Sunday 6 January 2013

කොහොම හරි තුනකුත් ගැහුවා...

අද ජනවාරි 6. අද උදේ නැගිටින කොට අදත් කිසිම විශේෂත්වයක් නැති දවසක් වගේ දැනුනේ. ඒත් එක පාරටම මගේ මොළේට අද දවසේ විශේෂත්වය මතක් වුණා. අදට "බේකර් විදිය" බ්ලොග් එක පටන් අරං මාස තුනක්. දැනුනෙවත් නෑ මාස තුනක් ගතවෙලා ගියා.


මම මේ බ්ලොග් එක පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 6. දැන් ඔයාට මතක් වෙනවා ඇති ඒ දවසේ විශේෂත්වයක්. මතක් වෙන්නේ නැත්තං මම කියන්නං. ඔක්තෝබර් 6 වෙනිදට යෙදිලා තියෙන්නේ ලෝක ගුරු දිනය. සමහරවිට ඔයාලා දන්නවත් ඇති මම කලින් ලිව්වා බ්ලොග් එකක් "රචිත්‍රගේ නිදහස් අඩවිය" කියලා. අන්න ඒ බ්ලොග් එකත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. හැබැයි ඒ මගේ ඉස්කෝලේ යාළුවෝ අතරේ විතරයි.  ඒකට හේතුව මම ඒ බ්ලොග් එක දාලා තිබුණේ සින්ඩිකේටර් දෙක තුනක විතරයි. ඒ බ්ලොග් එක මම ලියන පෝස්ට් වලට ගොඩ දෙනෙක් කැමති වුනත් ඒක එච්චර ප්‍රසිද්ධ වෙච්ච බ්ලොග් එකක් නෙමෙයි.


ඉතිං මම හිතුවා අලුත් බ්ලොග් එකක් ලියන්න. මම ආස කරන රහස් පරීක්ෂණ කතාවක් වෙන ෂර්ලොක් හෝම්ස් ගේ චරිත ලක්ෂණ වලට මම බ්ලොගර් ප්‍රොෆයිල් එක වෙනස් කරලා ඊට ගැලපෙන බ්ලොග් එක පටන් ගත්තා.


මේ මාස තුනේදී මම දාපු පෝස්ට් වලට කමෙන්ට් කරපු අයවත් මෙතනදී මතක් නොකර බෑ. මම දාන හැම පෝස්ට් එකකටම  "මඩිස්ස" ලියන මඩිස්සලේ නිශාන් අයියා කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව.... "කෝරලේ වලව්ව" ලියන කෝරලේ මහත්තයත් කොහොම කොහොම හරි කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව රහස් පරීක්ෂක කතා ලියන spider the DETECTIVE වගේම silentsahan අයියා , PM , Gayani Wedage , වීපොකුර , වර්ෂා වගේ අයත් මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් කරපු අය. තව ඇනෝනිමස් විදිහටත් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. කලින් කියපු අය විතරක් නෙමෙයි, තව ගොඩක් දෙනෙක් මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් කරලා ගියා. ඊටත් වඩා ගොඩ දෙනෙක් බ්ලොග් එක කියෙව්වා කියලා මම දන්නවා.



මේ බ්ලොග් එකේ තවත් ප්‍රසිද්ධ වෙච්ච අංගයක් තමයි කවිශ්කගෙයි විසල් ගෙයි රහස් පරීක්ෂණ කතාව. අද මම කියන්න යන්නේ ඒ කතාව ගැන මේ කියවන කිසි කෙනෙක් නොදන්න දෙයක්. ඔය කතාව ගැන අදහස මගේ ඔලුවට ඇවිල්ලා දැනට අවුරුදු 1 1/2 ටත් වැඩියි. ඒ කාලේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට මම කතා හිමීට හිමීට ලිව්වා. ඒ කවදාහරි බ්ලොග් එකක පළ කරන්න. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත මුල් දවස්වලම මම ඒ කතාව ට වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කළා. Sri Lankan Detective Story කියන නමින් ආරම්භ කරපු ඒ බ්ලොග් අඩවියට ඇවිල්ලා තිබුණේ 11 දෙනෙක් විතරයි. (මාසයක් ඇතුලත. ඒකට හේතුව මම ඒ බ්ලොග් එක සින්ඩිකේටර් වලට ඇතුලත් නොකිරිම) අන්තිමට මම ඒ බ්ලොග් එක නවත්තලා "රචිත්‍රගේ නිදහස් අඩවිය" පටන් ගත්තා. ඒත් ඒකට මේ කතාව දැම්මේ නෑ.  නමුත් අහම්බෙන් වගේ දවසක මම ඒ කතාව තියෙන වර්ඩ් ඩොකියුමන්ට් එක දැක්කා. ඊට පස්සෙයි මේ බ්ලොග් එකට ඒ කතාව දැම්මේ. ඒත් මම හිතපු නැති විදියට ඒ කතාවට කට්ටිය කැමති වුණා.



