුවේය.


"නැගපල්ලා දෙන්නම ඩෙස් එක උඩට!"



එකල අපේ පන්ති පැවැත්වූයේ විශාල ශාලාවකය. ඒ ශාලාවේ අඩුම තරමේ ළමයින් 500ක් වත් සිටියෝය. වඩාත් භයානක කරුණ වූයේ එයින් භාගයකටත් වැඩියෙන් කෙල්ලෝ වීමය. තවත් දෙයක් වූයේ එකල ඒ දහම් පාසලේ අතිභයානක උන්මන්තක අපරාධකරුවන්ට දෙන දඬුවම වූයේද ඩෙස් එක උඩ නැග්ගවීමය.


හෝම්ස් හා හෝම්ස් ගේ මිතුරා ලැබුණු දඬවම ලිහිල් කර ගැනිමට උත්සහයක යෙදුනත් උත්සහය වතුරේ ගියේය. අන්තිමට කරන්ට දෙයක් තිබුණේ නැත. දෙදෙනාටම වුණේ පරාජය භාරගෙන ඩෙස් එක උඩට නැගීමටය.ි


ඒ ආකාරයට ඩෙස් එක උඩට නැගීමද අමුතුම අත්දැකීමකි. ඩෙස් එක උඩට නැග්ග මුල්ම අවස්ථාවේ බිම බලාගෙන හිටියද ටික වේලාවක් යනවිට හෝම්ස්ට අවට සිරි නැරඹීමට හැකියාව ලැබුණි. හෝම්ස් මුලින්ම බැලුවේ ළඟ පාත ඉන්න එවුන් දෙසය. ඔවුන්ගේ මූණේ කිසිම හැඟීමක් තිබුණේ නැත. ඉන්පසු හෝම්ස් පන්තියේ කෙල්ලෝ දිහා බැලු‍වේය. කෙල්ලන් ටික ‍අප දෙදෙනා දෙස බලාගෙන කින්ඩියට මෙන් හිනා වුණෝය. ඉන්පසු හෝම්ස් ඒ දෙස බැලුවේ නැත.


කෙසේ හෝ එක් කාලපරිච්ඡේදයක් ආ ඉන්ටර්වල් එකෙන් භාගයක්ම අප සිටියේ ඩෙස් එක උඩය. අන්තියම ගෝනිබිල්ලා අපිට බිමට බැසිමට අවසර දුන්නේය.


දහවල් ලන්ච් එක වැලඳීමට චතුරංග හා හෝම්ස් කැන්ටිම දෙසට පියමැන්නේ කිසිවෙක් දිහා නොබලමිනි.  නමුත් කැන්ටිම ළඟදීත් කෙල්ලන්ගේ බයිට් වීම් වලට ලක් විමට අපට සිදුවිය. නමුත් උන්ට කිසිවක් කීමට වචන අපේ කටට ආවේ නැත.


එදා දහම් පාසල ඇරී ගෙදර ආවද නිතරම මතක් වුණේ ඩෙස් එක උඩ නැගී අවට සිරි නැරඹූ හැටිය. එයත් දවස් දෙක තුනකින් එයත් අමතක වී ගියේය. නමුත් ඒ සිදුවීමෙන් පසු චතුරංග හා මම ඒ දහම් පාසලේදී වැඩිම කාලයක් හා වැඩිම වාර ගණනක් ඩෙස් එක උඩ සිටගෙන සිටීමේ වාර්තාවක් පිහිටවූ බව මම සිහිකරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.  ඒ මාසයකට වාර 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම ඩෙස් එක උඩට නැගීමෙනි. මේ නිසා අපට දහම් පාසලේ වැඩ කිරීමද එපා විය.  එයට ගියෙත් ගෙදරින් යවන හින්දා පමණි. (ගෙදර අම්මාට හෝ තාත්තාට දහම් පාසල් යන්නට බැරි හේතුව කටත් ඇර කියන්නට පුළුවන් නොවීය. )


නමුත් හෝම්ස් 9 වසරේදී සිදුවූ සිදුවිමකින් පසු හෝම්ස් ඒ දහම් පාසලෙන් අස් විය. (ඒ හේතුව ප්‍රසිද්ධියේ කිව නොහැකි එකකි. මන්ද යත් එය පැවසීමට ගියහොත් ඒ දහම් පාසලට අගෞරව වන බැවිනි. මා එසේ වනවාට අකමැති එක් ගුරුවරයෙක් නිසා මුලු දහම් පාසලම අපකීර්තියට පත් වීම වැලැක්වීමටය. ඒ මා තවමත් ඒ දහම් පාසලට ආදරය කරන බැවිනි).


