Tuesday, 30 October 2012

ෂර්ලොක් හෝම්ස් ඇනගත් හැටි

ලියන්න කියලා බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ආවට ලියන්න දෙයක් නෑ. මොනවා ලියන්නද කියලා තමයි මේ කල්පනා කරන්නේ. බේකර් වීදියට වෙලා මම මේ දවස් වල ඉන්නේ ටිකක් කම්මැලිකමෙන්. ඔහොම ඉන්න ගමන් මට මතක් වුණා මගේ සොඳුරු අතීතය. සෙඳුරුයි කිව්වට ඉතින් එච්චරම සොඳුරුත් නැ. මට ඒ මතක් වෙච්ච සිද්ධිය වුණේ මීට අවුරුදු 3කට විතර කලින්. ඒ මොකක්ද දන්නවද? මේ තමයි මම මගේ ජීවිතෝ කරපු මුල්ම රහස් පරීක්ෂණය.


මට මේ සිද්ධිය වුණේ මම 8 වසරෙදි. අද වගේම ඒ කාලෙත් මට ෂර්ලොක් හෝම්ස් පිස්සුව තිබුණා. ෂර්ලොක් හෝම්ස් කතා කියවලා කියවලා මට මාර ආසාවක් තිබුණා රහස් පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒ කාළෙ මම තමා ෂර්ලොක් හෝම්ස්. මගේ බල්ලා "රැන්කි" තමයි වොට්සන්. (හැබැයි ඒ වොට්සන් මගෙන් සදහටම සමු ගත්තා 2011 දෙසැම්බර් 31 වෙනිදා. එයා මැරුනෙ එයාට වයස අවුරුදු 4 දි) මට කවදාවත් පරික්ෂණයක් භාර දෙන්න කවුරුත් ආවෙ නෑ. මාත් බලන් හිටියා පරික්ෂණයක් එනකන්. කවදාවත් ආවෙ නෑ.


ඔන්න දවසක් මෙහෙම වැඩක් වුණා. අපේ ගෙදරට එහා පැත්තේ තමයි අපේ ලොකුඅම්මලාගෙ ගෙදර තියෙන්නේ. තාප්පෙන් තමයි අපේ ගෙදරයි ඒ ගොල්ලන්ගේ ගෙදරයි වෙන්වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට ටිකක් සල්ලි තියෙනවා. මේ තලවතුගොඩ පැත්තේ අයනං දන්නවා ඇති "රසරැස ෆුඩ් සෙන්ටර්" එක. අන්න ඒක ඒගොල්ලන්ගේ. තව කොට්ටාව - බොරැල්ල රූට් එකේ දුවන බස් 2කුත් තියෙනවා. ලොකු අම්මට ළමයි 3ක් ඉන්නවා. තුන්දෙනාම දැන් ලොකුයි. කසාදත් බැඳලා. ඒගොල්ලන්ගේ ගෙදර එක පුතෙකුයි දුවෙකුයි නතර වෙලා ඉන්නවා. අනිත් දුව ඉන්නෙත් අපි වගේ ලොකු අම්මලාගේ ගෙදර ගාවමයි. ඉතින් මම කතාව කියන්නම්. එක දවසක් රැ 1 ට විතර ලොකු අම්මලාගේ ගෙදරින් අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒගොල්ලො කිව්වේ මේකයි. අර එහෙ ඉන්න අයියට (ඒ කියන්නේ ලොකු අම්මගෙ පුතාට) ඇහිලා තියෙනවා මනුස්සයෙක් ඇවිදින අඩි සද්ද. ‍ගේ වටේම ඇවිදිනවා ඇහිලා තියෙනවා. එයා ටික වෙලාවක් ඒක අහගෙන ඉඳලා කාටවත් කියන්නේ නැතිව හිමීට ගෙදරින් එළියට ඇවිල්ලා හැංගිලා බලන් ඉදලා තියෙනවා කවුරුත් ඉන්නවද කියලා. කාවවත් එයා දැකලා නැති හින්දා අපේ ගෙදරට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ අර ආපු එකා අපේ ගෙදර පැත්තටවත් ආවද බලන්න කියලා. අපිත් ඉතින් බැලුවා. මොකෙක්වත් නෑ.


ඉතින් පහු වෙනිදා උදේ ඔය ගැන කතා කළාට හැමෝටම හවස් වෙනකොට ඒක අමතකයි. ඒත් මට අමතක වුණේ නෑ. එදා රෑ නිදා ගන්න ගිය වෙලාවට මතක් වුණේ ඒක. හදිද්සි‍යෙ හරි හොරෙක් ආවොත් ඌට කරන දේ ගැන හිත හිත ඉතින් මාත් හිටියා.


රෑ 12ට විතර ඇති. එකපාරටම අපේ බල්ලා බුරන්න පටන් ගත්තා. පාරෙ ඉන්න බල්ලොත් බුරන්න පටන ගත්තා. මම හිතුවා හරි තමා, අදත් අර යකා ඇවිල්ලා තමා කියලා. ඉතින් මට මෙහෙම හිතුනා. මොන කරුමෙ‍කට එහෙම හිතුනද දන්නේ නැහැ. කොහොම හරි හිතුනා. ඒ මොකක්ද දන්නවද? ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රමේකට ඒ හොරාව අල්ලන්න.


මම මුලින්ම කළේ ටෝච් එකක් අරගෙන හිමීට කාමරේ ජනේලෙ ඇරලා එළියට පැනපු එක. ඊට පස්සේ අපේ බල්ලගේ බලු කූඩුව ළඟට ගිහින් හිමීට ඒක ඇරලා වොට්සන් ව එළියට ගත්ත එක. ඒත් හැබැයි ඌ බිරිල්ල නැවැත්තුවේ නැ.


"රැන්කි කට වහ ගන්නවා" මම රහසින් වගේ කිව්වා. ඊට පස්සේ ඌ බිරිල්ල නැවැත්තුවා. මම මහ ලොකුවට එළියට ආවට දැන් කරන්න දෙයක් මතක් වුණේ නෑ. මොනා කරන්නද? කරුමෙට ඒ වෙලාවෙවත් මට ආයෙ ගෙදරට ගිහින් නිදා ගන්න හිතුනෙ නෑ. මට වාසියකට තිබුණෙ මම හොල්මන් වලට බය නැති එක. අනේ මන්දා මට තාමත් ඔය හොල්මන් කතා වලට බය හිතෙන්නේ නැ. මගේ ඇ‍ඟේ තියෙන හෝර්මෝන අවුලක්ද දන්නේ නැහැ. හොල්මන් වලට බය හිතෙන්නේ නැහැ. මම ඊට පස්සේ කළේ ටිකක් ලොකු යකඩ පොල්ලක් ගන්න එක. ඒකත් අරගෙන ලොකු අම්මලගෙ ගෙදර තාප්පේ ගාවට ගියා.


දැන් කොහොම හරි වොට්සන් වත් අරගෙන එහා පැත්තට පනින්න ඕනෙ. තාප්පෙ එච්චර උස නෑ. අඩි 5ක් විතර ඇති. මට ඒකෙන් පනින්න පුළුවන් වුණාට වොට්සන්ව ගන්න විදියක් නෑනේ. ඉතින් මම කළේ තාප්පේ ගාව තියෙන පේර ගහට නැග්ගා වොට්සන්වත් අතින් අල්ලගෙන ඇඟට තදකරගෙන. (ඒ වෙලාවෙ ඌට රිදෙන්න ඇති. ඒත් ඌ කෑගැහුවෙ නෑ) ඊට පස්සේ තාප්පේ අතින් අල්ලගෙන හිමීට සද්දයක් එන්නේ නැති වෙන්න එහා පැත්තට පැන්නා.


වොට්සන් ගෙ තිබුනු එකම ප්‍රශ්නෙ තමයි වලිගෙ වනන එක. ඌ මොනවා කරන්නද ඌට නවත්තගන්න බෑ වලිගෙ වැනෙන එක. ඔය වලිගෙ තාප්පෙ වදිද්දි ආපු සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් ආවෙ නෑ.