දැන් කියන්න යන්නේ මගේ බ්ලොග් එක රසවිඳින කට්ටිය ගැන. මේ පහල තියෙන්නේ මේ බ්ලොග් එක‍ට මේ මාස තුනේදි ආපු කට්ටිය හා එගොල්ලෝ ජීවත් වෙන රටවල්.



ශ්‍රී ලංකාව - 554
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 37
එකසත් ජනපදය - 28
නෝර්වේ - 23
රුසියාව - 20
බ්‍රිතාන්‍යය (හෝම්ස්ගේ මවු රට) - 16
දකුණු කොරියාව - 11
ඊශ්‍රායලය - 8
ජර්මනිය - 7
කුවේට් - 5


මේ විදියට බලන කොට පේන තවත් දෙයක් තමයි දැන් ඉන්ටර්නෙට් එක්ස්පෝලර් කියන බ්‍රව්සර් එකට වෙලා තියෙන දේ. ඉස්සර ලෝකයේ අංක එකේ බ්‍රව්සරය වෙච්ච ඉන්ටර්නෙට් එක්ස්පෝලර් වලින් මගේ අඩවියට ඇවිල්ලා තියෙන්නේ 41 දෙනයි. ආසන්න වශයෙන් 5%. ඒත් ක්රෝම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා බ්‍රව්සර් වලින් පිළිවෙලින් 41%, 28%, 15% ගානේ ඇවිල්ලා තියෙනවා.


මේ මාස තුනේදී වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළ තමයි "ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතා මාලාව" කියන ලිපි පහ.


තව ටික දවසකින් හෝම්ස් තනියම හදාපු ඔයාලට ෆේස්බුක් චැට් කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා.

Thursday 3 January 2013

"ෂර්ලොක් අයියට ටෙලිගැරැම් එකක්"

හෝම්ස් එදත් නිවීහැනහිල්ලේ නිදාගන්න කියලා කාමරේට ගියා. යාන්තං නින්ද ගියා විතරයි.

"ෂර්ලොක් අයියට ටෙලිගැරෑම් එකක්!!!" අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න මල්ලි කෑගහගෙන මගේ කාමරේට ආවා.

කවුද මට ටෙලිගැරෑම් එවන්න ඉන්නේ? මට ඒ වෙලාවෙ කල්පනා වුණා.

"ඒ කාලෙ නං ටෙලිගැරෑම් එකක් එනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම කවුරුහරි මැරිලා තමයි" අපේ ආච්චි අම්මා කිව්වා.

"ආච්චි අම්මා මොකද මගේ කාමරේ? ඔයාගෙ කාමරේ තියෙන්නේ උඩනේ?" මම ඇහුවා. ඒත් ආච්චි අම්මා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ.

ඒ ගමන්ම මට කල්පනා වුණේ ටෙලිගැරෑම් එක ගැන. ආච්චි අම්මා කියපු විදියට කවුරු හරි මැරිලා වෙන්න ඕනේ. ඒත් මොන මල යකාටද මේ හදිස්සියේ මැරෙන්න ඕන වුණේ?

ටෙලිගැරෑම් එක අරගෙන ආපු මල්ලි මගේ අතට ටෙලිගැරෑම් එක දුන්නා. මේක ටෙලිගැරෑම් එකක් වුණාට කිලෝග්‍රෑම් දහයක් විතර බරයිනේ.. මට හිතුණා.

මම ටෙලිග්‍රෑම් එක කඩලා බැලුවා. ඒකේ තිබ්බේ අමුතු පණිවිඩයක්.