ඉන්පසු හෝම්ස් ගියේ හෝම්ස් ගේ ගෙවල් අසල දහම් පාසලටය. එයට යනවිට හෝම්ස් කාඩ් එක චාටර් කර නොගෙන සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. දැන් ඒ හෝම්ස් ඒ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරටද ඉල්ලුම් කර තිබෙන්නේය. (එය ලැබෙන නොලැබෙන බව දැනගන්නට වෙන්නේ ලබන ඉරිදාය)


ප.ලි :- මා හට මේ කතාව ලිවීමට මතක් වුණේ ලබන ඉරිදා අදා වීමට ඇත්තේ තව දින 2ක් පමණක් නිසාය

Sunday, 6 January 2013

කොහොම හරි තුනකුත් ගැහුවා...

අද ජනවාරි 6. අද උදේ නැගිටින කොට අදත් කිසිම විශේෂත්වයක් නැති දවසක් වගේ දැනුනේ. ඒත් එක පාරටම මගේ මොළේට අද දවසේ විශේෂත්වය මතක් වුණා. අදට "බේකර් විදිය" බ්ලොග් එක පටන් අරං මාස තුනක්. දැනුනෙවත් නෑ මාස තුනක් ගතවෙලා ගියා.


මම මේ බ්ලොග් එක පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 6. දැන් ඔයාට මතක් වෙනවා ඇති ඒ දවසේ විශේෂත්වයක්. මතක් වෙන්නේ නැත්තං මම කියන්නං. ඔක්තෝබර් 6 වෙනිදට යෙදිලා තියෙන්නේ ලෝක ගුරු දිනය. සමහරවිට ඔයාලා දන්නවත් ඇති මම කලින් ලිව්වා බ්ලොග් එකක් "රචිත්‍රගේ නිදහස් අඩවිය" කියලා. අන්න ඒ බ්ලොග් එකත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. හැබැයි ඒ මගේ ඉස්කෝලේ යාළුවෝ අතරේ විතරයි.  ඒකට හේතුව මම ඒ බ්ලොග් එක දාලා තිබුණේ සින්ඩිකේටර් දෙක තුනක විතරයි. ඒ බ්ලොග් එක මම ලියන පෝස්ට් වලට ගොඩ දෙනෙක් කැමති වුනත් ඒක එච්චර ප්‍රසිද්ධ වෙච්ච බ්ලොග් එකක් නෙමෙයි.


ඉතිං මම හිතුවා අලුත් බ්ලොග් එකක් ලියන්න. මම ආස කරන රහස් පරීක්ෂණ කතාවක් වෙන ෂර්ලොක් හෝම්ස් ගේ චරිත ලක්ෂණ වලට මම බ්ලොගර් ප්‍රොෆයිල් එක වෙනස් කරලා ඊට ගැලපෙන බ්ලොග් එක පටන් ගත්තා.


මේ මාස තුනේදී මම දාපු පෝස්ට් වලට කමෙන්ට් කරපු අයවත් මෙතනදී මතක් නොකර බෑ. මම දාන හැම පෝස්ට් එකකටම  "මඩිස්ස" ලියන මඩිස්සලේ නිශාන් අයියා කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව.... "කෝරලේ වලව්ව" ලියන කෝරලේ මහත්තයත් කොහොම කොහොම හරි කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව රහස් පරීක්ෂක කතා ලියන spider the DETECTIVE වගේම silentsahan අයියා , PM , Gayani Wedage , වීපොකුර , වර්ෂා වගේ අයත් මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් කරපු අය. තව ඇනෝනිමස් විදිහටත් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. කලින් කියපු අය විතරක් නෙමෙයි, තව ගොඩක් දෙනෙක් මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් කරලා ගියා. ඊටත් වඩා ගොඩ දෙනෙක් බ්ලොග් එක කියෙව්වා කියලා මම දන්නවා.