දැන් කරන්න දෙයක් නෑ. හොරාව අල්ලන්න යන්න ඕනෙ. මම හිමීට ගේ ඉස්සරහ පැත්තට ගියා. වොට්සනුත් මගේ පස්සෙන් ආවා. චන්ඩියා වගේ මුලින් ආවට දැන්නම් ටිකක් බය හිතුනා. ඒත් ෂර්ලොක් හෝම්ස් ව මතක් කරගෙන බය නැති කර ගත්තා.


මම ටික ටික ඉස්සරහට ගියා. එක පාරටම වොට්සන් ඉව අල්ල අල්ල ගොරවන්න පටන් ගත්තා. මම හිතුවා හරි තමා ඇන් අර මිනිහා මේ ළඟම ඇති කියලා. මම අර යකඩ පොල්ල අතට අරගෙන ලෑස්ති වුණා. මූ ළඟට ආවොත් මැරෙන්න හරි ගහනවා කියලා. මම චුට්ට චුට්ට ඉස්සරහට ගියා. වොට්සන්ගෙ ගෙරවිල්ලත් එන්න එන්නම වැඩි වුණා. මටත් ටිකක් බය හිතුණා.


මම ටික ටික ඉස්සරහට ගියාට දැන්නම් ලොකුඅම්මලාගේ ගෙදර ඉස්සරහ දොර ගාවටම ඇවිල්ලා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි එක පාරටම මගේ ඇඟට මිනිහෙක් කඩා පැන්නා. වොට්සන් එක පාරටම අර මිනිහගේ ඇඟට බුරාගෙන පැන්නා. රැන්කි හිටියෙ නැති වෙන්න එදා මට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒත් එක පාරටම අර මගේ ඇඟට පැන්න මිනිහා මට කතා කළා. කලුවරේ හරියට මූණ පේන්නෙත් නැ.
"මොනාද මල්ලි මේ කරන ගොන් වැඩ. තව ඩිංගෙන් අතක් පයක් කඩාගෙන ගෙදර යන්නේ."
ඒ කටහඬ ඇහුවම මට හිතිච්ච දේවල් කියන්න වචන නැ. ඒ තමයි ලොකු අම්මගේ පුතා! එයත් එදා රැකගෙන ඉඳලා ගෙදරට එන හොර අල්ලන්න.


ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න දෙයක් නෑ. ගෙදර ගිහිල්ලා අම්මගෙනුයි තාත්තාගෙනුයි නොසෑහෙන්න බැනුම් ඇහුවා. මට කාලයක් යනකං ගෙවල් පැත්තේ කට්ටිය කතා කළේ "ෂර්ලොක් හෝම්ස්" කියලා. අපේ බල්ලා ට කිව්වේ "වොට්සන්" කියලා. දැන්නම් ඒ නම කවුරුත් නොකිව්වට සමහර වෙලාවට සමහර අය තාමත් මට "ෂර්ලොක් හෝම්ස්" කියලා කතා කරන වෙලාවල් තියෙනවා.


ඒ වුණාට තාම මට තියෙන ප්‍රශ්නයත් තියෙනවා. අර එදා මුල්ම දවසේ එහෙට ආවෙ කවුද? (අර අඩි සද්ද එහෙම ඇහුනේ) සමහර විට අර අයියට ඇහිච්ච ශ්‍රව්‍ය මායාවක්ද දන්නේ නැහැ.


ආන්න එහෙම තමා මම මගේ මුල්ම පරීක්ෂණය කළේ. හැබැයි මේකනම් ඇත්තම කතාවක්. ඒ කාළේ මට තිබ්බ ෂර්ලොක් හෝම්ස් පිස්සුව තාමත් තියෙන හින්දා තමයි මම මගේ මේ බ්ලොග් අඩවියත් ෂර්ලොක් හෝම්ස් ගේ නමින් නම් කළේ.

Saturday, 20 October 2012

පන්තියට ආපු අළුත් කෑල්ල



එදත් මම යි මගේ යාළුවා විමුක්ති යි ගණං ක්ලාස් එකට ගියා. ඕලෙවල් වලට තව තියෙන්නේ මාස එකහාමාරක් වගේ කාලයක් හින්ද තමයි දැන් ඉදන්ම ක්ලාස් එකේ ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගත්තේ. එදත් අපිට ගණිතය දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍රයක් හම්බ වුණේ. පේපර් එක කරන්නත් මමයි විමුක්තියි එක ළඟ වාඩි වුණා. ටික වෙලාවක් පේපරේ කරන ගමන් ඉන්න කොට විමුක්ති මට මෙහෙම කිව්වා.

"ඒ.......මේ බලපංකෝ හෝම්ස්..... අර බලපං අර පස්වෙනි පේළියෙ තුන්වෙනියට වාඩි වෙලා ඉන්න කෑල්ල දිහා. පට්ට ලස්සනයි නේද?"

"කෝ බං?"

"අර ඉන්නේ බං. තොට ඇස් පේන්නේ නැද්ද?"

"ආ....අර නිල්පාට බ්ලවුස් එකක් ඇඳන් ඉන්න කෙල්ලද?"

"ඔව් බං. ඒකි සිරා ලස්සනයි නේද?"

"ඔව් බං. ලස්සනයි තමයි. ඇයි උඹට දැන් ඉන්න එකීව මදි වෙලාද?"

"ඒ වුණාට ඉන්න එකීට වඩා මේකි ලස්සනයිනෙ බං."

"උඹට නං කෙල්ලෙක්ව පෙන්නන්න බෑ. ඇඹලයා වගේ පැණි හලනවා."

"නෑ බං හෝම්ස්. ඒකිගේ අමුතු ලුක් එකක් තියෙනවා. උඹ දන්නවද ඒකි කොහෙද ඉන්නේ කියලා?"

"මම දන්නේ කොහොමද බං?"

"උඹ ඉතිං මොනාද දන්නේ? මුළු දවසෙම පාඩං කරනවා, එක්කෝ කොම්පියුටරේ එල්ලිලා ඉන්නවා.  මම නං දැක්කේ නෑ උඹ මේ දවස් ටිකේ එළියට බහිනවා."

"කොහෙ එන්නද බං? අම්මා බනිනවා පාඩං කරන්නේ නෑ කියලා."

"ඒක නෙමෙයි. උඹට බැරිද ඒ කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බලන්න? උඹ ඉතිං ඔය වගේ වැඩ වලට දක්ෂයනෙ."

"මට මතක හැටියට ඒකි පන්තියට එන්න පටන් අරං එච්චර දවසක් නෑ. වැඩිම වුනොත් මාස දෙකක් විතර ඇති."

අපි දෙන්නා එහෙම කතා කර කර ඉන්නකොටම පන්තියේ මිස් කෑගැහුවා.
"හෝම්ස්.... මොකද තමුසෙලා දෙන්නා කරන්නේ? විභාගෙට හරියට ඉන්න දන්නෙ නැත්තං පේපරේ දිලා යනවා."

ඉතිං අපේ කතාව එතනින් ඉවර වුණා. ආයෙත් මේ ගැන කතාව පටන් ගත්තේ පේපරේ බලලා ළකුණූ දෙන දවසේ. අපිට ළකුණු දෙන ගමන්ම පේපරේ තිබිච්ච ගණං ඔක්කොම ආයෙත් කියලා දුන්නා. පේපරේ සාකච්ඡා කරලා ඉවර වුනාම පන්තියේ මිස් මෙහෙම කිව්වා.