"ලොකු-කරදරයක්-තිතක්--අයියලා-හතර-දෙනා-හිරෙන්-පැනලා-ගිහිල්ලා-තිතක්"

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහිල්ලා? ඉතිං අයියලා හතරදෙනා හිරෙන් පැනලා ගිය එක ඇයි මට කියන්නේ? මම කව්ද?... කව්ද?.............අනේ මන්දා කව්ද කියලා. කව්ද කියලා මතක් වෙන්නෙම නෑනේ.

ඒත් එකපාරටම මට මතක් වුණේ කිලෝග්‍රෑම් දහයක් විතර බර ටෙලිග්‍රෑම් එක. ඇයි ඒක එච්චර බර? මම ඒක ආයෙත් අරගෙන බැලුවා.

දැනුයි තේරුණේ... මේ ටෙලිග්‍රෑම් එක ලියලා තියෙන්නේ ගල් පතුරක් උඩ. ලියල කිව්වට ලියලා නෙමෙයි ගලේ කොටලා. ඊට පස්සේ මම බැලුවා ටෙලිග්‍රෑම් එකේ තැපැල් මුද්‍රාව තියෙන්නේ කො‍හෙද කියලා. තැපැල් මුද්‍රාවේ "ගිරිපුර" කියලා කොටලා තිබුණා.

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහින් කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවක් මංකොල්ල කන්න යනවා ඇති. මට හිතුණා. ඒත් උන් මංකොල්ල කනවා ඇත්තේ මොන බැංකුවද? තලවතුගොඩ හන්දියේ බැංකු කීයක් තියෙනවද? හැටන් නැෂනල්, බී.ඕ.සී, සම්පත්, නේෂන්ස් ට්‍රස්ට්, මහජන බැංකුව... මුන් හතර දෙනා මොන බැංකුවට කඩා පනියිද?

පරක්කු වෙලා හරියන්නේ නෑ. මම ඉක්මණට ක්‍රියාත්මක වෙන්න හිතුවා. ඒත් කෝ මගේ අශ්වයා? ඌ අශ්ව ගාලේ ඇති. මම ටක්ගාලා ඇඳුමක් දාගෙන අපේ ගේ පිටිපස්සේ තිබ්බ අශ්ව ගාලට දුවගෙන ගියා.

ඈ... අපේ ගෙදර කවදද අශ්ව ගාලක් තිබුණේ? මට හිතුණා. කමක් නෑ කොහොම හරි ඕන වෙලාවට අශ්ව ගාලක් තියෙනවනේ. ඒක කලින් ඉදන්ම ගේ පිටිපස්සේ තියෙන්න ඇති මම දකින්නේ නැතුව.

මම අශ්ව ගාල ළඟට දුවගෙන ගියා. ඒක ඇතුලේ මුළු ඇඟම සුදුම සුදු පාට,බෙල්ලේ කහපාට ලෝම පිරිච්ච අශ්වයෙක් මට නක්කලේට හිනා වෙවි හිටියා. මම අමාරුවෙන් අශ්වයව එළියට අරගෙන උගේ පිට උඩ නැගලා වේගෙන් තවලතුගොඩ හන්දිය පැත්තට ගියා.

මම ටික දුරක් යනකොට අයියලා හතර දෙනා හන්දියේ හැටන් නැෂනල් බැංකුව මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. 'අෆ්ෆටසිරි.... මගේ මොබයිල් එකවුන්ට් එක තියෙන්නෙත් මේ බැංකුවේ නේද?" මට මතක් වුණා. 

"මොකක්ද යකෝ මොබයිල් එකවුන්ට් එක කියන්නේ?" කවුද මන්දා එකෙක් මගෙන් ඇහුවා.

"ජංගම ගිණුම කියන්නේ ඒකට.. ඒක නැති වුනොත් මම චෙක් වලින් කරන මෙව්වා ඔක්කොම නැති වෙනවා" මම කිව්වා.

මම ඒ කතාව කියලා ඉවර වෙනකොට අයියලා හතර දෙනා බැංකුව මංකොල්ල කාලා එළියටත් ආවා. ඇවිල්ලා මට වෙඩි තියන්න තුවක්කු හතරම 
දික් කලා. මමත් මගේ තුවක්කුව අරගෙන වෙඩි තියන්න කොකා ගැස්සුවා. ඒත්......
...වස නෝන්ඩිය. තුවක්කුවට බුලට් දාන්න අමතක වෙලා..

