Saturday 6 October 2012

මදුරුවෙකුට විහිළු කිරීම


     මම ජීවත් වෙලා ඉන්න බේකර් වීදිය මහ පුදුම පාරක්. කිලෝමීටර් 2ක් විතර දිග මේ පාරට සම්බන්ධ වෙන තවත් පාරවල් ගොඩක් තියෙනවා. ‍මේ පාර පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙන තැනට යනකං අපිට පයින් යන්න පුළුවන් නම් එක එක ජාතියේ චරිත බලාගන්න පුළුවං.
    
     "මදුරුවා" කියන්නෙත් එහෙම චරිතයක්. ඇත්තටම මේ "මදුරුවා" මදුරුවෙක් නෙමෙයි. මදුරුවා කියන්නේ අවුරුදු 60ක් 70ක් විතර වයස මිනිහෙක්ට. ඒ මිනිහට මදුරුවා කියන්නෙත් ඒ මිනිහගෙ පෙනුම හින්දා. එයාට මනුස්සයෙක් කියනවට වඩා ඇටසැකිල්ලක් කියන එක හොඳයි. මොකද එයා ඒ තරමටම කෙට්ටුයි. ඇඟ කළුම කළුයි. සුදුම සුදු කොණ්ඩයක් තමයි තියෙන්නේ. එයා හැමතිස්සෙම අඳින්නේ තමන්ගේ සයිස් තව මිනිස්සු හතර පස් දෙනෙක්ට බහින්න පුළුවන් තරම් ලොකු කමිස. කොයිවෙලාවේ බැලුවත් සරම ඇඳලා ඒක දෙපොට ගහලා දනිස්සේ තරමට කොට කරගෙන තමා ඉන්නේ.

     ඉතිං මදුරුවගේ ඒ පෙනුම හින්දා බේකර් වීදීයේ දී මදුරුවා කියන්නේ බයිට් වෙන සුළු චරිතයක්. එයා තමන්ට මදුරුවා කියන නමින් කතා කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ. කවුරු හරි එහෙම කිව්වොත් ළඟ ඉඳලා ඉවරයි. මදුරුව කියන වචන වල තේරුම හොයන්න මලලසේකර ඩික්ෂනරිය ගෙනාවත් බැරි වෙනවා.

     මේ දවස ෂර්ලොක් හෝම්ස් විද්‍යාව පන්ති ගිහින් එන දවසක්.  මම ආවෙ තනියම නෙමෙයි.  මගේ ලෙස්ට්‍රේඩ් කියන තවත් යාළුවෙක් එක්කයි ආවෙ. ඔහොම එනකොට අපි දැක්කා මදුරුවා අපි ඉස්සරහට ඇවිදගෙන එනවා. ඒක දැකපු ලෙස්ට්‍රේඩ් මට මෙහෙම කිව්වා.

"මචං.... අන්න මදුරුවා එනවා. අපි ඌට පොඩි බයිටක් දාමුද?"

"අනේ මන්ද බං. ඕව කරන්න ගිහිල්ලා මොන මොන කුණුහරුප අහගන්න වෙයිද දන්නේ නෑ."

"ඔන්න ඔහෙ කමක් නෑ බං. උඹ හිටපංකෝ. මමනෙ කියන්නේ."

     මෙහෙම කියපු ලෙස්ට්‍රේඩ් මදුරුවා අපි ළඟට එනකොට "මොස්කිටෝ...... මොස්කිටෝ..." කියලා මොකක්දෝ ඉංගිරීසි වචනයක් කියලා කෑ ගැහුවා. ඒක ඇහිච්ච මදුරුවා එක පාරටම අපි දිහා රවලා බැලුවා.

"පාදඩ බල්ලො..... කාලකන්නි **** පුත්තු..... තොපිලගෙ කොහෙ අමාරුවටද යකෝ මාව විහිළුවට ගත්තෙ.... තොපිලගෙ..................................................."

     මෙහෙම බනින්න පටන් ගත්ත මදුරුවා දිගටම කියපු දේවල් මේ වගේ තැනක පළ කරන්න තියා හිතන්නවත් හොඳ නැති ඒවා. කොහොම හරි ලෙස්ට්‍රේඩ් එතනින් නතර වුණානම් අපිට අවුලක් නැතුව ගෙදරට යාගන්න තිබුණා. ඒත් මදුරුවා මහන්සියෙන් වචන ගලපගෙන බැන්න බැනිල්ල ලෙස්ට්‍රේඩ් ගේ එක වචනෙකින් පුහු වෙලා ගියා.
"ඕක ගිහින් උඹලගෙ අම්මට කියපං"

     අන්තිමට ලෙස්ට්‍රේඩ් එහෙම කිව්වේ මදුරුවා සියල්ලන්ගේ ම මෑණියන් සිහිකරමින් කරන දේශනය අහලා දැනිච්ච සතුටට.

"ඔහොම හිටපං පාදඩ *** පුතාලා ! "

     එහෙම කියපු මදුරුවා එකපාරටම අපිට ගහන්න පැන්නා.  අපිට ඉතිං ඒ වෙලාවේ මදුරුවට ගහලා නිකං කිච වෙන්න බැරි හින්දා අපි කළේ පොඩ්ඩක් දුවපු එක. ඒත් මදුරුවා තම නොපසුබට උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කළා. ඔහු අප පසුපස හඹා එන්න ගත්තේ පිස්සු හැදුණු සුනඛයෙක් යමෙකුව හපන්න එනවා වගේ. අපිත් අපේ කකුල් දෙකට වැඳලා දිව්වා.

     ටිකක් දුර යනකොට අපි ඉස්සරහට හම්බ වුණේ පොළිස් කාරයෙක්ව. පොළිස් කාරයෙක් කිව්වට යුනිෆෝම් එකෙන් හිටපු කෙනෙක් නෙමෙයි. එයත් බේකර් වීදියේම වාසය කරන නීතිය රකින පුරවැසියෙක්.

     පොළිස් මාමා කළේ අපිව පැනපු ගමන් අල්ල ගන්ත එක. එහෙම අල්ල ගත්තට පස්සේ කළේ මදුරුවත් එක්ක අපේ නඩුව විනිශ්චය කරපු එක. ඒ නඩුව එතනින් කෙළවර වුණේ පොළිස් මාමා ගේ දක්ෂකම හින්දා. මදුරුවාගේ හැටි සහ අපේ හැටි හොඳින් දන්න පොළිස් මාමා මදුරුවට කරුණු පහදලා අපිටද තදින් අවවාද කරලා ගෙදර යැව්වා. එදයින් පස්සේ අපිනං මදුරුවව බයිට් කරනවා තියා මදුරුවා දිහා හැරිලවත් බලන්නේ නෑ

No comments:

Post a Comment

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....