"මම දැං බලං හිටියේ මෙතන ඉන්න අයගෙන් කී දෙනාද තමන් දන්නෙ නැති ගණං ලියා ගත්තේ කියලා. ඇත්තටම පුතේ ඕගොල්ලන්ට තාම ලබන මාසේ ඕලෙවල් කියලා ගානක්වත් නෑ. ඔහෙ ඉන්නවා. අන්තිමට ෆේල් වුණාය පස්සේ තමයි ඉගෙනගත්තේ නැති එකේ අගේ තේරෙන්නේ.
දැන් බලන්න මේ අක්කා..." මිස් අර විමුක්ති ලස්සනයි කියපු කෙල්ලව පෙන්නුවා.
"එයා මේ පාර ආර්ට් වලින් ඒ ලෙවල් කරලා කැම්පස් යන්න ළකුණු අඩුවෙලා ඕපන් යුනිවර්සිටි එකට යන්න ඇප්ලිකේෂන් දාලා. ඒත් ඕලෙවල් ගණං නැතුව ඒකට ගන්නේ නෑ. දැන් එයාගේ තියෙන උනන්දුවට පන්ති ඇවිල්ලා මේ මාස දෙක තුනට කොහොම හරි වැඩේ කරගන්නවා. ඔයගොල්ලන්ට මේවා දැන්ම තේරෙන්නේ නෑ. රස්සාවකට යනකොට තමා තේරෙන්නේ."
      

මම ඒ වෙලාවේ බැලුවේ විමුක්තිගේ මූණ දිහා. උගේ මූණ කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා.


හැබැයි එදයින් පස්සේ තාම ඌ මගෙන් කෙල්ලෙක් ගැන ඇහුවා කියලා මතක නෑ.


ප/ලි : - එදා පන්තියේ මිස් කිව්වේ බොරු කතාවක් කියලා මට හිතෙනවා. ආර්ට් වලින් ඕලෙවල් කරන්නත් ගණං පාස් වෙන්න ඕනෙ කියලා තමයි දන්න අය කියන්නේ.

Thursday, 18 October 2012

ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතාවේ තුන්වන කොටස - ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය 3



  දිනක් මා විස්මයට පත්වන යමක් සිදුවිය. මම විසල් ගෙන් ඔහු ගේ මේ අමුතු හැසිරීම ගැන විමසීමට ඔහුගේ කාමරයේ දොර අසලට ගියෙමි. මම එතනට යන විට ඔහු කාමරය තුළට වී දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියේය.  මොහු කතා කරන්නේ කුමක් ගැන දැයි දැනගැනීමට මම කාමරයේ ජනේලය අසලට ගොස් සෙමින් එබී බැලුවේය. ඔහු ජනේලයට පිටුපා කතා කරමින් සිටියේය.  මම එක්වරම පහත් වී ඔහුගේ කතාවට ඇහුම්කන් දෙමින් සිටියෙමි.
          මේකයි. මට ඔය සුරංග බොතේජු කියන මිනිහගෙ ඩීටේල්ස් ටිකක් අරගන්න ඕනෙ. ඒ කියන්නෙ එයාගේ ෆෝන් රො‍කෝඩ්ස්, ආගිය තැන්, ඉන්න තැන හැමදෙයක්ම................................... බෑ කියලා බෑනෙ. කොහොම හරි හොයාගන්න ඕනෙ. ...............................................  වොරෙන්ට් එකක් ඕනෙ? හැමදේම නීත්‍යානුකූල විදිහට කරන්න බෑ. නීතිය අකුරටම පිළිපදින්න ගියොත් නීතිය, සාධාරණය ඉටුකරන්න බෑ. ඔය මිනිහගේ නොම්බරේ (දුරකතන සමාගමක නමක් කියයි) එකක්නෙ. මම අඳුනන කෙනෙක් ඉන්නවා ඒකෙ වැඩ කරන. මම ම ඩීටේල්ස් ටික ගන්නම්. .......................................  තාම එච්චර ප්‍රොගෙස් එකක් නෑ. මොකද මේ මිනිහා වැඩේ කරලා තියෙන්නෙ මාර ප්ලෑන් එකකට. පොඩ්ඩක් ලයින් එකේ ඉන්න.
          අනුන්ගේ ප්‍රයිවට් දේවල් වලට හොරෙන් ඇහුම්කන් දෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා අදවත් ඉගෙන ගන්න කවිෂ්ක.
          මා එක්වරම පිටුපස හැරී බැලුවෙමි. විසල් මාගේ අසලට පැමිණ තිබුණි. මේ සිදුවීමෙන් මට මහත් කම්පනයක් දැනුනි. මට සිදුවූයේ මහත් ලැජ්ජාවකි. මට ඔහුට කියන්නට යමක් මුවට ආවේ නැත.
          මම මේ............... මම.............. මේ.............. ආවෙ.........මේ.... ඔයා රෑට කන්නෙ මොනවද කියලා අහන්න. මේ....... මම යනවා. මෙසේ පැවසූ මා සූදානම් වූයේ කෙසේ හෝ එතැනින් පැනගන්නටය.
          ඔහොම ඉන්න කවිෂ්ක. මම කාටවත් මේ සිද්ධිය ගැන කියන්නේ නැහැ. මනුස්සයා කියන්නේ කුතුහලයෙන් පිරිච්ච කෙනෙක්නේ. මම ඔයා වෙලා හිටියොත් මම කරන්නෙත් ඔය දේම තමයි. එන්න ඇතුලට මම ඔයාට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න.
          මම ඔහුගේ එම කතාවෙන් ප්‍රීතියෙන් පිනා ගියෙමි. මොහු කවුද, කරන්නේ මොනවාද යන්න දැනගැනීමට මට තිබුණේ මහත් ආසාවකි.
          හරි. හැබැයි ඔයා මට බොරු කියන්න බෑ. ඇත්තම කියන්න ඕනෙ.