අයියලා හතර දෙනා මට වෙඩි තියාගෙන තියාගෙන ගියා....


Monday 31 December 2012

ඔයා මාව දාලා ගිහිං අදට අවුරුද්දක්!

මේ ලියන්නට යන්නේ 2012 අවුරුද්දේ අන්තිම කතාව. ­­ඒ වුණාට මේ කතාව නම් මෙලෝ රහකට නැති එකක් බව මුලින්ම කියන්ට ඕනෑය. ඒ වුණාට මගේ ජීවිතේට ඒ කතාව ගොඩක් වැදගත් කතාවක්. මේ පෝස්ට් එකේ මාතෘකාව දැක්ක ගමන් ඔයාලට හිතෙන්න ඇති මේ කියන්න යන්නේ මම කෙල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක් ගැන කියලා. ඒත් මේ කතාවට කෙල්ලෙක් යාන්තමිංවත් ගෑවෙන්නේ නෑ.


මට බලු පැටියෙක් හදන්න හිතුනේ මට අවුරුදු එකොළහක් විතර වෙන කාලේ. බල්ලෙක් හදන්න ඕනේ කියන අදහස කොහොම මගේ හිතට ආවද කියලා මමවත් දන්නේ නෑ. ඒත් කොහොමිං කොහොමිං හරි බල්ලෙක් හුරතලේට ඇති කරන්න තියෙන ආසාව මගේ හිතේ එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඒ වුණාට අපේ ගෙදර කට්ටිය කුවුරුත් බල්ලෙක් ඇති කරන්න කැමති වුණේ නම් නෑ.  ඒ වුණාට ඒ කාලේ ඉදංම මම අපේ ගෙදරට ගෙනාපු ලංකාදීප පත්තරෙත් එක්ක එන  ලහිපිට පත්තරේ හැම සතියෙම බැලුවේ ඒකේ පෞද්ගලික තීරුවේ "සුනඛයින්" ගැන දැන්විම් තියෙන තීරුව. ඒ දැන්විම් වල දාලා තියෙන විදියට බල්ලෙක් අඩුම ගානේ 10,000 ක් 20,000 ක් වත් වෙනවා. ගෙදර බල්ලෙක් ඇති කරනවට කොහොමත් අකමැති වෙච්ච අපේ අම්මයි තාත්තයි කොහොමටවත් බල්ලෙක් ගේන්න එච්චර ගානක් වියදම් කරන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.


ඒ වුණාට 2008 අවුරුද්දේ එක දවසක මම හිතුවෙවත් නැති විදියට අපේ සීයා මට බලු පැටියෙක් ගෙනල්ලා දුන්‍නා. හැබැයි ඌ  එච්චර හොඳ බල්ලෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඌ "වල්" බල්ලෙක්. ඒ බල්ලව කවුරුහරි කෙනෙක් සියලාගේ ගෙවල් ගාවට දාලා ගිහිල්ලා තිබුණලු. ඒ වුණාට ඒ කාලේ මගේ හිතේ තිබුණේ වල් බල්ලෙක් ඇති කරන්න ආසාවක් නෙමෙයි. ඒ හින්දා ඒ බල්ලට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ.


ඒත් ඊට ළඟදී දවසක සියාට සීයා‍ අඳුනන තව කවුරු හරි තවත් බලු පැටියෙක් දිලා තිබුණා. ඒ බලු පැටියවත් අපේ ගෙදරට අරගෙන ආවා. ඌ නම් හරි ලස්සන එකෙක්. මුලු ඇඟම සුදු පාටයි. හැබැයි තැනින් තැන කළුපාට ලොකු ලප තියෙනවා. හැබැයි ඌත් එක්ක උපදුනු උ්ගේ අනිත් සහෝදරයන්ට තිබුණා උස යන්නේ නැති ලෙඩක්. ඒත් ඌට නම් එහෙම තිබුණේ නෑ. අන්තිමට කොහොම කොහොම හරි අපේ ගෙදර කට්ටියව ඌව ඇති කරන්න කැමති කරගන්න මට පුළුවං වුණා. ඌට කූඩුවක් අරගන්නත් තාත්තව බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තා.