මේ බ්ලොග් එකේ තවත් ප්‍රසිද්ධ වෙච්ච අංගයක් තමයි කවිශ්කගෙයි විසල් ගෙයි රහස් පරීක්ෂණ කතාව. අද මම කියන්න යන්නේ ඒ කතාව ගැන මේ කියවන කිසි කෙනෙක් නොදන්න දෙයක්. ඔය කතාව ගැන අදහස මගේ ඔලුවට ඇවිල්ලා දැනට අවුරුදු 1 1/2 ටත් වැඩියි. ඒ කාලේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට මම කතා හිමීට හිමීට ලිව්වා. ඒ කවදාහරි බ්ලොග් එකක පළ කරන්න. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත මුල් දවස්වලම මම ඒ කතාව ට වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කළා. Sri Lankan Detective Story කියන නමින් ආරම්භ කරපු ඒ බ්ලොග් අඩවියට ඇවිල්ලා තිබුණේ 11 දෙනෙක් විතරයි. (මාසයක් ඇතුලත. ඒකට හේතුව මම ඒ බ්ලොග් එක සින්ඩිකේටර් වලට ඇතුලත් නොකිරිම) අන්තිමට මම ඒ බ්ලොග් එක නවත්තලා "රචිත්‍රගේ නිදහස් අඩවිය" පටන් ගත්තා. ඒත් ඒකට මේ කතාව දැම්මේ නෑ.  නමුත් අහම්බෙන් වගේ දවසක මම ඒ කතාව තියෙන වර්ඩ් ඩොකියුමන්ට් එක දැක්කා. ඊට පස්සෙයි මේ බ්ලොග් එකට ඒ කතාව දැම්මේ. ඒත් මම හිතපු නැති විදියට ඒ කතාවට කට්ටිය කැමති වුණා.



දැන් කියන්න යන්නේ මගේ බ්ලොග් එක රසවිඳින කට්ටිය ගැන. මේ පහල තියෙන්නේ මේ බ්ලොග් එක‍ට මේ මාස තුනේදි ආපු කට්ටිය හා එගොල්ලෝ ජීවත් වෙන රටවල්.



ශ්‍රී ලංකාව - 554
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 37
එකසත් ජනපදය - 28
නෝර්වේ - 23
රුසියාව - 20
බ්‍රිතාන්‍යය (හෝම්ස්ගේ මවු රට) - 16
දකුණු කොරියාව - 11
ඊශ්‍රායලය - 8
ජර්මනිය - 7
කුවේට් - 5


මේ විදියට බලන කොට පේන තවත් දෙයක් තමයි දැන් ඉන්ටර්නෙට් එක්ස්පෝලර් කියන බ්‍රව්සර් එකට වෙලා තියෙන දේ. ඉස්සර ලෝකයේ අංක එකේ බ්‍රව්සරය වෙච්ච ඉන්ටර්නෙට් එක්ස්පෝලර් වලින් මගේ අඩවියට ඇවිල්ලා තියෙන්නේ 41 දෙනයි. ආසන්න වශයෙන් 5%. ඒත් ක්රෝම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා බ්‍රව්සර් වලින් පිළිවෙලින් 41%, 28%, 15% ගානේ ඇවිල්ලා තියෙනවා.


මේ මාස තුනේදී වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළ තමයි "ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතා මාලාව" කියන ලිපි පහ.


තව ටික දවසකින් හෝම්ස් තනියම හදාපු ඔයාලට ෆේස්බුක් චැට් කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා.

Thursday, 3 January 2013

"ෂර්ලොක් අයියට ටෙලිගැරැම් එකක්"

හෝම්ස් එදත් නිවීහැනහිල්ලේ නිදාගන්න කියලා කාමරේට ගියා. යාන්තං නින්ද ගියා විතරයි.

"ෂර්ලොක් අයියට ටෙලිගැරෑම් එකක්!!!" අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න මල්ලි කෑගහගෙන මගේ කාමරේට ආවා.

කවුද මට ටෙලිගැරෑම් එවන්න ඉන්නේ? මට ඒ වෙලාවෙ කල්පනා වුණා.

"ඒ කාලෙ නං ටෙලිගැරෑම් එකක් එනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම කවුරුහරි මැරිලා තමයි" අපේ ආච්චි අම්මා කිව්වා.

"ආච්චි අම්මා මොකද මගේ කාමරේ? ඔයාගෙ කාමරේ තියෙන්නේ උඩනේ?" මම ඇහුවා. ඒත් ආච්චි අම්මා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ.

ඒ ගමන්ම මට කල්පනා වුණේ ටෙලිගැරෑම් එක ගැන. ආච්චි අම්මා කියපු විදියට කවුරු හරි මැරිලා වෙන්න ඕනේ. ඒත් මොන මල යකාටද මේ හදිස්සියේ මැරෙන්න ඕන වුණේ?

ටෙලිගැරෑම් එක අරගෙන ආපු මල්ලි මගේ අතට ටෙලිගැරෑම් එක දුන්නා. මේක ටෙලිගැරෑම් එකක් වුණාට කිලෝග්‍රෑම් දහයක් විතර බරයිනේ.. මට හිතුණා.

මම ටෙලිග්‍රෑම් එක කඩලා බැලුවා. ඒකේ තිබ්බේ අමුතු පණිවිඩයක්.