          යමුකො ඇතුලට ඔයාට මේ සිද්ධවෙන දේවල් තේරුම් කරලා දෙන්න.
          මම විසල් සමග ඔහුගේ කාමරය ඇතුලට ගියෙමි. තවමත් හරිහැටි අස්කර නොගත් කාමරය තිබුණේ අපිළිවෙලටය. පුටුවක් මත තිබුණු විවිධ බඩු භාණ්ඩ ඉක්මණින් ඉවත් කර දැමූ ඔහු එම ආසනය මට ලබාදී ඔහු ඇඳ මත වාඩි වුණේය. ඔහුම කතාව ඇරඹීය.
          ඔයා දැනටමත් දන්නවා ඇති මගේ රස්සාව මොකක්ද කියලා.
          ඔවි. ඔයා ෂුවර් එකට වැඩ කරන්නේ සී.අයි.ඩී එකට. මම හිතන්නේ ඔයා ඒකෙ ඔත්තු කාරයෙක්.
          අපෝ නෑ. මම කරන්නේ ස්වයං රැකියාවක්. මම ඔයගොල්ලන්ට මම හවුස් ප්ලෑන් අඳින එක්කෙනෙක් කිවුවෙ බොරුවට. ඇත්තටම මම රහස් පරික්ෂකයෙක්!
          මොකක්! රහස් පරික්ෂකයෙක්?
          මම මේ මං ගැන ලොකුකම් කියවනවා කියලා හිතන්න එපා. මම දැනට ලංකාවේ වෙච්ච මිනිමැරුම්, අපරාධ, මංකොල්ලකෑම් පනහකට වැඩි ගානක් විසඳලා තියෙනවා. මම හින්දා අපරාධකාරයෝ තුන්දෙනෙක්  එල්ලුම්ගහට නියම වෙලා තියෙනවා.
          ඇත්තටම? හරි පුදුමයි. ඒක තමයි ඔයා මෙහෙට ආපු දවස්වල මැජික් බලේකින් වගේ හැම අපි ගැන විස්තර දෙයක්ම කිව්වේ.
          ඒක මගේ හැකියාව. මම කැමතියි ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ව පුදුම කරන්න.
          ඔයා කොහොමද අපි දිහා බලල හැමදේම කියන්නෙ?
          ඕගොල්ලො දිහා බලලම තමයි.
          මට තේරුණේ නැහැ. මමත් දැන් ඔයා දිහා බලන් ඉන්නවනේ මට බැහැනෙ එහෙම විස්තර කියන්න.
          මම එහෙම කරන්නෙ කිසිම ගුප්ත බලේකින් නෙමෙයි. මම ඔයාට ඒක පැහැදිලි කරන්නම්. දැන් මම මේ කාමරේ බලන්න ආපු වෙලාවෙ කිව්වා ඔයා මේ පාර ඒ ලෙවල් ලියපු කෙනෙක් කියලා. මම ඒක දැනගත්තෙ කොහොමද දන්නවද? මම ඔයාගෙ ගේ ඇතුලට ආපු වෙලාවෙ මම දැක්කා කැබිනට් එක උඩ තියෙනවා පොත් වගයක්. ඒ  පොත් උසස් පෙළ ගිණුම්කරණ විෂයට අදාල පොත්.  ඔයා මේ අවුරුද්දේ ඒ ලෙවල් ලියනවනම් ඔයා මෙහෙම ෆ්‍රී එකේ ඉන්නෙ නැහැනෙ.  ඒ කියන්නේ ඔයා විභාගේ ලිව්වේ ගිය අවුරුද්දේ.  ඔයාගෙයි අම්මගෙයි මුහුණෙ පෙනුම දැක්කම කියන්න පුළුවන් රිසල්ට් අවුලක් නෑ කියලා. ඒත් එකවුන්ට් වලට රිසල්ට් අඩුයි කියලා කියන්න පුළුවන් වුණේ කැබිනට් එක උඩ තිබුණු පොත් එකවුන්ටන්ට් පොත් හින්දා. ඒ සබ්ජෙක්ට් එකට රිසල්ට් අඩු වුණ හින්දා තමයි ඔයා ඒ පොත් ආයිත් බලන්න එළියට අරං තියෙන්නේ. එතන අනිත් සබ්ජෙක්ට්, ඒ කියන්නේ ආර්ථීක විද්‍යාව වගේ විෂයන් වල පොත් තිබුණෙ නැත්තේ ඒවයේ රිසල්ට් හොඳ හින්දා. ඒකෙන් තව දෙයක් කියන්න පුළුවන්. ඔයා හොඳට ඉගෙගන්න, හොඳට පාසලේ වැඩ කරන කෙනෙක්. නැත්තං වෙන කෙකෙන් නම් එක්සෑම් වලින් පස්සේ පොතක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැහැ.
          දැනුයි තේරෙන්නේ ඔයාගේ ඔය මැජික් බලේ ආවෙ කොහොමද කියලා. බලං යනකොට ඒකෙ එච්චර රහසක් නෑ. ඒත් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මෙහෙ හිටපු ලෝයර් ගැන දැනගත්තෙ කොහොමද?
          මම මේ කාමරේ බලපු වෙලාවෙ දැක්කා මෙන්න මේ කබඩ් එකේ තියෙනවා ලෝයර්ස්ලා පාවිච්චි කරන කොළ වගයක් තියෙනවා. ඒක දැකලා තමයි මම කිව්වෙ මෙහෙ කලින් ලෝයර් කෙනෙක් හිටියා කියලා. තව මේ කබඩ් එකේම තවත් ලාච්චුවක තිබුණා බැංකු වලින් එවපු ලියුම්. ඒවයෙ තිබ්බෙ ක්‍රෙඩිඩ් කාඩ් වල සල්ලි ආපහු ගෙවන්න කියලා, උකස් කරපු එක එක බඩු බේරන්න කියලා, සමහර බඩු සින්න වෙලා කියලා ආපු ලියුම්. ඉතින් ඒවා දැක්කම කියන්න පුළුවන් ඒ මනුස්සයා ලොකු ආර්ථීක අර්බුදයක හිටියෙ කියලා. තව මේ කාමරේ හදිසියෙන් බඩු අස් කරපු ළකුණු තිබ්බා. ඒ කියන්නෙ එයා හදිසියෙන්ම ගියපු ලකුණු තියෙනවා. සල්ලි වලින් අමාරුකම් තියෙන කෙනෙක් හදිසියෙම තැන් මාරු කරන්නේ කුළියට හිටපු තැනින් යන්න වුණාම. ඒ කියන්නෙ එයා මාස ගාණක සල්ලි ගෙවලා තිබුණෙ නැහැ.