ඌට මම දාපු නම "රැන්කි". රැන්කිගේ උපන්දිනේ තිබුනෙත් හරියටම මගේ උපන්දිනේට සතියකට කලින්. ඒ කියන්නේ මාර්තු 3 වෙනිදා. ඒ හින්දා රැන්කිගේ උපන්දිනේ කවදාවත් අමතක වුණේ නෑ. රැන්කිගේ තිබුණේ මාර අමුතු ගතිගුණ. ඌ කවදාවත් කියන දේ අහපු බල්ලෙක් නෙමෙයි. මොනදේ ඇහුවත් "කූඩුවට යන්න" කියන වචනේ ඇහුනේ නෑ වගේ ඉන්න ඌට හොඳට පුළුවන්. ඒ වුණාට ඌ උගේ කුඩුව තියා ගත්තේ බොහොම පිරිසුදුව. කවදාවත් ඌ උගේ කූඩුවේ ජරා කළේ නෑ. කොහොම හරි බුරලා බුරලා එළීයට ඇවිත් තමයි කරන්න ඕන දේවල් කරගන්නේ. මම ඒ කාළේ කරපු එක එක කුපාඩි වැඩ හැම එකකටම වගේ රැන්කිත් හවුල් වුණා. මම මුලින්ම කරපු රහස් පරීක්ෂණයටත් උදව් වුණේ ඌ.


2011 අවුරුද්දේ අන්තිම මාස දෙක තුන ඌ ගතකළේ අසනීපෙන්. ඒ අසනීප වලට ගොඩක්ම හේතු වුණේ ඌ ළඟ තිබ්බ වැරදි පුරුද්දක්. ඒක තමයි රබර් කන එක. රබර් තියෙන සෙරප්පු ඌට පෙන්නන්න බෑ. අහුවුනොත් කොහෙට හරි මුල්ලකට අරං ගිහින් සෙරප්පුව ඉවර වෙනකං කන එක තමයි කරන්නෙ.



2011 දෙසැම්බර් 31 වෙනිදා මම නැගිටින කොට උදේ 7 විතර ඇති. එතකොටත් රැන්කි හිටියේ ටිකක් අමාරුවෙන්. කොච්චර අමාරුවෙන් හිටියත් ඌ උගේ කැමතිම වැඩ කරගන්න අතපසු කර ගත්තේ නෑ. ඌ එදා ඌ යන්න කැමති හැමතැනකටම ගියා. අන්තිමට ඌ ආවේ ඌ ඉන්න කැමතිම තැනට. ඒ කියන්නේ මගේ ඇඳ යටට. 


මම ගිහින් ඇඳ යට හිටිය රැන්කිව ඇඳ යටින් අරගෙන උස්සගෙන අරගෙන ගියේ අපේ කුස්සියට. ඒ අම්මා රැන්කිට කිරි ටිකක් පොවන්න කියපු නිසා. හොඳටම දුර්වල වෙලා හිටිය හින්දා ඒ වෙලාවේ ඌ ඇවිදගන්න පුලුවන් වෙලා නෙමෙයි හිටියේ. වෙනදට දම්වැලෙන් ගැට ගහලා නැති කොට හොයාගන්නවත් බැරි විදියට තැන තැන දුවන රැන්කි අද අපි යන්න කිව්වත් කොහෙවත් ගියේ නෑ.


අන්තිමට මම රැන්කිව අපේ කුස්සියේ දොර ගාවින් තියලා ගියේ ඌට කිරි ටිකක් පොවන්න පරණ හැන්දක් හොයාගන්න. මම හැන්දත් අරගෙන ආපහු එනකොට උගේ කටින් ඌ බීපු වතුර වැමෑරෙන්න ගත්තා. මම එකපාරටම අම්මට කතා කළා. ඒ වෙලාවෙම ඌ ගැහෙන්න පටන් ගත්තා. මම ඌව අත්දෙකෙන් වඩාගෙන තාත්තට කිව්වා ඉක්මනට කොහෙට හරි අරගෙන යමු කියලා.


ඒත් අපි පරක්කු වැඩියි...............................................

රැන්කි අපිව දාලා ගියා.............................................