"ලොකු-කරදරයක්-තිතක්--අයියලා-හතර-දෙනා-හිරෙන්-පැනලා-ගිහිල්ලා-තිතක්"

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහිල්ලා? ඉතිං අයියලා හතරදෙනා හිරෙන් පැනලා ගිය එක ඇයි මට කියන්නේ? මම කව්ද?... කව්ද?.............අනේ මන්දා කව්ද කියලා. කව්ද කියලා මතක් වෙන්නෙම නෑනේ.

ඒත් එකපාරටම මට මතක් වුණේ කිලෝග්‍රෑම් දහයක් විතර බර ටෙලිග්‍රෑම් එක. ඇයි ඒක එච්චර බර? මම ඒක ආයෙත් අරගෙන බැලුවා.

දැනුයි තේරුණේ... මේ ටෙලිග්‍රෑම් එක ලියලා තියෙන්නේ ගල් පතුරක් උඩ. ලියල කිව්වට ලියලා නෙමෙයි ගලේ කොටලා. ඊට පස්සේ මම බැලුවා ටෙලිග්‍රෑම් එකේ තැපැල් මුද්‍රාව තියෙන්නේ කො‍හෙද කියලා. තැපැල් මුද්‍රාවේ "ගිරිපුර" කියලා කොටලා තිබුණා.

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහින් කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවක් මංකොල්ල කන්න යනවා ඇති. මට හිතුණා. ඒත් උන් මංකොල්ල කනවා ඇත්තේ මොන බැංකුවද? තලවතුගොඩ හන්දියේ බැංකු කීයක් තියෙනවද? හැටන් නැෂනල්, බී.ඕ.සී, සම්පත්, නේෂන්ස් ට්‍රස්ට්, මහජන බැංකුව... මුන් හතර දෙනා මොන බැංකුවට කඩා පනියිද?

පරක්කු වෙලා හරියන්නේ නෑ. මම ඉක්මණට ක්‍රියාත්මක වෙන්න හිතුවා. ඒත් කෝ මගේ අශ්වයා? ඌ අශ්ව ගාලේ ඇති. මම ටක්ගාලා ඇඳුමක් දාගෙන අපේ ගේ පිටිපස්සේ තිබ්බ අශ්ව ගාලට දුවගෙන ගියා.

ඈ... අපේ ගෙදර කවදද අශ්ව ගාලක් තිබුණේ? මට හිතුණා. කමක් නෑ කොහොම හරි ඕන වෙලාවට අශ්ව ගාලක් තියෙනවනේ. ඒක කලින් ඉදන්ම ගේ පිටිපස්සේ තියෙන්න ඇති මම දකින්නේ නැතුව.

මම අශ්ව ගාල ළඟට දුවගෙන ගියා. ඒක ඇතුලේ මුළු ඇඟම සුදුම සුදු පාට,බෙල්ලේ කහපාට ලෝම පිරිච්ච අශ්වයෙක් මට නක්කලේට හිනා වෙවි හිටියා. මම අමාරුවෙන් අශ්වයව එළියට අරගෙන උගේ පිට උඩ නැගලා වේගෙන් තවලතුගොඩ හන්දිය පැත්තට ගියා.

මම ටික දුරක් යනකොට අයියලා හතර දෙනා හන්දියේ හැටන් නැෂනල් බැංකුව මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. 'අෆ්ෆටසිරි.... මගේ මොබයිල් එකවුන්ට් එක තියෙන්නෙත් මේ බැංකුවේ නේද?" මට මතක් වුණා. 

"මොකක්ද යකෝ මොබයිල් එකවුන්ට් එක කියන්නේ?" කවුද මන්දා එකෙක් මගෙන් ඇහුවා.

"ජංගම ගිණුම කියන්නේ ඒකට.. ඒක නැති වුනොත් මම චෙක් වලින් කරන මෙව්වා ඔක්කොම නැති වෙනවා" මම කිව්වා.

මම ඒ කතාව කියලා ඉවර වෙනකොට අයියලා හතර දෙනා බැංකුව මංකොල්ල කාලා එළියටත් ආවා. ඇවිල්ලා මට වෙඩි තියන්න තුවක්කු හතරම 
දික් කලා. මමත් මගේ තුවක්කුව අරගෙන වෙඩි තියන්න කොකා ගැස්සුවා. ඒත්......
...වස නෝන්ඩිය. තුවක්කුවට බුලට් දාන්න අමතක වෙලා..

අයියලා හතර දෙනා මට වෙඩි තියාගෙන තියාගෙන ගියා....