විසල් අනිත් නිගමන වලට ආ හැටි හතරවන කොටසින් බලන්න

Friday, 12 October 2012

ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂණ කතාවේ දෙවන කොටස - ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය 2


        මේ රහස් පරික්ෂණ කතාවේ පළමු කොටස කියවීමට මෙතන ක්ලික් කරන්න

        පසුදින උදා විය. එය අඟහරුවාදා දවසකි. හරියටම උදෑසන 9 වන විට පෙර දින අප නිවස බැලීමට පැමිණි තැනැත්තා අප නිවස ඉදිරිපිට සිටියේය. මෙවර ඔහු ඇඳ සිටියේ තද කළු පාට ඩෙනිම් කලිසමක් හා නිල්පාට ටී ෂර්ටයකි. පෙර දින මුහුණ නොපෙනීමට පැළඳ තිබූ අව් කණ්නාඩිය අද පැළඳ සිටියේ නැත. ඒ නිසා ඔහුගේ මුහුණ පැහැදිලිව පෙනිනි. මුහුණ පුරා වැවුනු යටි රැවුලක් තිබුනද ඔහු උඩු රැවුල සම්පූර්ණයෙන්ම කපා තිබුණි. ගණ ඇහි බැම යුගලයක් මෙන්ම උකුස්සෙකුගේ මෙන් තියුණු දෙනෙතක්ද ඔහුට පිහිටා තිබිණි. ඔහුගේ බජාජ් සී ටි හන්ඩ්‍රඩ් යතුරුපැදිය පසෙක නවතා තිබුණි. බයිසිකලය මත ඔහුගේ බඩු භාණ්ඩ යැයි සිතිය හැකි භාණ්ඩ වගයක්ද අසුරා තිබෙනවා මා දුටුවෙමි.
          ගුඩ් මෝර්නින්!  මම මේ උදේ පාන්දරම ඇවිල්ලා කරදර කරනවද මන්දා. ඔයාට ඊයෙ රෑ හරියට නිදාගන්නත් බැරි වුණානෙ. ඔහු පැවසීය.
          අනේ ඇත්තටම ඔයාට අනුන්ගේ හිත් කියවනන්න පුළුවන්ද මන්දා. නිකන් මැජික් බලේකින් වගේ අනුන් ගැන විස්තර කියවගෙන යනවා. ඇත්තටම ඔයා කොහොමද ඔහොම අනිත් අයගේ විස්තර කියන්නේ?
          හරි හරි ඕවා කතා කරන්න අපිට ඕන තරම් වෙලා ඉස්සරහට හම්බ වෙයි. ඔයා ගිහින් අම්මව එක්කරගෙන එන්නකො අපේ ගණුදෙනුව ඉවරයක් කරලා දාන්න. 
          මම මාගේ මව එක්කරගෙන ඒමට නිවසට ගියෙමි. විනාඩි කීපයකට පසු මමත් අම්මාත් ඔහු ඉදිරිපිටට පැමිණයෙමි.
          නෝනා මෙන්න මම ඇඩ්වාන්ස් එක ගෙනාවා. මෙන්න මෙතන රුපියල් අසූහතර දාහක් තියෙනවා. මට අද ඉඳලම මෙහෙ නවතින්න පුළුවන් නේද?
          අපෝ පුළුවන් මහත්තයෝ. මහත්තයා මහත්තයගේ බඩු භාණ්ඩ එහෙම ගෙනාවද? මව ඇසුවාය.
          ඔව්. ඔව්. මම ඔක්කොම අරගෙන ආවෙ. ආ ඒක නෙමෙයි මගේ බයිසිකල් එක වත්ත ඇතුලෙ නවත්තලා තිබ්බට කමක් නෑ නේද?
          අපෝ කමක් නෑ. අපි මහත්තයත් එක්ක මෙච්චර කතා කළාට මහත්තයගෙ නම ගම මොකුත් විස්තර දන්නේ නැහැනෙ. මගේ මව විමසුවාය.
          මගේ නමද? මගේ නම විසල් නවෝද්‍ය. මගේ ගම නම් රත්නපුර. මගේ රස්සාව ගෙවල් වලට ප්ලෑන් අඳින එක. රත්නපුර ඉඳලා කොළඹ ආවට පස්සෙ ඉතින් ඉන්න තැනක් හොයා ගන්නත් එපෑ. මම තැන් දෙක තුනක් ම බැලුවා. ඒවට වඩා මෙතන හොඳ තැනක්. මොකද හරි නිස්කලංක, සද්ද බද්ද නැති තැනක් තමයි මට ඕනෙ. හැබැයි මගේ සමහර ගතිගුණ වලට නම් ගොඩක් අය කැමති නැහැ.  ඒත් මම නම් හිතන්නෙ නෑ ඕගොල්ලොත් මට අකමැති වෙයි කියලා.
          අපේ ගෙදර එකට ඉන්න මනුස්සයත් එක්ක අපි මොකටද අමනාපකම් ඇති කර ගන්නෙ.  මහත්තයට බඩු ටික අස් කර ගන්න ඕනෙනම් අපේ පුතාව එක්කර ගෙන යන්න.
          බොහෝම ස්තූතියි. එහෙනම් කවිෂ්ක, එන්නකො මට උදව්වක් කරන්න.
          ඔහුගේ කීමට අවනත වූ මම ඔහුගේ යතුරුපැදියේ අඩුක් කර තිබූ බඩු ඔහුගේ කාමරයට රැගෙන යාමට උදව් කළෙමි. ඔහු බඩු භාණ්ඩ ඉතා අමුතු තාලයේ ඒවා විය. ඒවා අතර ඔහුගේ ‍පෞද්ගලික භාණ්ඩ වලට වඩා තිබුණේ විවිධ තාක්ෂණික උපකරණයන්ය. නිවාස සැළසුම් ශිල්පියෙකු වුවත් මොහු මෙතරම් උපකරණ තොගයක් රැගෙන ඒම පිළිබඳ මා ඔහුගෙන් මෙසේ විමසුවෙමි.
          විසල් අයියෙ ඔයා හවුස් ප්ලෑන් අඳින එක කලාට මාර බඩු ගොඩක්නෙ අරං ඇවිල්ලා තියෙන්නේ. ලැප්ටොප්, සික්‍යුරිටි කැමරා, ෆෝන්, මාර තොගයක් ගෙනල්ලනෙ.
          මගේ හොබී එක තමයි මේක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් බඩු එකතු කරන එක. මං ළඟ තවත් ඉලෙක්ට්‍රොනික් බඩු තියෙනවා. ඒවා ඊළඟ පාර අරං එන්න ඕනෙ.
          ඊළඟ පාර? ඒ කියන්නේ තවත් බඩු තියෙනවද?
          ඔව්. මම මේ බයිසිකලෙන් ගෙනාවේ පොඩි පොඩි බඩු ටික විතරයි. මම පෙඩි ලොරියකට කිව්වා බඩු ටික ගේන්න කියලා. ඒක මෙලහකට මග එනවත් ඇති.
          විසල් එසේ කියා විනාඩි 10කට පමණ පසු ඔහුගේ අනෙකුත් බඩු රැගෙන ලොරි රථය පැමිණියේය.  එහි තිබූ බඩුද රැගෙන ඒමට උදවු වූ මම අවසානයේ නිවසට පැමිණියෙමි. ඔහුගේ කාමරයේ අවකාශයෙන් තුන්කාලක් පමණ පිරෙන්නට ඔහු බඩු ගෙනවිත් තිබිණි. ඒ අතරින් වැඩි හරියක්ම විවිධ තාක්ෂණික උපකරණයන්ය.
          මෙසේ කිසිම විශේෂ සිදුවීමක් නොමැතිව දින කිහිපයක් ගතවිය. අපේ නේවාසිකයා බොහොම හොඳින් ඔහුගේ පාඩුවේ වැඩ කරමින් සිටියේය. සියල්ල කණපිට හැරවුනේ 2010 වසරේ මැයි මාසයේ බ්‍රහස්පතින්දා දිනක සිදු වූ සිදුවීමකිනි.
          එදා මම මිදුලට වී මගේ ජංගම දුරකතනයෙන් ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියෙමි. එක්වරම අප නිවස ඉදිරිපස පොළීසියේ ජීප් රථ කිහිපයක් නැවැත්තුවේය. එයින් එක් වාහනයකින් බැස්සේ එවකට පොළීසියේ උසස් තනතුරක් දරන්නෙකි. ඔහු ඔහුගේ ආරක්ෂකයින් සමග අප නිවසේ ගේට්ටුව විවෘත කරගෙන මාවද පසෙකට තල්ලු කර දමා විසල් ගේ කාමරය දෙසට පා නැගුවේය. මට මේ පිළිබඳ කිසිවක් සිතා ගත නොහැකි විය.  විසල් ගේ කාමරය අසලට ගිය පොළිස් ප්‍රධානියා කාමරයේ දොරට තට්ටු ක‍ළේය. එවිටම වාගේ විසල් දොර ඇරියේය.
          ආ කොහොමද මිස්ටර් නිමල්. මොකද මේ ගොඩ කාලෙකට පස්සෙ මාව මතක් වුණේ? ෂුවර් එකටම ක්‍රිමිනල් කේස් එකක් වෙන්න ඇති. විසල් පැවසුවේය.
          ඔව්. ගොඩක් සීරියස් කේස් එකක්. ඒක ගැන මෙහෙම කතා කරන්න බෑ. යමුකො ඇතුලට.  පොළිස් ප්‍රධානියා පැවසුවේය.
          කාමරේ ඇතුලට ආවට පස්සෙ හිතෙයි ඇතුලට ආවෙ අපරාදෙ කියලා. මට තාම හරියට කාමරේ අස් කර ගන්න බැරිවුණා.
          ඒකට කමක් නෑ. යමුකෝ ඇතුලට.
          එසේ පැවසු පොළිස් නිලධාරියා විසල් සමග ඔහුගේ කාමරය ඇතුලට වැදුනේය. ඔවුන් යලි පිටතට පැමිණියේ මිනිත්තු 45 කට පමණ පසුවය. තම හිස මත තිබූ විශාල බරක් ඉවත් වූ පුද්ගල‍යෙකු මෙන් පොළිස් නිලධාරියා අප නිවසින් පිටව ගියේය.
          මෙම සිදුවීමෙන් පසුව විසල් ගේ හැසිරීම වෙනස් විය. ඔහු වෙනදාට ආහාර ගැනීම සඳහා අප නිවසට පැමිණියත් මේ කාලයේදී ආහාර ඔහු අප ලවා ඔහුගේ කාමරයටම ගෙන්වා ගත්තේය. විටෙක එක් වරම නිවසින් පිටව යන ඔහු නැවත නිවසට පැමිණෙන්නේ පැය කිහිපයකින් පසුවය. සමහර දිනවල මධ්‍යම රාත්‍රියේ නිවසින් පිටව යන  ඔහු නැවත පැමිණෙන්නේ පසුදා උදෑසනය.

                  *      *      *

කවිෂ්ක විසල් ගේ කතා වලට හොරෙන් ඇහුම්කන් දී විසල්ගේ අතටම අසුවෙයි......... නොබෝ දිනකින් මීළඟ කොටසින් කියවන්න...

"ෂර්ලොක් හෝම්ස්" ලියන අළුත්ම රහස් පරික්ෂණ කතාව - ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය


ෂර්ලොක් හෝම්ස් කතා මාලාව මේ බ්ලොග් එකට පිවිසෙන ගොඩක් දෙනෙක් කියවලා රසවිඳපු රහස් පරීක්ෂක කතා මාලාවක්. ඉතිං මමත් හිතුවා ඒ වගේ කතාවක් ලියන්න. මම මේ කතාව දැන් ලියලා ගොඩක් කල්. ඒත් ඒක ප්‍රසිද්ධ කරන්න හරියට වෙලාවක් හම්බ වුණේ නෑ. ඒ වුණාට මේ කතාව හොඳ එකක්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒක ඉතිං තීරණය කරන්න පුළුවං ඔයාලටම තමයි. මම මේ කතාව පළ කරන්නේ කොටස් වශයෙන්. අද මම පළකළේ කතාවේ පළවෙනි කොටස.

                       *     *     *

මම  ඔබට කියන්නට යන කතාන්තරය ඔබ විශ්වාස කරයි දැයි මට සැක සහිතය. මෙය සිදුවූයේ හරියටම මීට වසර දෙකකට කලිනි. ඒ 2010 වසරයි.  මාගේ නිවස පිහිටියේ කොළඹ තදාසන්න ප්‍රදේශයකය. ඔබට මා ජීවත්වන ප්‍රදේශය හරියටම කිව නොහැක්කේ  මේ කතාවේ කතානායක‍යාගේ ඉල්ලීමක් මතය. තවද මෙහි සඳහන් වන සමහර නම් ගම් මා ඕනෑකමින්ම වෙනස් කළෙමි. එයට හේතුව මා ඔවුන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට පොරොන්දු වීමයි.
        මේ කතාව ඔබට පැවසීමට පෙර මා පිළිබඳ විස්තරයක් පැවසීම උචිත යැයි සිතමි.  මගේ නම කවිෂ්ක මධුෂාන් ය. මට දැනට වයස අවුරුදු 21 කි. මා පවසන සිද්ධිය සිදුවන විට මාගේ වයස අවුරුදු 19 කි.  එකල අපේ නිවසේ තිබු වැඩිපුර කාමරය කුළියට දීමට මාගේ මව සූදානම් වූයේ අමතර ආදායමක් උපයා ගැනීමටය. ඒ සඳහා අපි ඉරිදා පුවත්පතක ලුහුඬු දැන්වීම් තීරුවේ දැන්වීමක්ද පළකළෙමු. දැන්වීම පළකර දින කිහිපයකට පසු අපේ නිවසට අමුත්තෙක් පැමිණියේය.  ඔහු අඩි 6ක් පමණ උස අවුරුදු 25ක් හෝ 30ක් පමණ වයසැති තලෙළු තැනැත්තෙකි.  ඔහුගේ මුහුණ හරිහැටි නෙපෙනෙන සේ ඔහු විශාල අව් කණ්නාඩියක් දමාගෙන සිටියේය. ඔහු පැමිණි අවස්ථාවේ නිවසේ දොර හැරියේ මම ය.
        මිස්ටර්, මේ ගෙදර නේද අර කුළියට කාමරයක් තියෙනවා කියලා ඇඩ් එකක් දාලා තිබුණේ?  ඔහු ඇසුවේය.
        ඔව්. මේ ගෙදර තමයි. ඔය ආවේ කාමරේ ගන්නද? මම ඇසුවෙමි.
        ඔව්. කාමරේ ගන්නනම් තමයි ආවේ..... ඔහු ඔලුව කරකවමින්  අප නිවස දෙස බැලුවේය. ඒත් එක පාරටම ගන්න බෑනෙ කාමරේ බලන්නෙ නැතුව.
        පුතා, මේ මහත්තයව එක්කන් ගිහින් කාමරේ පෙන්නල එන්න. මාගේ මව කීවාය. මහත්තය මේ දරුවත් එක්ක ගිහින් කාමරේ බලල එන්නකො.
        මම අපේ අමුත්තාවත් රැගෙන නිවසට යාබදව පිහිටි කාමරය වෙත ආවෙමි. මට ඒ මොහොතේ මේ පුද්ගලයාගේ හැසිරීමෙහි අමුත්තක් දැනුනි.
        මල්ලි කොහොමද ඒ ලෙවල් රිසල්ට්? මේ පාර එකවුන්ට් අමාරුයි නේද? ඒත් ඔයානම් වැඩේ කොහොම හරි ගොඩදාගත්තා. ඔහු එක්වරම ඇසුවේය.
        ඒ දෙකයි, බි එකයි. එකවුන්ට් වලට තමා බී එක...... ඒත් ඔයා කොහොමද දන්නේ මම මේ පර ඒ ලෙවල් කළා කියලා? ඔහුගේ එම ප්‍රශ්නයෙන් පුදුමටය පත් වූ මම ඇසුවෙමි.
        ඒක එච්චර ගණන් ගන්න එපා. ඔහු කිසිදු ගණනකට නොගෙන කීවේය.
        මම යතුර ඇතුළු කර කාමරයේ දොර ඇරියෙමි. ඔහු හා මම කාමරය ඇතුළට ගියෙමි. මිනිත්තු කීපයක් කාමර‍ය පරික්ෂා කළ ඔහු මෙසේ කීවේය.
        කාමරේ නම් නියමයි. කරන්ට් එක, ෆෑන්, වතුර ඔක්කොම තියෙනවා. කෑම එහෙමත් ඕගොල්ලො දෙනවනෙ.  මම කැමතියි මේ කාමරේ ඉන්න. දැන්මම ගාන එහෙම කතා කර ගත්තොත් නේද හොඳ?
        හරි. මේ මහත්තයා ඔහොම ඉන්නකෝ. මම අම්මව එක්කගෙන එන්නම්.
        මෙසේ කී මම මාගේ මව කැටුව ඒමට නිවසට ගියෙමි. මම මවත් සමග නැවත පැමිණෙන විට ඔහු කාමරයෙන් පිටතට විත් සිටියේය.
        මහත්තයා මොකද හිතන්නෙ කාමරේ ගැන? මව ඇසුවාය.
        වරදක් නැහැ. මම හිතුවට වඩා මේකෙ සැප පහසුකම් තියෙනවා.  ඔබතුමියට කීයක් විතර ඇඩ්වාන්ස් ඕනෙද?
        අවුරුද්දක ඇඩ්වාන්ස් තිබුනහම ඇති. මාසෙකට රුපියල් හත්දාහයි.
        හරි මම දැන් ගිහිල්ලා සල්ලි අරන් එන්නම. ඔනෙනම් දැන්මම චෙක් එකක් ලියලා දෙන්න පුළුවන්.
        අනේ මහත්තයෝ චෙක් අරගෙන ඒවා මාරු කරන්න බැංකු ගානෙ රස්තයාදු වෙන්නනම් මට අමාරුයි. ඔන්න ඔහෙ සල්ලි වලින්ම ගෙවලා දැම්මනං හොඳයි.
        හරි. ඊට කළීන් මට තව ටිකක් කාමරේ බලන්න ඕනෙ.
        එහෙනං මම ගෙට යන්නං. මහත්තයා ඔය පුතත් එක්ක කාමරේ බලලා එන්නකො. එසේ කී මව නිවස තුළට ගියාය.
        මව නිවසට ගොස් ටික වේලාවකට පසු අපේ අමුත්තා මෙසේ ඇසුවේය.
        මල්ලි මීට කළින් මේ කාමරේ හිටිය ලෝයර් ට මොකද වුණේ? ඒ ප්‍රශ්ණයෙන් මම විපක්ෂිත වුණෙමි.
        ඔයා කොහොමද ඒක දැනගත්තෙ? ඔයා මෙහෙට එන්න කළින් අපි ගැන ගොඩක් විස්තර හොයලා බලලා තියෙනවා වගේ නේද?
        අපෝ නෑ. මම කාගෙන්වත් ඇහුවේ නෑ. මම අහපු ප්‍රශ්ණෙට මුලින් උත්තර දීලා ඉන්නකො.
        එයා මෙහෙට ඇවිත් එච්චර කාලයක් හිටියෙ නෑ. මම හිතන්නෙ මාස හත අටක් ඉන්න ඇති. ඊට පස්සේ.......... මගේ කතාවට මැද්දට පැන ඔහු මෙසේ පැවසුවේය.
        ඊටපස්සෙ එයාට එයාගෙ සල්ලි නැතිවුණා. ඒ කියන්නෙ එයාගෙ ආර්ථික තත්වය පිරිහුනා. අන්තිමට එයාට කන්නවත් සල්ලි ඉතුරු වුණේ නෑ. මම හිතන්නෙ ඕගොල්ලන්ට මාස ගාණක ගෙවල් කුළී ගෙවන්නත් නැතුව ඇති.
        ඔව් ඒකනං ඇත්ත. එයා අපිට මාස තුනක ගෙවල් කුළී ගෙවලා තිබුනෙ නැහැ. ඉතින් අපි කියලා මොනවා කරන්නද? අපිට එයාට යන්න කියන්න වුණා. මේ ඒක නෙමෙයි. ඔයා ඇත්තටම කොහොමද මෙච්චර විස්තර දැන ගත්තේ? මට නම් හරි පුදුමයි.
        හරි. හරි. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු. මම දැන් යනවා. ඔහු තම ඔරලෝසුව දෙස බැලුවේය. දැන් නම් හවස් වෙලා කවිෂ්ක මල්ලී. මම හෙට එන්නම් ඇඩ්වාන්ස් අරගෙන. එහෙනම් මම යනවා.
        මෙසේ පැවසූ ඔහු ඉක්මනින්ම තම යතුරු පැදියට නැග නික්ම ගියේය. මොහු අප නිවසින් පිට වූයේ මා ප්‍රශ්න සාගරයක ගිල්ලවාය. ඔහු මා උසස් පෙළ කළ ශිෂ්‍යයෙකු බව දැනගත් හැටි, අපගේ කාමරයේ විසූ නීතීඥයා පිළිබඳ දැනගත් හැටි, අවසානයට මගේ නම දැනගත් හැටි මා පුදුමයට පත්කරවීය.  මා ඒ පිළිබඳව මාගේ මවගෙන් විමසුවෙමි.
        අම්මෙ අද අර ආපු මිනිහා නම් හරි අමුතුයි නේද?
        ඒක තමයි පුතේ මමත් මේ කල්පනා කළේ. හරි අමුතු මිනිහෙක්.
         ඔව් නිකන් පේන කියනවා වගේ අපේ විස්තර කිව්වේ. මම ඔහු පැවසූ දේවල් අම්මාට කීවෙමි.
          බලමුකෝ. එයා හෙටත් එයිනේ. එයාගෙ හැසිරීම අමුතු නම් ඉතින් එයාව තියාගන්නවද නැද්ද කියලා දෙපාරක් හිතලා බලමු.

                                                             *      *      *
ප/ලි :
මම මේ කතාවේ එන රහස් පරීක්ෂකයාට දාන්න නමක් කල්පනා කළාට ඒකට ගැලපෙන නමක් හිතට එන්නේ නෑ.  කතාවේ පළවෙනි කොටස කියවපු ඔයාලට පුළුවං නම් රහස් පරීක්ෂකයාට ගැලපෙනවා කියලා හිතෙන නමක් කමෙන්ට් කරලා යන්න. මේ කතාවේ ඉතිරි කොටස ලඟදීම පළකරනවා....

කතාවේ දෙවන කොටසට මෙතනින් යන්න

Thursday, 11 October 2012

ගැහැණියක් නිසා තම සීලය බිඳගත් තාපසවරයා


     
 මේ මම කිසිම පරීක්ෂණයක් නොකරන කාලයක්. ඉතිං මම හිතුවා කම්මැලිකමටත් එක්ක මගේ කාලය ප්‍රයෝජනවත් වැඩක යොදවන්න. මම පටන් ගත්තා පොතක් කියවන්න. ඒක ගොඩක් වටිනා ආදර්ශ සහිත පොතක්. ඒ පොතේ තියෙන කවුරුත් එච්චර අහලා නැති කතාවක් තමයි මම අද ලියන්න හිතුවෙ.

     එකමත් එක කාලෙක ඉන්දියාවේ විශාල රාජ්‍යයක් තිබුණා බරණැස් නුවර කියලා. මේ බරණැස් නුවර රජ කාළේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. ඒ රජතුමා රජ කරන කාලේ එක බමුණෙකුගේ පුතෙක් සසර කළකිරිලා කාමයේ ආදිනව වැටහිලා හිමාල වනයට ගිහිල්ලා තපස් රැක්කා. ඔහොම ටික කාලයක් යනකොට වර්ෂා කාලය ආවා. වර්ෂා කාලයේ වනයට වෙලා තපස් රකින්න අමාරු බව දන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අර තවුසට තමන්ගේ රජ උයනට වැඩලා තපස් රකින්න කියලා ආරාධනා කළා. ඉතිං තවුසත් ඒ ආරාධනාව පිළි අරගෙන රජ උයනට වැඩියා වර්ෂා කාළේ තපස් රකින්න. 

ඔහොම ටික දවසක් යනකොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ බරණැස් රාජ්‍යයට සතුරු තර්ජනයක් එල්ල වුණා. ඉතිං රජ්ජුරුවො කළේ සටන් කරපු එක. ඒ හින්දා රජ්ජුරුවන්ට සටන් කරන්න සටන් බිමට යන්න සිද්ධ වුණා. ඉස්සර දැන් කාළේ වාගේ මන්දිර වල ඉඳගෙන සටන් කරන්න පුළුවං කමක් තිබුණෙ නෑ. රජ්ජුරුවොත් සටනට යන්න ඕනෑ. ඒත් ඒ වෙනකොට අර උයනේ තපස් රැකපු තාපසයට උපස්ථාන කළේ බ්‍රහ්ම දත්ත රජ්ජුරුවෝ. ඉතිං රජ්ජුරුවන්ට සටනට යන්න සිද්ධ වෙච්ච නිසා තාපසයට උපස්ථාන කරන එක භාරදීලා ගියේ තමන්ගේ අගබිසවට.

     තාපසයත් අගබිසවගෙන් උපස්ථාන ලබමින් ඉන්න කොට මොකක් හරි හේතුවකින්  අගබිසවගේ නිරුවත දැක්කා. ඒකෙන් තාපසයගේ සැඟවිලා තිබුණු  කෙලෙස් සිතුවිලි මතුවෙලා අග බිසවත් එක්ක අනාචාරයේ හැසිරෙන්න පටන් ගත්තා. මේ විදිහට දිගටම වෙන්න ගත්තම රටේ ජීවත් වෙන රට වැසියනුත් තාපසයාගෙයි අග බිසවගෙයි අතරෙ තියෙන මේ අනිසි සම්බන්ධය ගැන දැනගත්තා.

රජතුමා තමන්ගේ සටනින් දිනලා ටික දවසකින් ආයෙත් රාජධානියට ආවා. රජතුමා ආපු ගමන්ම රටේ ඉන්න කේළාම් කාරයෝ ඔක්කොම තාපසයගෙයි බිසවගෙයි සම්බන්ධය ගැන රජතුමා කිව්වා. ඒ වුණාට රජතුමා ඒ කතාව විශ්වාස ක‍ළේ නෑ. ඒත් රජතුමාට ඒ කතාව විශ්වාස කරන්න වුණේ තාපසයයි බිසවයි ඒක ඇත්ත කියලා පිළිගත්ත නිසා.

ඒක නිසා රජ්ජුරුවො ගොඩක් දුකට පත්වුණා. ඒත් එතුමා කෝප අරගත්තේ නෑ. රජතුමා ශාන්ත විදියට තාපසයගෙන් ඒ වගේ දෙයක් කරන්‍න හේතුව මොකක්ද කියලා ඇහුවා. එතකොට තාපසයා සිද්ධ වෙච්ච දේ රජතුමාට කිව්වා. ඒ ගැන රජතුමාගෙන් සමාව අරගෙන ආයෙත් ඉස්සර විදිහටම බණ භාවනා කරලා මාර්ගඵල ලබාගෙන ආයෙත් හිමාල වනයටම වැඩියා.

ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මේ කතාව කියෙව්වේ පන්සිය පනස් ජාතක පොතෙන් කියලා.  මම දැන් මේ කියපු ජාතක කතාව පන්සිය පනස් ජාතක පොතේ එන  424 වෙනි ජාතක කතාව වන හාරිත ජාතකය.

දැන් මම ජාතක කතාවේ සමෝධානය කොටසට එන්නම්. ඒ කාළේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බුද්ධ කාලයේ සිටිය ආනන්ද මහරහතන් වහන්සේ. තාපසවරයා තමයි බෝධිසත්වයෝ. ඒ කියන්නේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ.

දැන් ඔයාලට පුදුම හිතෙනවා ඇති බෝධිසත්වයන් වහන්සේත් එහෙම දේවල් කළාද කියලා. බෝධිසත්වයෝ කියන්නෙත් අපි වගේ මනුස්සයෙක් හින්දා එතුමා අතිනුත් ගොඩාක් වැරදි වුණා. ඒ වුණාට බෝධිසත්වයෝ කිසිම ආත්ම භවය නොකරපු දේ තමයි බොරු නොකියපු එක.  ඒක මේ ජාතක කතාවෙත් පැහැදිලිව පේනවා.

මේ ජාතක කතාවෙන් අපට ලැබෙන ආදර්ශය තමයි අපි අතින් කොච්චර වැරදි වුනත් ආයෙත් අපට යහපත් ජීවිතයක් ගත කරන්න ඒක බාධාවක් නොවෙයි කියන එක.

පෝස්ට් එක ගැන ඔයාගේ හිතේ තියෙන දේ පහල කමෙන්ට් කරලා යන්න. කමෙන්ට් නොකෙරුවයි කියලා මම තරහා වෙන්නේ නෑ. මම දන්නවා ඔයාලට හැම තත්පරයක්ම හුඟක් වටින බව.

Saturday, 6 October 2012

මදුරුවෙකුට විහිළු කිරීම


     මම ජීවත් වෙලා ඉන්න බේකර් වීදිය මහ පුදුම පාරක්. කිලෝමීටර් 2ක් විතර දිග මේ පාරට සම්බන්ධ වෙන තවත් පාරවල් ගොඩක් තියෙනවා. ‍මේ පාර පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන තැනට යනකං අපිට පයින් යන්න පුළුවන් නම් එක එක ජාතියේ චරිත බලාගන්න පුළුවං.
    
     "මදුරුවා" කියන්නෙත් එහෙම චරිතයක්. ඇත්තටම මේ "මදුරුවා" මදුරුවෙක් නෙමෙයි. මදුරුවා කියන්නේ අවුරුදු 60ක් 70ක් විතර වයස මිනිහෙක්ට. ඒ මිනිහට මදුරුවා කියන්නෙත් ඒ මිනිහගෙ පෙනුම හින්දා. එයාට මනුස්සයෙක් කියනවට වඩා ඇටසැකිල්ලක් කියන එක හොඳයි. මොකද එයා ඒ තරමටම කෙට්ටුයි. ඇඟ කළුම කළුයි. සුදුම සුදු කොණ්ඩයක් තමයි තියෙන්නේ. එයා හැමතිස්සෙම අඳින්නේ තමන්ගේ සයිස් තව මිනිස්සු හතර පස් දෙනෙක්ට බහින්න පුළුවන් තරම් ලොකු කමිස. කොයිවෙලාවේ බැලුවත් සරම ඇඳලා ඒක දෙපොට ගහලා දනිස්සේ තරමට කොට කරගෙන තමා ඉන්නේ.

     ඉතිං මදුරුවගේ ඒ පෙනුම හින්දා බේකර් වීදීයේ දී මදුරුවා කියන්නේ බයිට් වෙන සුළු චරිතයක්. එයා තමන්ට මදුරුවා කියන නමින් කතා කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. කවුරු හරි එහෙම කිව්වොත් ළඟ ඉඳලා ඉවරයි. මදුරුව කියන වචන වල තේරුම හොයන්න මලලසේකර ඩික්ෂනරිය ගෙනාවත් බැරි වෙනවා.

     මේ දවස ෂර්ලොක් හෝම්ස් විද්‍යාව පන්ති ගිහින් එන දවසක්.  මම ආවෙ තනියම නෙමෙයි.  මගේ ලෙස්ට්‍රේඩ් කියන තවත් යාළුවෙක් එක්කයි ආවෙ. ඔහොම එනකොට අපි දැක්කා මදුරුවා අපි ඉස්සරහට ඇවිදගෙන එනවා. ඒක දැකපු ලෙස්ට්‍රේඩ් මට මෙහෙම කිව්වා.

"මචං.... අන්න මදුරුවා එනවා. අපි ඌට පොඩි බයිටක් දාමුද?"

"අනේ මන්ද බං. ඕව කරන්න ගිහිල්ලා මොන මොන කුණුහරුප අහගන්න වෙයිද දන්නේ නෑ."

"ඔන්න ඔහෙ කමක් නෑ බං. උඹ හිටපංකෝ. මමනෙ කියන්නේ."

     මෙහෙම කියපු ලෙස්ට්‍රේඩ් මදුරුවා අපි ළඟට එනකොට "මොස්කිටෝ...... මොස්කිටෝ..." කියලා මොකක්දෝ ඉංගිරීසි වචනයක් කියලා කෑ ගැහුවා. ඒක ඇහිච්ච මදුරුවා එක පාරටම අපි දිහා රවලා බැලුවා.

"පාදඩ බල්ලො..... කාලකන්නි **** පුත්තු..... තොපිලගෙ කොහෙ අමාරුවටද යකෝ මාව විහිළුවට ගත්තෙ.... තොපිලගෙ..................................................."

     මෙහෙම බනින්න පටන් ගත්ත මදුරුවා දිගටම කියපු දේවල් මේ වගේ තැනක පළ කරන්න තියා හිතන්නවත් හොඳ නැති ඒවා. කොහොම හරි ලෙස්ට්‍රේඩ් එතනින් නතර වුණානම් අපිට අවුලක් නැතුව ගෙදරට යාගන්න තිබුණා. ඒත් මදුරුවා මහන්සියෙන් වචන ගලපගෙන බැන්න බැනිල්ල ලෙස්ට්‍රේඩ් ගේ එක වචනෙකින් පුහු වෙලා ගියා.
"ඕක ගිහින් උඹලගෙ අම්මට කියපං"

     අන්තිමට ලෙස්ට්‍රේඩ් එහෙම කිව්වේ මදුරුවා සියල්ලන්ගේ ම මෑණියන් සිහිකරමින් කරන දේශනය අහලා දැනිච්ච සතුටට.

"ඔහොම හිටපං පාදඩ *** පුතාලා ! "

     එහෙම කියපු මදුරුවා එකපාරටම අපිට ගහන්න පැන්නා.  අපිට ඉතිං ඒ වෙලාවේ මදුරුවට ගහලා නිකං කිච වෙන්න බැරි හින්දා අපි කළේ පොඩ්ඩක් දුවපු එක. ඒත් මදුරුවා තම නොපසුබට උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කළා. ඔහු අප පසුපස හඹා එන්න ගත්තේ පිස්සු හැදුණු සුනඛයෙක් යමෙකුව හපන්න එනවා වගේ. අපිත් අපේ කකුල් දෙකට වැඳලා දිව්වා.

     ටිකක් දුර යනකොට අපි ඉස්සරහට හම්බ වුණේ පොළිස් කාරයෙක්ව. පොළිස් කාරයෙක් කිව්වට යුනිෆෝම් එකෙන් හිටපු කෙනෙක් නෙමෙයි. එයත් බේකර් වීදියේම වාසය කරන නීතිය රකින පුරවැසියෙක්.

     පොළිස් මාමා කළේ අපිව පැනපු ගමන් අල්ල ගන්ත එක. එහෙම අල්ල ගත්තට පස්සේ කළේ මදුරුවත් එක්ක අපේ නඩුව විනිශ්චය කරපු එක. ඒ නඩුව එතනින් කෙළවර වුණේ පොළිස් මාමා ගේ දක්ෂකම හින්දා. මදුරුවාගේ හැටි සහ අපේ හැටි හොඳින් දන්න පොළිස් මාමා මදුරුවට කරුණු පහදලා අපිටද තදින් අවවාද කරලා ගෙදර යැව්වා. එදයින් පස්සේ අපිනං මදුරුවව බයිට් කරනවා තියා මදුරුවා දිහා හැරිලවත් බලන්නේ නෑ